වරාය සටන ජයග්‍රහණයෙන් මිස නවතන්නෙ නෑ – ලාල් බංගමුව කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණයට එරෙහිව වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් දියත් කර ඇති වර්ජනය ජයග්‍රහණයෙන් තොරව අත් නොහරින බව ස්වාධීන වරාය සේවක සංගමය පවසයි.

අද (31) පස්වරුවේ දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් දියත් කරමින් හර්තාල් පාලම වසා දමමින්, වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව වැඩවර්ජනයක් දියත් කළ බවත්, සාධාරණ විසඳුමක් නොලැබුණහොත් පර්යන්ත 3ම අක්‍රිය කරමින් දැවැන්ත ක්‍රියා මාර්ගයකට යන බවත් ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව මහතා වැඩබිමට අවධාරණය කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිම විදේශීය රටකට බදු නොදී ශ්‍රී ලංකා රජය යටතේ පවත්වා ගන්නා බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු දැවැන්ත වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු පෙන්වාදුන්නේය.

මෙම වර්ජනයේ පසුබිම් කතාව හෙතෙම ‘වැඩබිම‘ වෙනුවෙන් මෙසේ සිහිපත් කළේය.

“මාසෙකට පමණ ඉහතදී අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව නැගෙනහිර පර්යන්තයේ ට්‍රේන් බා ගත්තද, වැඩ ආරම්භ කළ යුතුව ඇති නමුත් මේවන තෙක් නිකම්ම පවතිනවා.

කන්ටේනර් බහාලුම් හඳුන්වාදෙනු ලැබුවේ ජේ.ආර් ජයවර්ධන ආණ්ඩු සමයේ, ලලිත් ඇතුළත් මුදලි ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් වන අතර කොළඹ වරායේ 1979 දී ප්‍රථම වරට හඳුවා දෙනු ලැබුවේ ජයබාහු පර්යන්තයයි. දැනට ශ්‍රී ලංකා රජය යටතේ පවතින්නේ ජයබාහු පර්යන්තය පමණයි.

රැජින පාලම කියලා තිබුණු පර්යන්තය 1997 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් ඕස්ට්‍රේලියානු සමාගමකට බදු දුන්නා. ඒකෙ බදු කාලය නිමාවීමට තව අවුරුදු 9ක් තියෙනවා. ලංකාවේ සේවකයින් මමත් ඇතුළුව 17 දෙනෙකු ඒකට එදා විරෝධය පළ කළා. අපිව සේවයෙන් නෙරපුවා. අවුරුදු3යි මාස 09ක් අපි එළියේ හිටියා. ශ්‍රේෂ්ඨාධිකරණයටත්, කම්කරු උසාවියටත් ගියා.

ඊට පස්සේ ජවිප-චන්ද්‍රිකා පරිවාස ආණ්ඩුව කාලයේ වරාය ඇමති ලෙස හිටියේ මහින්ද රාජපක්ෂ. අපි එළියේ සිටින බව දැනගත් පසු එතුමා කතා කරලා ඇරියස් සමග වැටුප් දීලා නැවත සේවයේ පිහිටෙව්වා. ඒත් එදා හිටපු මහින්ද රාජපක්ෂ නෙවෙයි, අද ඉන්නෙ.

2002 දි විතර ආසියානු සංවර්ධන බැංකුව සමග කොළඹ වරාය ගිවිසුමකට එළඹුණා. ආසියානු සංවර්ධන බැංකුව අපට ඩොලර් මිලියන 300ක් දියකඩනයක් හදන්න දුන්නා. දිග කි.මි 6.4ක්. ඒක ගහන්න ඩොලර් මිලියන 300ක් දුන්නා. මේක යටතේ ජැටි 3ක් ඉදිවෙනවා. 1ක් ගොල්ෆේස් පැත්තට වෙන්නට තියෙන දකුණු කොළඹ වරාය. ඒක මහින්ද මහත්තයා විසින් චීනයට දුන්නා. අනෙත් එක මේ නැගෙනහිර පර්යන්තය හා ඊට ඉදිරිපසින් තියෙන බටහිර පර්යන්තය.

