වාමාංශික වෘත්තීය සමිති හැමදාම වගේ කම්කරු පංතිය වෙනුවෙන් වැඩකළා

29 සැප්තැම්බර් 2014 – wedabima.lk

 

වාමාංශික වෘත්තීය සමිති හැමදාම වගේ කම්කරු පංතිය වෙනුවෙන් වැඩකළා – ඇන්. සරණපාල ද සිල්වා – ප්‍රධාන ලේකම් – එක්සත් කම්කරු සම්මේලනය

 

1957 වර්ෂයේ බාටා පාවාහන් ආයතනයට කම්කරුවකු ලෙස සේවයට බැදී සරණපාල සිල්වා මහතා, 80 මහා වැඩ වර්ජනයෙන් පසු තම රැකියාව අහිමි විය. එතැන් පටන් වෘත්තීය සිමිති ක්ෂේත‍්‍රයට පූර්ණ කාලීනව එකතු වූ සරණපාල සිල්වා මහතා වානිජ හා කාර්මික සේවක සංගමයේ හා එක්සත් කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් දූරය දරමින් සිටී. ඔහු කම්කරු පන්තියේ වැඩකරන සේවකයන්ට ආදර්ශයක් ලබාදෙමින්, 1982දී කොළඹ විශ්වවිද්‍යාලයේ සේවක අධ්‍යපන ආයතනයෙන් කළමනාකරණය හා සංවර්ධනය සඳහා වූ තම ශාස්ත්‍රවේදී   උපාධිය සම්පූර්ණ කිරීමට ඔහුට හැකි විය. තවදුරටත් තම හැකියාවන් දියුණු කර ගනිමින් ඇමරිකාවේ, කැලිපෝනියා හි, Global University of Lifelong Learning විශ්වවිද්‍යාලයෙන් 2011 වර්ෂයේදී තම ආචාර්ය උපාධිය ලබාගන්නා ලදී. ඔහු වෘත්තීය සමිති ක්ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල නායකයෙකි.

 

  • වෘත්තීය සමිති ක්ෂේත්‍රයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

 

1957 ජනවාරි 04 වෙනිදා මං බාටා ඒකේ රස්සාවට ගියා. ඒ වෙද්දි කොමියුනිස්ට් ව්‍යාපාරය චීන පිල හා සෝවියට් පිල ලෙස බෙදිලයි තිබුණේ. මම නියෝජනය කළේ ෂන්මුගදාසන්ගේ නායකත්වයෙන් යුතු චීන පිල. 1965 දී බාටා කම්පැණි එකේ ලොකු ස්ට්‍රයික් එකක් පවත්වනවා. ඒකෙන් වෘත්තීය සමිති සටන් ගැන සෑහෙන ගැම්මක් ජීවිතයට දැනෙනවා.1 970දී සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ සිරිමාවෝගේ නායකත්වයෙන් යුතු සමගි පෙරමුණු රජයට සහය පළකොට එහි කොටස්කාරයින් බවට පත්වෙනවා. එතැනදී අපි සභාගයට විරුද්ධව එහෙමත් නැත්නම් ආණ්ඩුවලට මුක්කු ගැසීමේ දේශපාලනයට විරුද්ධව එළියට එනවා.ඊට පස්සේ වාසු-බාහු එකතුවෙලා නව සමාජ පක්ෂය හදනකොට අපි ඒකත් එක්ක එකතුවෙලා එක්සත් කම්කරු සම්මේලනය හදනවා. එදාමෙදාතුරු අද වෙනකල් මං ඒකේ වැඩකරනවා.

 

  • කරන ලද වෘත්තීය අරගල වලින් ඔබේ ජීවිතයට තීරණාත්මක ලෙස බලපෑ අරගලය මොකක්ද?

