වතු කම්කරු 1000 අරගලය සාර්ථකයි

වතු කම්කරු දෛනික වැටුප මාර්තු පළමු වැනිදා සිට රුපියල් දහස දක්වා වැඩි කිරීමට රජය විසින් තීරණය කර  තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 14 දින පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාෂක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

2018 වසර වන විට වතු කම්කරුවකුගේ දෛනික මූලික වැටුප රුපියල් 600 ක්ව පැවති අතර එය රුපියල් දහස දක්වා වැඩි කරන ලෙසට දිගින් දිගටම වතු ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති වෙතින් මෙන්ම සිවිල් සමාජ සංවිධාන වෙතින්ද ඉල්ලීම් කරනු ලැබිණි.

අවස්ථා ගණනාවකදීම 1000 ව්‍යාපාරය විසින් රට පුරා විවිධ උද්ඝෝෂණ, විරෝධතා ව්‍යාපාර, පෝස්ටර්, අත් පත්‍රිකා බෙදාහැරීම් සිදුකරන ලදී.

කෙසේවෙතත් දැඩි ක්‍රියා මාර්ග මධ්‍යයේ වුවද, 2019 වසරේ ජනවාරි මාසයේදී ඔවුන්ගේ මූලික වැටුප වැඩිකෙරුණේ රුපියල් 700 දක්වා පමණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ එම වැටුප රුපියල් දහස දක්වා ඉහළ නංවන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොරොන්දු වූ අතර  ඒ අනුව ජනාධිපතිවරයා  කැබිනට් රැස්වීමට ඒ සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

රජය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ අදහස් දක්වන නමුත් ඒ සියලුම දෙනා පාහේ රජයේ තීරණය අගය කරන බව කිව හැකිය.

ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කර ඇත්තේ  ජනාධිපතිවරයා විසින් දී ඇති පොරොන්දුව ඉටු කර ඇති බවයි.

ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරනු ලැබුවේ තේ වල මිලත් මේ වන විට ඉහළ ගොස් ඇති බැවින් මෙම තීරණය ගැනීමට හැකිවු බවයි.

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ද ජනාධිපතිවරයාගේ මේ පියවර පිළිබඳ සිය ප්‍රසාදය පළ කර තිබේ.

මේ අතර වැඩබිම විසින් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් 1000 ව්‍යාපාරයේ පුරෝගාමීන් කිහිපදෙනෙකුම කියා සිටියේ මෙය තමන් අඛණ්ඩව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව රැගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් බවත්, ඒ සියලුම පාර්ශවයන්ට ස්තූතිය හිමිවිය යුතු බවත්ය.

කෙසේ වෙතත් මෙය ඉතාම සාධාරණ ඉල්ලීමක් හා අරගලයක් බැවින් ජනාධිපතිවරයා විසින් තීරණයක් ගෙන මෙය ක්‍රියාවට නැංවීම පිළිබඳ සතුටට පත්වන බවද ඔවුහු කියා සිටියහ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435