මේ පර්යන්ත 3ම ගොඩනඟන්නේ අර දියකඩනය හැදුවට පස්සෙ. ඒ වෙලාවෙ මේ 3ට විදේශයන්ට බදු දෙන්නට ගිවිසුමකට ආවම අපි වෘත්තීය සමිති සියල්ල එකතුව එයට විරෝධය දක්වා 2ක් දීලා 1ක් අපට තියාගන්නට කටයුතු කළා. ඒ කොන්දේසි මත තමා ආසියානු සංවර්ධන බැංකුව අපට ණය දුන්නෙ. ඒ වෙලාවෙ නැගෙනහිර පර්යන්තය 100%ක්ම කොළඹ වරාය යටතේ ක්‍රියාත්මක කරන බවට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු ලබාදුන්නා.

මහින්ද රාජපක්ෂ මහතා 2014 දි දකුණු කොළඹ වරාය ( කලම්බු ඉන්ටර් නැෂනල් කන්ටේනර් ටර්මිනල්) චීනයට දුන්නා. ඒ වෙලාවෙ අපේ ජාතික ගීය වත් වාදනය කරන්න දුන්නෙ නෑ. පාවාලා දුන්නා. ඒකෙ ලංකාවට කොටස් තියෙන්නේ 15%යි. 85%ක් කොටස් තියෙන්නෙ චීනයට. එතන මුහුදේ ගැඹුර මීටර් 18යි. එතැන කන්ටේනර් 25,000-35,000ක් ගෙන යා හැකි නැව් අල්ලන්න පුළුවන්.

ඊළඟට අපි කියන නැගෙනහිර පර්යන්තය කියන්නේ ආසියානු සංවර්ධන බැංකුව යටතේ හදලා අපගේ බලකිරීම නිසාම රජයට පවරා ගත්තු පර්යන්තයයි. ඒක පහුගිය යහපාලන ආණ්ඩුව යටතේ ජපානය-ඉන්දියාව-ශ්‍රී ලංකාව යන රටවල් එක්ක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළා. ජපානයට අයිතිය 49%යි. අපට 51%යි. නමුත් ඒක සහයෝගිතා ගිවිසුමක් පමණයි. ඒක දින 180න් අවලංගු වුණා. ඒක කරන්න අපි ඉඩ නොදී වෘත්තීය සමිති විරෝධය දැක්වීමෙන් පසු එවක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කීවේ මගේ රජයක් යටතේ ඒක ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නෙ නෑ කියලා. මගේ ආණ්ඩුව මාස 3න් ආවම මොකුත් කරන්න දෙන්නෙ නෑ කියලා.

එහෙම පොරොන්දු වූ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයට පත්ව දැන් කියන්නේ ගිය ආණ්ඩුවෙන් ගිවිසුමක් අත්සන් කළ නිසා මොකුත් කරන්න බෑ කියලයි. ඒක බොරු. ගිවිසුමක් අත්සන් කළේ නෑ. ගිවිසුමක් අත්සන් කිරීමට සහයෝගිය පිණිස පූර්වයෙන් අත්සන් කරන ගිවිසුමක් පමණයි. ඒක දින 180න් අහෝසියි. ඒත් ගිය ආණ්ඩුව දුන්නු බවට බොරු ප්‍රචාරයක් කරනවා.

ජයබාහු පර්යන්තයට ඇණවුම් කළ ට්‍රේන් 3ක් තමා නැගෙනහිර පර්යන්තයට බාගත්තෙ. ඒ වෙලාවෙ ඉන්දියාවෙ බලපෑම මත ඒක බා ගන්න බැරිවුණා. ඒ වෙලාවෙ අපේ සහෝදරවරු ට්‍රේන්වල නැඟලා උපවාස කරලා ඒක බාගන්න තැනට කටයුතු කළා. මැදමුලනට ගිහින් සාකච්ඡා කළා.
පී.බී ජයසුන්දර නම් ආර්ථික ඝාතකයාට කතා කරලා මේක ලිහාගන්න උත්සාහ කළා. පී.බීටත් මේ ගනුදෙනුවෙ කොමිස් තියෙනවා. ඉන්දියන මහ කොමසාරිස්ට කතා කරලා කීවෙ මේක අපි බාගන්නවා, ඒත් වැඩ කරන්නෙ නෑ කියලා. සියලුම වෘත්තීය සමිති නියෝජිතයින් ඉස්සරහ තමා එහෙම කීවේ. බාගන්න කීවා. බාගත්තට වැඩකරන්න එපා කියලා කීවා.

