වතු කම්කරු අරගලයේ හෙට දවස කෙසේ විසඳේද?

වතු කම්කරු ජනයාගේ දෛනික වැටුප රු.1000 ක් කළ යුතු බවට ඔවුන්ගේ පාර්ශවයෙන් එල්ලවන්නේ දැඩි ඉල්ලීමකි. ඒ වෙනුවෙන් වතු කම්කරු තරුණ පිරිසක් විසින් කොළඹ-කොටුව දුම්රියපළ ඉදිරිපිට දියත් කර තිබුණු අඛණ්ඩ උපවාසය දින ගණනාවක ඇවෑමෙන් 22 දින දිනයේ තාවකාලිකව අත්හිටුවනු ලැබුවේද, ජයග්‍රහණයකින් තොරවය. සිවිල් සංවිධාන හා ප්‍රගතිශීලි පිරිස් එම අරගලයට සහය පළකරමින් ඊයේ දිනයේ කොටුව දුම්රියපළ ඉදිරිපිටට පැමිණ උපවාසයේ නිරතවූවන් සමග සාකච්ඡා කොට යම් එකඟතාවයකට පැමිණියේ නුදුරු දිනයක වඩාත් සංවිධානාත්මකව මීටත් වඩා ශක්තිමත්ව අරගලයට ප්‍රවිෂ්ඨවීමේ අරමුණ ඇතිවය. සැබවින්ම එය හුදෙක් වතු කම්කරුවන්ගේ පුද්ගලික ප්‍රශ්නයක් නොව රටේ ජාතික මට්ටමේ ගැටළුවක් බවත්, එහිදී ඔවුන් තනි නොකළ යුතු බවත් පිළිගත යුතුය.

වතු කම්කරු ජනයාගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සෘජුවම බැඳී පවතින්නේ වතුකරය නියෝජනය කරන ප්‍රධාන ධාරාවේ දේශපාලනය සමගය. එබැවින් ඒවා හුදෙක් වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා සංවිධානය වූ සාමූහිකයන් නොව තම නායකයින්ගේ ඡන්ද පදනම ආරක්ෂා කරලීම වෙනුවෙන් පිහිටුවා ගනු ලැබූ සමිති විශේෂයක් පමණි. අනෙක් අතට වතුකරයේ නායකයින් තම ඡන්ද දායකයා ගේ ප්‍රමුඛතම ‘ශ්‍රමයට සරිලන වැටුපක් දිනාගැනීම’, යන කාරණයේදී එය තමාගේ ප්‍රශ්නයක් කරගනු ලබන්නේ දේශපාලන වශයෙන් වාසි ලබාගැනීමට කේවල් කළ හැකි සාධකයක් ලෙස පමණි. කුමන ආණ්ඩුවක් බලයට පැමිණියද, වතුකරයේ නායකයින්ට ඇමති පදවියක් හිමිවීම අනිවාර්යතාවක් වන්නේ ඒ නිසාය. අනෙක් අතට වතු හාම්පුතුන්ගෙන් ස්වකීය ඡන්ද ව්‍යාපාරයට කොතරම් මුදලක් පොම්ප කරගත හැකිදැයි යන සාධකයද, මෙම නායකයින්ට එක දේ වැදගත් වන බැවින් ප්‍රශ්නයේ කම්කරු ජනයාගේ පාර්ශවයට වැඩියෙන් හාම්පුතුන්ගේ පාර්ශවය කෙරෙහි සංවේදි වැඩිය. පසුගිය දිනවල පැවති අරාජික දේශපාලන පසුබිම තුළ වුවද, තොණ්ඩමන් අමාත්‍යවරයා ඒ වනවිටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටි තමන් නියෝජනය කරන වෘත්තීය සමිතියේ වතු කම්කරු ජනයාගෙන් කණ්ඩායමක් කැටුව ගොස් ජනාධිපතිවරයා හමුවී සුහද කතා බහක නිරතවී ආපසු පැමිණියේ ඉදිරියේදී විසඳුමක් ලබාදෙන පොරොන්දුව පිට වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින බැව් නිවේදනය කරමිනි. පසුදින පුවත්පත්වල වාර්තා කෙරුණේද, වතු කම්කරු ජනයාගේ වෘත්තිය ක්‍රියා මාර්ගය නිමාවූ බවය. මේ අයුරින් වතු කම්කරු ජනයාගේ නායකයින්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍රයන් තුළ ඔවුන්ගේ සැබෑ ප්‍රශ්නය යටපත්ව ඇති බැවින් අද දවසේත් එය විසඳීම ඉතා අසීරු වී තිබේ.

