වත්තෙන් පටන් ගෙන රටම කැළඹූ වතු ඉල්ලීම් පාවා දුන්නේ කවුද?

මේ සාමුහික ගිවිසුම කුමකටද උඩරට වතුකරයේ කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් හත්සියයකට නිර්ණය කරමින් වතු කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් වතු හාම්පුතුන්ගේ සම්මේලනය සමඟ පසුගියදා හොර රහසේ අස්සන් කරන ලද සාමුහික ගිවිසුමට වතුකරය පුරාම දැවැන්ත විරෝධතා හටගෙන ඇති අතර සමස්ත වතු කම්කරුවන්වම අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් පාවා දී ඇති බවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් වෝදනා කරති.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා සමාජ සංවර්ධන හා හින්දු සංස්කෘතික ඇමති මනෝ ගනේෂන් කියා සිටියේ වතුකරයේ ජනතාවගේ වැටුප් ප‍්‍රශ්නය අද වනවිට සමාජ ආර්ථික අර්බුදයක් බවට පරිවර්තනය වී ඇති අතර අස්සන් කළ සාමුහික ගිවිසුම අවලංගු කළ යුතුයි යන්න තම ස්ථාවරය බවත් රටපුරා සාමුහික ගිවිසුමට විරෝධය පළවෙමින් තිබියදී තමන් ආණ්ඩුවේ කොටස්කාර පක්‍ෂයක් ලෙස සිටියදී තමන්ගෙන් කිසිදු විමසීමක් නොකර සාමූහික ගිවිසුමට අස්සන් කළ හොරුරැළ මහත් පිළිගැනීමට ලක්කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ සිදුකර ඇත්තේ බලවත් වරදක් සේම සමස්ත වතු කම්කරුවන්වම පාවාදීමක් බවයි.

මෙම සාමූහික ගිවිසුම වසර තුනකට වතාවක් අස්සන් කෙරෙන අතර එම ගිවිසුම හරහා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම හා අනෙකුත් සුබසාධන කටයුතු සියල්ල තීරණය කෙරේ. මෙම සාමුහික ගිවිසුමේ එක් පාර්ශවයක් ලෙස ශ‍්‍රී ලංකාවේ වතු පාලනය කරන වැවිලි සමාගම් 22 වෙනුවෙන් වතු හාම්පුතුන්ගේ සම්මේලනයත් අනෙක් පාර්ශවය ලෙස වතු කම්කරුවන් නියෝජනය කරමින් වැඩිම කම්කරු ප‍්‍රතිශතයක් දායකත්වය දරන ආරුමුගම් තොන්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග‍්‍රසය හා එක්සත් ජාතික පක්‍ෂයට අයත් ලංකා ජාතික වතු කම්කරු සංගමය අස්සන් කරනු ලබයි. එක්සත් ජාතික පක්‍ෂයට අයත් වෘත්තීය සමිතිය වෙනුවෙන් ගිවිසුමට වඩිවේල් සුරේෂ් ද ලංකා කම්කරු කොංග‍්‍රසය වෙනුවෙන් ආරුමුගම් තොන්ඩමන්ද අස්සන් කර ඇත.

මෙතෙක් වතුකරයට පමණක් සීමා වී තිබූ වතු කම්කරු විරෝධතාව පසුගියදා කොළඹ දක්වා ව්‍යාප්ත වී තිබෙනු දක්නට ලැබිණි. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේදී ආරුමුගම් තොණ්ඩමන්ට හා වඩිවේල් සුරේෂ්ට නිවන් සැප ලැබේවා යැයි දෙමළ බසින් ලියන ලද පුවරු ප‍්‍රදර්ශනය කළහ. එමෙන්ම මේ වතු නායකයන්ගේ පඹයන් සාදා දෙමළ සංස්කෘතියට අනුව අවසන් කටයුතු සඳහා කරන චාරිත‍්‍රද කරනු දක්නට ලැබිණි. මෙම විරෝධතාවයේ නියැළි තරුණයන් දින 11ක් තිස්සේ කොටුව දුම්රිය ස්ථානය අභියස අඛණ්ඩ උපවාසයකද නිරතව සිට ඇත.

අද සාමාන්‍ය කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1200 ක් පමණ වන අවස්ථාවක වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 700 කි. එම අසාධාරණ වැටුපට එරෙහිව වතු කම්කරුවන් විරෝධය දක්වන විට ප‍්‍රධාන වෘත්තිය සමිති කම්කරුවන්ව පාවා දෙමින් වතු හාම්පුතුන්ගේ නොයෙකුත් වරප‍්‍රසාද ලබා කම්කරුවන්ව පාවා දෙති. එය අද ඊයෙක සිට සිදුවන්නක් නොව රාජ්‍ය වතු පුද්ගලික අංශයට 99 වසරක බද්දට දුන් දිනය පටන් සිදුවන්නකි. මේ අසාධාරණය පිටුදැකීමට රජය මැදිහත් වියයුතු වුවත් රජය මැදිහත් වී ඇත්තේද වතු හාම්පුතුන් බේරා ගැනීමටය.

මෙවර සාමුහික ගිවිසුමට අස්සන් කර ඇත්තේ වතු කම්කරුවන්ගේ බලවත් විරෝධය මධ්‍යයේය. රුපියල් දහසක වැටුපක් ඉල්ලා මාස තුනක් තිස්සේ කම්කරුවන් අරගල කරමින් සිටින මොහොතක ඊට අනුබල දෙමින් කටයුතු කළ ලංකා කම්කරු කොංග‍්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය හා වතු කම්කරු වෘත්තීය සමිති සම්මේලනය අද ඒ සියල්ල අමතක කර මෙවැනි ගිවිසුමකට අස්සන් කිරීම පිළිබඳ කම්කරුවන් තුළ සැකයක් මතුව තිබේ.

