වරාය සේවකයින්ට පොදු සේවක යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඉල්ලීමක්

කොවිඩ් 19 හේතුවෙන් වරාය සේවකයින් මුහුණ පා ඇති ගැටලූ සඳහා විසඳුම් සෙවීමට පොදු යාන්තණ‍්‍රයක් සකස් කිරීමත්,  පොදු ප්‍රවාහන පහසුකම් නිසි පරිදි ක්‍රියාත්මක වන තෙක් වරාය සේවකයින්ගේ සේවයට පැමිණීම රජයේ නිවාඩු දින සේ සලකා කටයුතු කර 2020/05/22 දිනැතිව වඅධි/ප්‍ර01/විවිධ/2020 චක්‍රලේඛය අහෝසිකරන ලෙසත්,  සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වරාය හමුවේ ඇති අභියෝග ජය ගැනීමටත් ඉන් පැනනගින සේවක ගැටලූවලට හා සේවාලාභීන්ගේ ගැටලූවලට සාර්ථකව මුහුණ දීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස්කරන ලෙස ආරම්භයේදීම අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමුත් මේ දක්වා එවැනි යාන්ත්‍රණයක් වරාය තුල සැකසී නැත.

කරුණු එසේ තිබියදී පාලනාධිකාරීය විසින් විටින් විට ගනු ලබන එකිනෙකට පරස්පර තීරණ හේතුවෙන් විශේෂයෙන් වරාය සේවකයා දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.

එහි ආසන්නතම ගැටලූව 2020/05/18 දින වඅධි/ප්‍ර01/විවිධ/2020 යටතේ කළමණාකාර අධ්‍යක්‍ෂකතුමා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය පෙන්වා දිය හැක.

එමගින් 2020/05/18 දින සිට වරාය සේවා කටයුතු හා සේවයට පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇත.

එම චක්‍රලේඛයයේ පවතින අඩුපාඩු දක්වා අප විසින් 2020/05/22 දිනැතිව යොමු කරන ලද ලිපියට ප්‍රතිචාර ලෙස එදිනම උප සභාපතිතුමා විසින් එම චක්‍රලේඛයට වැඩිමනත් ලෙස දන්වමින් 2020/05/22 දින වඅධි/ප්‍ර01/ විවිධ /2020 යටතේ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

එමගින් සේවාමුර සඳහා නොපැමිණෙන සේවකයින් තම පුද්ගලික නිවාඩු දැමිය යුතු බව දන්වා ඇත. එම චක්‍රලේඛය ප්‍රකාරව අංශ ප්‍රධානීන් විසන් 2020. 05. 18 සිට සේවයට වාර්තා කර නැති සේවකයින්ට පුද්ගලික නිවාඩු වාර්තා කරන ලෙස දන්වා ඇත.

ජීවිත අවධානම නොතකමින් පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක නොවන වටපිටාවක වරාය සේවකයින් සැලකිය යුතු පිරිසක් ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ දක්වා තම සේවය ලබා දෙමින් ඇත.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින තත්ත්වයන් තුල පුද්ගලික වාහන යොදා ගනිමින් සේවයට පැමිණ කැපවීමෙන් යුතුව සේවකයින් මෙතෙක් කරන ලද සේවාව නොසලකා සේවා මුරයට නොපැමිණෙන සේවකයින්ගේ පුද්ගලික නිවාඩු අඩුකිරීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණය හේතුවෙන් සේවකයින් දැඩි කණස්සල්ලට පත්ව ඇත.

එසේම එම චක්‍රලේඛය මගින් මේ දක්වා සේවයට වාර්තා කර නොමැති සේවකයින් සම්බන්ධයෙන් කිසිවක් සඳහන්කර නැත.

කරුණු එසේ හෙයින් ඇඳිරි නීති තත්ත්වය ඉවත්කර පොදු ප්‍රවාහන පහසුකම් නිසිපරිදි ක්‍රියාත්මක වන තෙක් වරාය සේවකයින්ගේ සේවයට පැමිණීම රජයේ නිවාඩු දින සේ සලකා කටයුතු කර 2020/05/22 දිනැතිව වඅධි/ප්‍ර01/විවිධ/2020 චක්‍රලේඛය අහෝසිකරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

තවද අප විසින් පූර්වයෙන් ඉල්ලා සිටි හා නැවත මෙම ලිපිය මගින් දන්වා ඇති පොදු යාන්ත්‍රණයක් සකස් කර අපද එහි කොටස්කරුවන් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435