වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් කිරීම බොරුවක්ද?

චින්තක රාජපක්ෂ – සම කැඳවුම්කරු, 1000 ව්‍යාපරය

(වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රු.1000ක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගැනීම වතු කම්කරු  ප්‍රජාව ඇතුළු සියලුම ප්‍රගිතිශීලි ජනයාගේ සතුටට කරුණකි. එසේ වුවද, එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනු ඇතිදැයි බොහෝ දෙනෙකු සැක පළකරයි. මේ ”1000″ ව්‍යාපාරයේ සම කැඳවුම්කරුවෙකු වන චින්තක රාජපක්ෂ මහතා පළ කළ අදහස්ය).

ජනාධිපතිතුමා විසින් වතු කම්කරු ජනයාගේ අවම වැටුප රු.1000ක් බවට පත් කිරීමට කැබිනට් තීරණයක් අරන්. ඉතාම පැහැදිලිවම එම ක්‍රියාමාර්ගය අපි විසින් සුබවාදීව දකිනවා. නමුත් මේ තීරණය කෙතරම් ප්‍රායෝගිකද? එසේත් නැතිනම් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා කළ යුතු කටයුතු මොනවාද යන්න සොයා බැලීම වටිනවා. ඒ  සම්බන්ධයෙන් කරුණු ගණනාවක් තියෙනවා. ආණ්ඩුව විසින් දේශපාලනික තීන්දුවක් ගනු ලැබුවද, වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාවලිය වෙනස්. උදාහරණයක් විදිහට ගතහොත් දැනට 2019 -01-28 වන දින මීට අදාළව සාමූහික ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.  වතුකරයේ කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සිද්ධවෙන්නෙ සාමූහික ගිවිසුමක් මතයි. ඒ ගිවිසුම 2021-01-28 තමා අහෝසි වෙන්නෙ. මේ ගිවිසුමට එකඟවී ඇත්තේ හාම්පුතුන් ගේ සම්මේලනය සමග ප්‍රධාන වෘත්තීය සමිති 3ක්.

සාමූහික ගිවිසුමේ අන්තර්ගත කරුණක්, අන්තර්ගතයේ කොටසක් වෙනස් කිරීම හෝ සංශෝධනයක් එසේත් නැතිනම් අහෝසි කරනවානම් කවුරුන් හෝ පාර්ශවයක් එකී ගිවිසුමෙන් ඉවත් වෙනවානම් මාසයකට කලින් දැනුම්දීලා කළ යුතුයි. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. රජය විසින් මොන තීන්දුවක් ගනු ලැබුවත් වතු කම්කරුවන්ගේ වැටුප් තීරණය වෙන්නේ සාමූහික ගිවිසුමෙන්. මේ ප්‍රකාශය දෙස බැලුවම හාම්ප්තුන්ගේ සංගමයත්, වෘත්තීය සමිති වලත්  කිසිදු එකඟතාවයකින් නෙවෙයි, මේ තීරණය ගන්නෙ. හාම්පුතුන්ගේ සංගමය විසින් දැනටමත් රජය විසින් දේශපාලනික තීන්දුවක් වශයෙන් වැටුප් වැඩි කිරීමට තීරණය කිරීමට විරෝධය පළ කර තිබෙනවා. අනෙක් කාරණය නම් බිලියන 500ක් මේ සඳහා රජයේ පාර්ශවයෙන් ලබාදෙන්න සූදානම් කියලා තියෙනවා.  ඒක දෙන්නේ රජයේ දායකත්ව මුදලක් විදිහට කියලත් කියනවා.

1000 ව්‍යාපාරය ලෙස අපගේ මූලික ඉල්ලීම වූයේ දිනක මූලික වැටුප රු.1000ක් කළ යුතුයි කියන එකයි. නමුත් ආණ්ඩුව කියන්නේ දිනක අවම වැටුප රු.1000ක් කරනවා කියලයි.  මේක සම්පූර්ණයෙන්ම මුලාවක්. දිනක අවම වැටුප 1000යි කීවම බාහිරින් දෙන දීමනා කීපයක් ඇතුළු කරලා වැටුප රු.1000ක් බවට පත් කරලා ඊළඟ මැතිවරණයට යන්න තුරුම්පුවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.  දැනට මූලික වැටුප ලැබෙන්නේ රු.700යි. දැනට මිල ප්‍රතිපූර්ණය කියලා රු.50ක් ඊට අමතරව එකතුවෙලා තියෙනවා. එතකොට 750යි වැටුප. රු.1000ක් කිරීමට තව රු.250න් වැඩි වෙනවා නම් ඒක වැඩිවෙන ක්‍රමවේදය මොකක්ද කියලා පැහැදිලි විය යුතුයි. ඒක එකතු වෙන්නේ මූලික වැටුපටද? එසේත් නැතිනම් දීමනාවක් විදිහටද කියන එක පැහැදිලි නෑ.