මෙතෙක් වතු කම්කරුවන් පමණක්ම සිදුකළ වැටුප් සටනට මෙවර සිවිල් සංවිධාන, විශ්ව විද්‍යාල සිසුන්, වතුකරයේ හා උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ද එක්ව සටන් කළ බව අප දුටුවෙමු. එය කිසිදු ආකාරයක යහපත් දෙයක් ලෙස අප දකින්නේ නැත. සිවිල් සංවිධාන කියන උදවිය වතුකරයේ තරුණ පරපුරත්, විශ්වවිද්‍යාල සිසුන් හා උතුරු නැගෙනහිර තරුණ ප‍්‍රජාවත් ඒකාබද්ධ කරගෙන මෙම සටන දියත්කරන තැනට ආණ්ඩුව වතු කම්කරු වැටුප් ප‍්‍රශ්නය ඇදදමා තිබීම නරක පූර්වාදර්ශයක පෙර නිමිත්තකි. එහි අනාගත ප‍්‍රතිඵලය අති භයානකය. වැවිලි සමාගම් ලබන ලාභයේ හැටියට වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකිරීම අපහසු කාර්යයක් නොවන බව ආර්ථික විශේෂඥයන්ගේද මතය වෙයි.

මේ අර්බුදයට ආණ්ඩුව මැදිහත් නොවී සිටින්නේ කුමක් නිසාද? නියපොත්තෙන් කැඩිය හැකි පැළය පොරොවෙන් කපන ගසක් දක්වා වර්ධනය වන්නට ඉඩහැරීම කොතෙක් දුරට නිවැරදිදැයි විමසා බැලිය යුතුය. උතුරු නැගෙනහිර විසඳිය හැකිව තිබූ දේශපාලන අර්බුදවලට සාධාරණ ලෙස මැදිහත් නොවීම හා දෙමළ දේශපාලනඥයන් සිදුකරන ලද පාවාදීම් හමුවේ එම අර්බුදයට තරුණයන් මැදිහත්වීමෙන් අප තිස් වසරක කුරිරු ත‍්‍රස්තවාදි අරගලයකට මුහුණ දුන්නෙමු. මෙවන් ගැටලූවලදී ඉතිහාසය අපට පාඩම් රැසක් කියාදී තිබේ. එය නොසලකා හැර වතුකරයේ දේශපාලනඥයන් කරනු ලබන පාවාදීම් නිසා තරුණ පරපුර ඒකරාශීවීම අනාගතයට කෙසේ බලපාවිද යන්න සිතා බැලිය යුතුය.

සිය වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධතා පැවැත්වෙමින් තිබියදී වතු වෘත්තීය සමිති හා වතු හාම්පුතුන්ගේ සම්මේලනය අතර පැවැති සාකච්ඡාවලදී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 700 දක්වා වැඩි කිරීමටත්, සේවක අර්ථ සාධක අරමුදලේ හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ සමාගම් දායකත්වය රුපියල් 105ක් ගෙවීමටත්, තේ මිල පවතින මිලට වඩා වැඩි වුවහොත් පමණක් ගෙන රුපියල් 50 ක දීමනාවක් ගෙවීමටත් තීරණය කර ඇත. අවංකවම මේ වැවිලි සමාගම් හා වෘත්තීය සමිති කම්කරුවන්ට වැටුප් වැඩිවීමක් ලෙස පෙන්වන්නේ සේවායෝජකයා අනිවාර්යයෙන්ම සේවකයෙකු වෙනුවෙන් ගෙවිය යුතු සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ දායක මුදලත්, කිසි දිනක නොලැබෙන තේ මිල වැඩිවීමේ දීමනාවත් කරන ලද වැටුප් වැඩිවීමක් ලෙසය.

මෙතෙක් කල් වතු හාම්පුතුන්ගේ සම්මේලන ප‍්‍රධාන කාර්යාලයේදී අත්සන් කළ ගිවිසුම මෙවර අත්සන් කරනු ලැබුවේ අරලියගහ මන්දිරයේදීය. කම්කරු විරෝධතා හමුවේ සකස් කරන ලද ඇස්බැන්දුම් ගිවිසුමේ පිටපතක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතටද පත්කෙරිණි. කම්කරු ඇමති රවීන්ද්‍ර සමරවීර ඉදිරිපිට වතු වෘත්තීය සමිති නියෝජනය කරමින් ලංකා කම්කරු කොංග‍්‍රසය වෙනුවෙන් එහි මහ ලේකම් අනූෂියා සිවරාජා, ලංකා ජාතික වතු කම්කරු සංගමය නියෝජනය කරමින් එහි මහ ලේකම් වඩිවේල් සුරේෂ් ද වතු හාම්පුතුන්ගේ සම්මේලනය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ හා උප ලේකම් භාතිය බුළුමුල්ල යන අයද අත්සන් කළහ.

වතු කම්කරුවන් නියෝජනය කරන සෙසු වෘත්තීය සමිති එක්ව පිහිටුවාගත් වතු වෘත්තීය සමිති ඒකාබද්ධ මධ්‍යස්ථානය මෙම සාමුහික ගිවිසුමට විරෝධය පළකරමින් එහි අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කළහ. මෙම ගිවිසුම හෙළාදකින සෙසු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මූලික වී මේ කම්කරු අයිතිය පාවාදී ඇති බවය. ඒ අනුව වතු කම්කරුවන්ට සාධාරණයක් ඉටුකරන්න ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බවය.

ටී.චන්ද්‍රසේකර – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435