ඒත් බාගත්තට පසුව වැඩ කළ යුතුයි. නැව් පෝලිමේ තියෙනවා. අපි ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා හදපු ජැටිය. අපි වියදම් කරලා ගෙනාව ට්‍රේන් තියෙනවා. ඒත් වැඩ නෑ. අපි පෙබරවාරි 04දා ට නිදහස සැමරුවාට අපේ ජැටිය අපිට පාවිච්චි කරන්නවත් නිදහස නෑ.

මෙතන ගිවිසුමක් නෑ. ගිවිසුමක් තියෙන බවට ගෙන යන ප්‍රචාරය බොරු. අපි කියන්නෙ මැතිවරණයට පෙර මේ ගනුදෙනුව සිදු නොකරන බවට පොරොන්දුවක් දෙන්න කියලා විතරයි. ඉන්දියාවට, චීනයට, වෙනත් රටකටද කියන එක අපට අදාළ නෑ. මෙතන සේවකයින් 10,000ක් වැඩකරනවා. ඒ 10,000කගේ රැකියා අනතුරේ.

මෙතන ජැටි 3න් එකක් මහින්ද මහත්තයා චීනයට දුන්නා. අනික චන්ද්‍රිකා ඕස්ට්‍රේලියාවට දුන්නා. අනික තමා මේ ඉන්දියාවට දෙන්න යන්නෙ. ජයබාහු පර්යන්තයේ ගැඹුර මීටර් 12.4යි. එතෙන්ට ලොකු නැව් අල්ලන්න බෑ. කන්ටේනර් 10,000-12,000 නැව් විතරයි අල්ලන්න පුළුවන්. නැව් නැති වෙනවා. ඒ නැව් ටිකත් අර පර්යන්තවලටම යන්න යනවා.

මේ වරයෙන්ගෙන් හම්බකරන්නෙ රුපියල් නෙවෙයි. ඩොලර්. ඩොලර් බිලියන ගණනක විදේශ විනිමය අහිමි කරගන්න හදන්නේ ඇයි? ඒ සල්ලි ටික විදේශ රටවල් අරන් යනවා. මේ සේවකයින් 10,000 ක් එළියට වැටෙනවා. රට අගාධයකට යනවා. මේ වරාය හැමදාම ලාභ ලබනවා. මේ සල්ලි යන්නේ මහා භාණ්ඩාගාරයට. එයින් ගුරුවරුන්ට වැටුප් ගෙවනවා. සුබසාධන කටයුතු කරනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය රකිනවා. වරායෙන් ලැබෙන ලාභය පවා මිලියන ගණනින් මහා භාණ්ඩාගාරයට යවනවා.

ලාභ ලබන ආයතන පුද්ගලීකරණය කරන්නෙ නෑ කියනවා. ඒත් දැන් කරගෙන යනවා. මේ රටේ ඉහළම දේශපාලනඥයෙකුගෙ පුතෙකුටත් මේකෙ කොමිස් තියෙන බවට අපට ආරංචි පැතිරෙනවා. වරාය ඇමති මේක පවරා ගන්නට කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. ගිය ආණ්ඩුව දුන්නා නම් එහෙම මේ ආණ්ඩුවට අලුතෙන් කැබිනට් පේපර් එකක් දාන්න බෑනේ.

අද අඛණ්ඩව 3 වෙනි දවස. අද වරායවල් 3ම අකර්මණ්‍ය කරනවා. මේ සටන අපි ජයග්‍රහණයෙන් තමා නතර කරන්නෙ. සියලුම වෘත්තීය සමිති කිසිදු පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයකින් තොරව එකට මේ වෙනුවෙන් අරගල කරනවා. මේක ජාතිය සතු දේපළක්. මේක දේශ හිතෛෂි, දේශ මාමක ආණ්ඩුවක් කියලා ජනතාව මුලා කරලා තියෙනවා. ඒක එහෙම නෙවෙයි කියලා කියලා. මේක ජාතික සම්පතක්. වෘත්තීය සමිති 23ක්. එකතු කරනවා. පොහොට්ටු සමිතියක් සහය දෙනවා. වරාය සේවකයින් 100%ක් එකතුයි. මේ සටන ජයග්‍රහණයෙන් මිසක් නවතන්නෙ නෑ.

පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435