වසර 62 කට පසු ගුරු උපදේශක සේවාවක්

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සේවය කරනු ලබන ගුරු උපදේශකවරුන් ගුරු උපදේශක සේවාවක් ලෙස ස්ථාපනය කිරීම සඳහා අදාළ අනුමැතිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ.

ඒ අනුව සතියක කාලයක් ඇතුළත අදාළ පියවර ගන්නා  ලෙස අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරින්ට (05 දින) නිර්දේශ කරන ලද බව වාර්තා වේ. මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවී ඇති මීට අදාළ ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද අනුමැතිය හිමි වී ඇති අතර නැවත ඒබව කැබිනට් මණ්ඩලට දැනුම් දීමෙන් අනතුරුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

වසර 60 කට ආසන්න කාලයන් තුළ නොවිසඳුණු මෙම ගැටළුවට විසඳුම් ලබා දීමට ගත් තීරණයත් සමග 4971 ක පිරිසක් ගුරු උපදේශක සේවයට එක්වනු ඇත.  කාරක සභා සභාපති ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වු අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබු  අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිණි කුමාරී විජේරත්න මහත්මිය සහ තුරෙයිරත්නසිංහම් මහතා ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

මෙම සේවාව ස්ථාපනය කිරීමත් සමග අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති ශ්‍රී ලංකා ගුරු සේවය,ශ්‍රී ලංකා විදුහල්පති සේවය ,ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ආදිය අතරට අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුරු උපදේශන සේවය ද අලුතින් එක්වේ.  තවද මෙමගින් පවතින ගුරු හිඟයට ද පිළියමක් ලැබෙන බව කමිටු සාමාජිකයෝ පෙන්වාදෙති. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යංශය මගින් නොවිධිමත් අධ්‍යාපනය සදහා 1994 වසරේ බඳවා ගැනුනු ව්‍යාපෘති නිලධාරින්ගේ තනතුර සම්බන්ධව වසර 24කට අධික කාලයක් මුළුල්ලේ පැවති නොවිසදුනු සේවා ගැටළු අනු කාරක සභාවේ විමර්ශනයට ලක්වු අතර ඔවුන් MN – 6  යන වැටුප් තලයේ පිහිටුවීමට අදාළ කටයුතු කඩිනමින් අවසන් කොට අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝජිතයන්ට කාරක සභාව විසින් උපදෙස් ලබා දී තිබේ.

මේ අනුව දැනට සේවයේ නියුතු 198 දෙනෙකු මෙම වැටුප් තලයට අන්තර් ග්‍රහණය කිරීම සිදුවනු ඇත. මීට අමතරව ජාතික ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කිරීමට අදාළ කටයුතුවල ප්‍රගතිය පිළිබද කාරක සභාවේ අවධානයට ලක් විය. ගුරු සංගම් 16 ක් සමග පසුගිය කාරක සභාවල පැවති සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනෙකුත් ක්ෂේත්‍රවලට සමානව සකස් කෙරෙන අතර එය  ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම මගින් සියලු කාරක සභා අහෝසි වන බව බවට වැරදි මතයක් ජනතාව තුළ ඇති බව පැවසූ කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මහතා ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය තුළ දේශපාලන භේදයකින් තොරව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාගේ සහය ලැබුණු බැවින් ඊට ස්තුති පළ කරමින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය අතිශය වැදගත් බව අවධාරණය කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435