වතු කම්කරු දෛනික වැටුප 1000ක් වුණත් ලැබීම ගැන සැකයි

මාර්තු 01 වැනිදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළ බව ප්‍රචාරය වුවත් එය සැබවින්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේදැයි සැක සහිතය. ඉකුත් 14 වන දින රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අදාළ තීරණය ගනු ලැබූවද, වතු කම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදෙන ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙස වතු හාම්පුතුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

තම සංගමය සමග සාකච්ඡා නොකර වතු කම්කරු වැටුප වැඩි කිරීමට තීරණය කිරීම ගැටළුවක් බවත්,  වතු කම්කරු වැටුප රුපියල් 750ක් ලෙස සඳහන් කරමින් පසුගිය රජය සමයේදී වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත්තේ වසර දෙකක කාලයක් සඳහා බවත් වතු හාම්පුතුන්ගේ සංගමය පෙන්වාදෙයි.

සැබවින්ම එවන් අවබෝධතා ගිවිසුමක් තිබියදී ඇමැති මණ්ඩල තීරණ මගින් වැටුප් වැඩිකිරීමට තීරණය කිරීම එම අවබෝධතා ගිවිසුම උල්ලංඝණය කිරීමකි. නිෂ්පාදන මිල ඉහළයාම, තේ වෙළෙඳපොළේ පවතින මිල වෙනස් වීම මෙන්ම ඇමෙරිකා – ඉරාන ගැටළුව නිසා තේ වෙළෙඳපොළේ සැපයුම අඩුවීම ආදී හේතු ගණනාවක් නිසා වතු කම්කරු දෛනික වැටුප වැඩිකිරීම කළ නොහැක්කක් බැව් ඔවුන්ගේ අදහසයි.

එහෙත් ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 වැටුප සම්බන්ධයෙන් ලබන සතියේ වතු සමාගම් සමග සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ ප්‍රජා සවිබල ගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියි. එහෙත් මේ සා සරල ලෙස ගැටළුවට විසඳුම් ලබාගත හැකිද යන පැනය ඉතිරි වී තිබේ.

ජනතා කම්කරු සංගමයේ ලේකම්, නීතිඥ ඊ. තම්බයියා ඒ ගැන පවසන්නේ මෙවැන්නකි.

නීතිඥ ඊ. තම්බයියා මහතා

” වතු කම්කරු ජනයාගේ දෛනික වැටුප රු. 1000 ක් විය යුතුයි කියන ඉල්ලීම 2014 සිට එන එකක්. ඒත් වැටුප් ක්‍රියාත්මක වීමේ ක්‍රම 3ක් තියෙනවා. එක  සාමූහික ගිවිසුමයි. දෙක  වෘත්තීය සමිති, ආණ්ඩුව, හාම්පුතුන් යන පාර්ශව තුනම නියෝජනය කරන පඩිපාලක සභා. තෙවැන්න තමා  ආණ්ව විසින් ගන්නා තීරණක් විදිහට ක්‍රියාත්මක වීම.  ඒත් ආණ්ඩුව විසින් ගන්නා තීරණයක් අදාළ වෙන්නේ රජයේ සේවකයින්ට, නිලධාරීන්ට තමා. දැනට ආණ්ඩුව කියන්නේත් මේ වැටුප් වැඩිවීම කැබිනට් එකේ සම්මත කරගත්තා කියලා. කැබිනට් එකේ සම්මත වුණාට නීතියක් වෙන්නේ නෑ.  හාම්පුතුන් බය ගන්වා යටපත් කරන්න හැකියැයි මට පුද්ගලිකව විශ්වාසයක් නෑ. ගිය ආණ්ඩුවෙනුත් වතු ජනතාවගේ දෛනික වැටුපට  රු.50ක් එකතු කරන්නට  තුන් පාරක් විතර කැබිනට් තීරණ ගත්තා. ඒ ආණ්ඩුවේ මුදලින් දෙන්න. තේ මණ්ඩලයේ මුදලින් අවුරුදු දෙකක කාලයක් දෙන බව කීවා. නමුත් ක්‍රියාත්මක කළේ නෑ. ඒකට තේ මණ්ඩලයේ සල්ලි නෑ කියලා කීවද, මහා භාණ්ඩාගාරයේ මුදල් නැති වුණාද කියලා අපි දන්නෙ නෑ. නමුත් ක්‍රියාත්මක වුණේ නෑ.

