වගකීම් පැහැර හරින තානාපති නිලධාරීන්ට එරෙහිව පියවර

විදෙස් රටවල තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් තම වගකීම පැහැර හැරීම සම්බන්ධව තොරතුරු ලදහොත් තරාතිරම නොබලා ඒ අය වෙනුවෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

ඇය මේ අදහස් ප‍්‍රකාශ කළේ, පසුගිය දිනෙක තානාපති කාර්යාලවල සේවය සඳහා නික්මයන සේවක පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී මුණගැසුණු අවස්ථාවේදීය.

”ගොඩක් අය තානාපති කාර්යාලවල සේවය සඳහා යාමට උත්සහ කරනවා. හැබැයි ඒ රටවල සේවයට ගියාට පස්සේ වැඩකරන්න උනන්දුවක් නෑ. ශ‍්‍රී ලාංකිකයින් වෙනුවෙන් පෙනී සිටිය යුතු මේ අය කටයුතු කරන්නේ වෙනස්ම විදිහටයි. පසුගිය කාලයේ තානාපති කාර්යාලවල අපේ නිළධාරීන්ගේ කි‍්‍රයා කලාප පිළිබඳව සෑහීමට පත්වෙන්න බෑ. ඉදිරියේදී තානාපති කාර්යාලවල සේවයකරන නිළධාරීන්ගේ කාලය වසර 2ට සීමා කරනවා. ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව පිළිබඳව මේ අයට විශාල වගකීමක් තියෙනවා. ශ‍්‍රී ලාංකිකයින්ගේ ගැටළුවකදී හැකි ඉක්මණින් ඒ පිළිබඳව සොයාබලා කටයුතු කිරීම හැමදෙනාගේම යුතුකමක්.” යි අදහස් දක්වමින් අමාත්‍යතුමිය සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය,”තානාපති කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස තානාපතිතුමාගේ උපදෙස් නිවැරදිව අනුගමනය කළ යුතුයි. ඔහු ඉක්මවා කටයුතු නොකළ යුතුයි. තානාපති කාර්යාලයේ රාජකාරි කරන සියළු දෙනා එක පවුලක් ලෙස කටයුතු කළ යුතුයි. පහුගිය කාලයේ බොහෝ නිළධාරීන් තානාපති කාර්යාලයේ දේශපාලනය කළා. එවැනි යුගයක් නැවත ඇති නොවීමට කටයුතු කිරීම සියළු දෙනාගේම වගකීමක්. ” යි ප‍්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ. ඕ.ඞී.ඞී.ප‍්‍රනාන්දු, කි‍්‍රයාකාරි අධ්‍යක්‍ෂක නීතීඥ උපුල් දේශපි‍්‍රය යන මහත්වරුන්ද එක්වී සිටියහ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435