පැමිණීමේ දීමනා, නිෂ්පාදන දිරි දීමනා.. ආදී ලෙස 2016  වෙන තෙක් තිබුණු දීමනා 2019 දි කප්පාදු කෙරුණා. ඒ නිසා මේ ලබාදෙන්නට යන්නෙ මොන විදිහේ දීමනාවක්ද කියන එක කොහේවත් පැහැදිලි කරලා නෑ. අනෙක් අතට මතුවෙන 3 වෙනි කාරණය හෙවත් බරපතළ කාරණය නම් රජය විසින් තේ මණ්ඩලයෙන් මීට අදාළ මුදල් ගන්නවා නම් ඒකට සම්පූර්ණයෙන්ම විරැද්ධ වෙන්න ඕන. 1995 දි පෞද්ගලීකරණය වුණාට පස්සේ සමාගම් 22ක් විසින් තමා වතු 465ක් පාලනය කරන්නේ. ඒ අය අධික ලාභයක් ලබනවා. අපි පුද්ගලිකවත් 1000 ව්‍යාපාරය විදිහට ඒ බව තහවුරු කරලා පෙන්නලා තියෙනවා. අපනයනය දක්වා තියෙන ක්‍රියාවලිය තුළ පවත්නා මාෆියාව හෙළි කරලා තියෙනවා.  ලාභ හැංගීම හෝ වෙනත් ව්‍යාපාරවලට ආයෝජනය කිරීම් කරලා තියෙන්නෙ කොහොමද කියලා අපි සාක්ෂි සහිතව ඔප්පු කළා.  මේ සමාගම්  පහුගිය අවුරුදු 4-5 ඇතුළත 100%ක්ම තම ලාභ මට්ටම්  ඉහළ දාගෙන තියෙනවා.

වඩා බරපතළ එවන් පසුබිමක රජය විසින් මෙම මුදල් භාණ්ඩාගාරයෙන් හෝ වෙනයම් මණ්ඩලයකින් සහනාධාරයක් ලෙස ලබාදීමට යාමේදී නැවත වරක් ජනතාවට පීඩනයක් වීමයි. ඒ බර ජනතාවට දරන්නට සිදුවීමයි. නිදසුනක් විදිහට තේ මණ්ඩලය හදලා තියෙන් නේ ඔය ආකාරයේ ක්‍රියාදාමයකට නෙවෙයි.  කුඩා තේ කර්මාන්තය ආරක්ෂා කිරීමට, නැවත තේ වගා කිරීමට, තේ කර්මාන්තයට අදාළ පර්යේෂණයන් කිරීමට හා ඊට දායකත්වය දැක්වීම ආදී අරමුණු වෙනුවෙන්.  එහෙමත් නැතිනනම් මේ  රටේ තේ කර්මාන්තය ශක්තිමත්ව පවත්වාගෙන යාමටයි. එම මුදල් රැගෙන සමාගම්වල  දායකත්වය නොසලකා උදව් කරන්නට යාම රටට අවාසි සහගතයි.

අනෙක් අකට දේශපාලනික තීන්දුවක් ගත්තම කිසිම ආකාරයක විශ්වාසයක් තියන්නට අමාරුයි. ආණ්ඩුව විසින් කොයි තරම් කාලයකට මේ මුදල ලබාදෙනවද? මේක සම්පූර්ණයෙන් නොමග යවන සුළුකාරණයක්.  මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගෙන් මේ ගැන ඇහුවම ඔහු කියන්නේ හාම්පුතුන්ගේ කැමත්ත හෝ සාමූහික ගිවිසුම පිළිබඳව අප විසින් පසුව තමා කල්පනා කරන්නෙ කියලයි. . සාමූහික ගිවිසුමේ රජය පාර්ශවකරුවෙක් නෙවෙයි. හාම්පුතුන්ට අමතරව  ලංකා කමකරු කොංග්‍රසය, ලකා ජාතික වතු කම්කරු සංගමය, ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය,  යන අය තමා සාමූහික ගිවිසුම නියෝජනය කරන්නෙ.

කෙසේ වෙතත් මේ වැටුප් වැඩිවීම මාර්තු 1 සිට දෙනවා කියලා කීවට මේ ක එකතු වෙන්නේඅප්‍රේල් 10 දෙන වැටුපටයි. අනිවාර්යයෙන්ම ඒ මුදල ලබාදීමට කොන්දෙසි ගණනාවකට යටත්වීමට සිදුවේවි. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන්  අවම තේ කිලෝ 18ක් විතර තමා එක් කෙනෙක්  දෛනිකව නෙළිය යුත්තේ. ඊට අමතරව දින 19ට වැඩිය වැඩ කර තිබුණොත් තමා  අනෙක් දෛනික දීමනා හම්බ වෙන්නෙ. මේ තත්ත්වය තුළ වැඩකළ යුතු දින ගණන මසකට දින 21-22-25 දක්වා දීර්ඝ කළොත්, ඊට සමගාමීව නෙළිය යුතු දළු ප්‍රමාණය මෙපමණ දක්වා වැඩිකරන බවට තීරණය කළොත් වතු කම්කරු ප්‍රජාවෙන් 10%ටවත්  මේ වැටුප් වැඩිවීමේ  අවස්ථාව ලැබෙන්නෙ නෑ.

මේක තනිකරම දේශපාලන තීන්දුවක්. කොයි තරම් කාලයකට අඛණ්ඩව මේ වැටුප් වැඩිවීම ලැබෙයිද කියලා කියන්න බෑ. නිදසුනක් විදිහට පහුගිය රජය විසින් රු.50ක්  වතු කම්කරු වැටුපට එකතු කරන බව කීවට ඒක වුණේ නෑ. නැවත වාරයක් වතු කම්කරුවන් නොමග යැවීමට ගන්නා උත්සාහයක් විදිහටයි පේන්නෙ.  තර්කානුකූල නෑ. පැහැදිලි නෑ. රජය ආර්ථික වශයෙන් අර්බුදයක සිටින වෙලාවක රු.බිලියන 500ක් වැනි මුදලක් වෙන් කරන්නේ කොහොමද කියන එක හිතන්න බෑ.  මීය අමතරව මාර්තු 01 වෙනිදා සිට රැකියා 50,000ක් ලබාදෙන බවත් රජය  කියනවා. මේ ඔක්කොම මහ මැතිවරණය ඉලක්ක කරගත් ප්‍රචාරණ ව්‍යාපෘති බවට පමණක් පත්වීමේ වැඩි අවදානමක් තියෙනවා.

සටහන – පී.ඩබ්.  මුතුකුඩආරච්චි – වැඩබිම

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435