වරාය සේවක වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු විදෙස් රටකට ලබානොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තිය සමිති එකමුතුව විසින් මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර තිබේ.

අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග තංගල්ල කාල්ටන් නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබූ බවත්, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ලබාදුන් පොරොන්දුව සැලකිල්ලට ගනිමින් හා නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අදාළ යටිතල පහසුකම් ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කළ බැවින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව මහතා වැඩබිමට කියා සිටියේය.

ඒ අනුව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එක් වූ වරාය වෘත්තීය සමිති 23 ම එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෘත්තීය ක්‍රියා මාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවත්, හෙට දවසේ තමන් වෙත ලැබුණු පොරොන්දුව කඩකරමින් නැවතත් මෙම නැගෙනහිර පර්යන්තය විදෙස් රටකට ලබාදීමට ක්‍රියා කරනු ලැබුවහොත් යළි අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට ක්‍රියා කරන බවත් ඔහු අවධාරණය කළේය.

වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් උද්ගත වී ඇති මෙම ගැටළුව මුල් කරගනිමින් වරාය වෘත්තීය සමිති 23ක් පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ බවත්, එම ක්‍රියා මාර්ගය හේතුවෙන් මේවන විට මිලියන 180ක පමණ පාඩුවක් රටට සිදුව ඇති බවත් බංගමුව මහතා සිහිපත් කළේය.

වගකිව යුතු වෘත්තීය සමිති විදිහට රටේ ආර්ථිකයට දරුණු ප්‍රහාරයක් එල්ලවී ඇති මොහොතක තව දුරටත් රටට ආර්ථික වශයෙන් පාඩු කිරීමේ ක්‍රියා මාර්ග ගැනීමට හැකියාවක් නොමැති බවත්, නැව් 16ක් පමණ බහාලුම් සඳහා පැමිණීමට නොහැකිව සිටින තත්ත්වයක ඒවා වෙනත් රටවල වරායන් කරා රැගෙන යාමේ අවදානමක් පවා පැවති බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මෙවන් තත්ත්වයක් තුළ වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීමට සියලුම වෘත්තීය සමිති එකඟ කරවා ගත් බවත්, ඒ අනුව මෙය පොදු තීරණයක් බවත් හෙතෙම වැඩබිමට වැඩිදුරටත් සඳහන් කළේය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435