මෙවන් පසුබිමක් තුළ වතු හාම්පුතුන් විසින් තේ කර්මාන්තයේ පවත්නා දුෂ්කරතාවන් පෙන්වාදෙමින් වතු කම්කරුවන්ට දෛනික වැටුප ලෙස රු.1000ක මුදලක් ලබාදීමේ අසීරුතාව අවධාරණය කරයි. මාධ්‍ය හමු පවත්වමින් දිගින් දිගටම ඔවුන් විසින් කියා සිටි කරුණුද මෙහිලා නොතකා හළ නොහැකිය.

“අපි වෘත්තීය මට්ටමේ වැවිලිකරුවෝ. මෙය වසර 150 ක් පැරණි කර්මාන්තයක්. මේ ක්ෂේත්‍රය ආරක්ෂා කරන්න ඕනේ. රටේ ආදායම ආරක්ෂා කරන්න ඕනේ. අපි කියන්නේ දේශපාලනයයි ආර්ථිකයයි කළවම් කර ගන්න එපා. මේ දෙක කළවම් වුණු නිසා තමයි මේ ප්‍රශ්නේ. වෘත්තීයමය කළමනාකරුවන්ට කරමාන්තය කර ගෙන යන්න ඉඩ දෙන්න. දේශපාලඥයෝ දේශපාලනය කරපු දෙන්. ඒකයි අපේ පණ්වුඩය‍“, යැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි කියා සිටියේය.

පසුගිය දිනවල අඛණ්ඩ පැවති වැවිලි කම්කරු වැඩ වර්ජනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රාජදුරෙයි මහතා මෙසේද, කියා සිටියේය.

“වතු පුද්ගලීකරණය කරන කොට මාසෙකට බිලියන 400 ක් සහනාධාර දුන්නා. අපිට සතයක්වත් සහනාධාර දෙන්නේ නැහැ. අපේ බිස්නස් එක අපිම බලා ගන්න ඕනේ. ඒ දවස්වල කොළඹ වෙන්දේසියේ තේ කිලෝ එකක් රු. 100 නම්, කම්කරු වේතන රු. 62 යි. ඒක තමයි අනුපාතය. අද තේ කිලෝ එකක් රු. 100 නම්, කම්කරු වේතන රු. 162 යි. මේ වගේ අභියෝග තියා ගෙනත් අපි මේ කර්මාන්තය ගෙනියනවා. අපිට අද නීතිරීති ගොඩාක් තියෙනවා. එහෙම වෙලත් මේ කර්මාන්තය වට්ටන්නේ නැතිව ගෙනියන එක මේ වැවිලිකරුවන්ගේ දක්ෂතාවය. නැත්නන් මෙලහකටත් ඕක කඩන් වැටිලා.“

මෙහිදී ලංකා සේවක සම්මේලනය වෙනුවෙන් අදහස් දක්වමින් ප්‍රසාද් ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“විදියට අපි හැමතිස්සේම බලාපොරොත්තු වෙන්නේ, සාමූහික කේවල්කරණයකින් දෙපාර්ශවයටම වාසි වෙන විදිහේ සාමූහික ගිවිසුමක් ඇති කර ගැනීමයි. ඒ සඳහා අපේ වැවිලි කණ්ඩායම සාකච්ඡා සඳහා සහභාගී වෙනවා. නමුත් ඇති වෙලා තියෙන්නේ අවසනාවන්ත තත්ත්වයක්. එහි සභාපතිතුමාට පුද්ගලිකව මරණීය තර්ජන එල්ල කරන අවස්ථාවක දී ඒ අය තීරණය කරලා තියෙනවා, තවදුරටත් සාකච්ඡාව ඉදිරියට ගෙනි යන්න ඕනෑ, ලංකා සේවක සංගමය මැදිහත් වෙලා කියලා. අපි ඒ කාර්යය භාර ගන්නවා, අපි විශ්වාස කරනවා, වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරලා, අවසානයේ දී දෙපාර්ශවයටම එකඟවිය හැකි ආකාරයේ ජයග්‍රහණය ලැබෙන ගිවිසුමක් ඇති කර ගන්නට පුළුවන් වෙයි කියලා.”

මේවන විටත් එවන් පොදු එකඟතාවකට පැමිණීමට මෙම දෙපාර්ශවයටම තවමත් හැකිවී නැත. රටේ පැවති පොදු දේශපාලනික අරාජිකභාවයත් වතු කම්කරු ජනයාගේ මෙම ප්‍රශ්නය කෙරෙහි වැඩි අවධානයක් යොමුනොවීමට හේතුවක් වන්නට ඇත. එහෙත් එය මගහැරිය හැකි ප්‍රශ්නයක් නොවේ.

ලේඛකයෙකු, විචාරකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන සඳුන් ප්‍රියංකර විතානගේ මහතා ස්වකීය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙම අර්බුදයේ තවත් පැතිකඩක් පිළිබඳ අවධානය යොමුකරවා තිබුණි.