ජනයාගේ අවම වැටුප් ප්‍රමාණය දෛනිකව රු. 740ක්. ඒක 1000 කරනවා නම් අදාළා  පනතට සංශෝධනයක්  ගේන්න පුළුවන්. අනෙක් අතට සාමූහික ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ රු.750ටයි. ආණ්ඩුව කියන රු.1000ක් දෙන්නේ කොහොමද කියන එක පැහැදිලි නෑ. ඒක අතන මෙතන එල්ලන දීමනාවක් හැටියට එකතු කරයිද දන්නෙත් නෑ. එහෙම එකතු කළා කියලා වැඩක් වෙන්නෙත්  නෑ. මූලික වැටුප තමා  රු.1000ක් විය යුත්තේ.  ක්‍රියාත්මක වෙයිද දන්නෙ නෑ. හාම්පුතුන් කියන්නේ  ශ්‍රමයට පමණයි ගෙවන්න වෙන්නේ. නමුත් නිෂ්පාදනය පාඩුයි කියලා. ඒක බොරුවක්. ඒවා බොරු කියලා සාක්ෂි සහිතව මූලාශ්‍ර සහිතව අපි ඔප්පු කරතා තියෙන්නේ. ජනාධිපතිතුමා හෝ කැබිනට් මණ්ඩලයට  හෝ  හාම්පුතුන් බය ගන්වා මේක ක්‍රියාත්මක කරන්නට හැකි යයි මං හිතන්නෙ නෑ. එහෙම හෝ වෙනව නම් හොඳයි. ඒත් ව්‍යවස්ථාවේ හෝ නීතිමය ප්‍රතිපාදන අනුව, විධිවිධාන අනුව යාන්ත්‍රණයක් නෑ. ආණ්ඩුව ම තීරණයක් හැටියට ගත්තොත් භාණ්ඩාගාරයෙන් මුදල් වෙන කරලා දෙන්න පුළුවන්. ඒත් මේ ආණ්ඩුව වෙන් කළා යයි කීව මුදල්වත් මේ වන තෙක් ගෙවලා නෑ.  ඒනිසා සාර්ථක වෙයිද කියලා සැකයි. ”

ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පවසන්නේද, රජයේ තීරණය යහපත් වුවත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ තවමත් පැහැදිලි බවක් නොමැති බවයි.

චතුර සමරසිංහ  මහතා

“මේ තීරණයට  සන්තෝෂ වෙනවා. දිනක වැටුප රු.1000ක් ලබාදීමට තීරණය කිරීම හොඳ දෙයක්.  වතු කම්කරු වෘත්තීය සමිති නායකයින් සියල්ල පවා ”දිනක මූලික වැටුප රු.1000ක් විය යුතුයි” කියන  මේ සටන්පාඨය අතහැරපු වෙලාවේ “1000 ව්‍යාපාරය” විදිහට අපි එය අඛණ්ඩව ඉදිරියට රැගෙන ආවා.

ඒ මෙහි පවත්නා සාධාරණ පදනම නිසාමයි. අපි විසින් රටේ හදපු මතවාදී ස්ථාවරය හෝ එහෙමත් නැතිනම් කතිකාව තමා  රට පාලනය කරන පාලකයින්ට මේකට උත්තරයක් දෙන්න සිද්ධවෙන තැනට අරන් ආවේ. ඒ නිසා මේ තීරණය  මතවාදී අරගලයේ ජයග්‍රහණයක් හැටියට විශ්වාස කරනවා.

ඒ වුණත් ප්‍රශ්නයක් තියෙනවා.  වැඩිවූ මුදල ලබාදෙන්න වතු හාම්පුතුන් ඉදිරිපත් වෙයිද නැද්ද කියන එක අපි දන්නෙ නෑ. දැනෙන විදිහට හාම්පුතුන්ගේ සංගමය යහපත් ප්‍රතිචාර දක්වන්නේ නෑ. ඒත් වතු සමාගම් වලට මේ වැටුප් වැඩිවීම ලබාදිය හැකි බව අපි දිගින් දිගටම පෙන්වා දුන්නා. ඒත් සමාගම්වලින් අයකර නොගෙන රජයේ මුදල්වලින්ම මේක ගෙවන්න ගියොත් ඒ සඳහා අපේ කැමැත්තක් නෑ. ඒ මොකද කියනවනම් අවසානයේ නැවත ජනතාවට බදු ගසා මේ මුදල් පියවාගැනීමට ක්‍රියා කරන නිසා යළිත් අවසානයේ ජනතාවමයි පීඩාවට පත්වෙන්නෙ. ” සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පී.ඩබ් මුතුකුඩආරච්චි – වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435