“වතු කම්කරුවන් කියන්නෙ සාමාන්‍ය කම්කරුවන් නෙවෙයි. ඔවුන් වතුවලට විවිධ ක්‍රමවලින් ගැට ගහල තියන්නෙ. සාතිශය බහුතරයක් වතුවල මේ කම්කරු නිවාසවල ජීවත් වෙන්න දීලා තියන්නෙ වත්තෙ වැඩ කළ යුතු යි කියන කොන්දේසිය උඩ. වත්තෙ වැඩ කරන්න බැරි නම් ඔවුන්ගෙන් නිවස උදුරගන්නවා. ඉතාම පැහැදිලියි මේ ඉල්ලීම පිටුපස තිබෙන සාධාරණ හේතු.
මොවුන්ගෙ දරුවන්ගෙ පූර්ව ළමාවිය සංවර්ධනය වගේ පැත්තක් ගත්තොත් අතිශය ඛේදනීයයි. දරුවා ලැබුණ කාන්තාවක් මාස තුනකින් නැවත වැඩට යන්න ඕන. සියලු වයස් මට්ටම්වල දරුවන් එකට දමලා පුල්ලෙමඩු විදිහට ළමාමඩු තිබෙන්නෙ. වතු ජනතාව කියලා රාජ්‍ය පාලකයො ඔවුන් ගැන සොයන්නෙ නෑ ඒක වත්තට බාර දෙනවා. ඒ වගේ ම හොයල බැලුවම සාමාන්‍ය පෙළ ගණිතය වතුකරයේ අසමත්වීමේ ප්‍රතිශතය 99%ක්. මේ සන්දර්භය නොදැන රුපියල් 2000ට කොළඹ අත්වැඩ දෙන රස්සාවල් තියන්නෙ ඒවාට පළයල්ලා කියල මේ මිනිස්සුන්ට යෝජනා කරන එක අන්තිම අමනෝඥ වැඩක්. තේ කර්මාන්තය පාඩු ලබන එකට හේතු ගණනාවක් තියනවා. කසළ තේ කලවම් කිරීම, සීනි කලවම් කිරීම, අප්‍රිකානු සහ වෙනත් රාජ්‍යයන් තේ කර්මාන්තයට ඇවිත් ගුණාත්මක බව තහවුරු කිරීම ආදී වශයෙන් ගණනාවක්. මේ සියල්ලට ම හේතුව අසමත් කළමනාකරණය. රටේ හැම ඉලව්වට ම වගේ මේකටත් ජාතික ප්‍රතිපත්තියක් දැක්මක් නෑ. මේක තනිකර රාජ්‍ය අසමත්කමේ ප්‍රශ්නයක්.”

සැබවින්ම පාඩු ලබමින් පවතින්නේ හෝ දැඩි දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන්නේ තේ කර්මාන්තය පමණක් නොවේ. එය පාඩු ලබන්නේනම් හෝ පවත්වාගෙන යාමේ ගැටළු ඇත්නම් ඒවාට විසඳුම් සෙවිය යුත්තේ කම්කරු ජනයාද, නොවේ. රටට විදේශ විනිමය උපයන, ලෝකයේ නම රැන්දුව තේ කර්මාන්තයට පෞඪ ඉතිහාසයක් පැවතීම පිළිබඳ ආඩම්බර විය හැකි තරමට තේ කම්කරුවාගේ ජීවන තත්ත්වය තුට්ටුවකට බාල්දුවී තිබීම ගැන අප අතිශයින් කනගාටු විය යුතුය. ඉහළ යන ජීවන වියදම හමුවේ දිනකට රු.1000ක අවම ආදායමක් හෝ නොමැතිව ඔවුන් ජීවත් වන්නේ කොහොමදැයි යන ප්‍රශ්නය, ප්‍රශ්නයක් ලෙස බාරගැනීමට ආර්ථික විද්‍යා උපාධි හෝ අංක ගණිතය පිළිබඳ ප්‍රාඥ්ඥයන් වන්නට වුවමනා නැත. තම අරගලයන් මෙන්ම වැඩකරන පංතියේ තමා මෙන්ම මුදලට ශ්‍රමය වගුරන සහෝදර වතු කම්කරු ජනයාගේ අරගලය සුළුකොට තකන්නට හැකියාවක් නැති බව අප සිහිතබා ගත යුතුය. ඒ නිසාම හෙට දවසේ යළි ඇවිළීමට නියමිත වතු කම්කරු ජනයාගේ අරගලයට කොන්දේසි විරහිතව සහයදීමටත්, ඔවුන් සමග එක පෙළට සිට ගන්නටත් වැඩකරන ජනයා සාමූහික විය යුතුය. ඒ සාමූහික සටන්වලින් මිස හුදකලා අරගලවලින් ලබාගත හැකි ජයග්‍රහණයක් නොමැති බැවිනි.

පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435