 

80 ජූලි වර්ජනය තමයි. ඒකෙන් ගොඩාක් අයගේ වගේම මගෙත් රස්සාව නැතිවුණා. මං රත්මලාන බාටා එක ඉස්සරහ පත්‍රිකා බෙද බෙදා සිටිද්දී පොලීසියෙන් අල්ලගෙන ගියා. ඊට පස්සෙ මට නඩු දැම්මා. වර්ජනයෙන් පස්සේ අපිත් එක්ක බාටා එකේ රස්සාව කරපු විශාල පිරිසක් ආයෙම රස්සාවට ගත්තා. ඒත් මාව ගත්තෙ නෑ. නඩුව ඉවරවුණාම ගන්නම් කිය කිය හිටියා නඩුවත් අවුරුදු ගාණක් ඇදුණා. ඔය අතරේ වාසුදේව නානයක්කාර ගිහින් නීතිපති හමුවෙලා කතා කරලා නඩුව ඉල්ලා අස්කර ගන්නා තැනට කටයුතු යෙදුවා. නඩුව ඉල්ලා අස්කර ගත්තත් මං ආයෙ රස්සාවට ගත්තෙ නෑ.

 

  • ඔබ හිතන විදිහට අනෙක් අය වගේ ඔබ ආයෙම රස්සාවට බඳවා නොගත්තේ ඇයි?

 

ඒ වෙද්දි මං බාටා වෘත්තීය සමිති ශාඛාවේ සභාපති වගේම මව් සංගමයේත් සභාපති. අනිත් අයගේ වෘත්තීය සටන් වලදී පවා බාටා සමිතියේ අයත් එක්ක වර්ජන වලට එකතුවෙලා සහයෝගය දෙන්න ගනීවි කියලා ඒ අයට සාධාරණ බයක් තිබුණා.එහෙම වුණොත් දිගින් දිගටම වර්ජනත් එක්ක ආයතනයට ගනුදෙනු කරන්න සිදුවීම මහා හිසරදයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.මං හිතන්නේ මාව ගත්තෙ නැත්තෙ ඒ හින්දයි.අනෙක් අතට අපේ වෘත්තීය සමිති පැත්තෙනුත් ආයෙමත් මං රස්සාවකට යාම ගැන එච්චර කැමැත්තක් තිබුණේ නෑ. ඒ අයටත් ඕන වුණේ මාව ෆුල් ටයිම් වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් හැටියට වැඩකරනවා දකින්නයි.

 

Saranapala Silva 2

  • ආයතනයෙන් දොට්ට දැමුවාම ඔබට වන්දියක් වත් ලැබුණේ නැද්ද?

 

සෑහෙන කාලයක් යන කල් මොකුත්ම ලැබුණේ නෑ. ඒත් දැනට මාස 6ක විතර කාලයක ඉඳලා මාසෙකට රු.5000 ක විතර දීමනාවක් ලැබෙනවා.

 

  • ලංකාවේ වෘත්තීය සමිති බොහෝවිට පවතින්නේ දේශපාලන පක්ෂවල අතකොළු හැටියටයි.මේ තත්ත්වය වෘත්තීය සමිතිවල ස්වාධීනත්වයට බාධාවක් නෙවෙයිද?

 

ස්වාධීනත්වයට බාධාවක්ද නැද්ද කියන කාරණයට වඩා එහෙම ස්වාධීනව පවතින්නට හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නය බලපානවා.මෙතනදී ආණ්ඩුවට සහය දෙන ආණ්ඩුවත් එක්ක හවුලේ සිටින වෘත්තීය සමිති වගේම වාමාංශික වෘත්තීය සමිතිත් තියෙන බව අපි අමතක කරන්න හොඳ නෑ. ආණ්ඩුත් එක්ක වැඩකරන වෘත්තීය සමිති තම තමන්ගේ ආණ්ඩු ආවම ඒවා ආරක්ෂා කරගෙන හවුලේ ඉන්නවා. ඒත් වාමාංශික වෘත්තීය සමිති එහෙම නෑ.

 

  • ඔබ එයින් අදහස් කරන්නේ වමේ පක්ෂ සමග කටයුතු කරන වෘත්තීය සමිතිවලට තමන්ගේ වාමාංශික පක්ෂවල බලපෑම ගැටළුවක් නෙවෙයි කියලද?

 

වාමාංශික වෘත්තීය සමිති හැමදාම වගේ කම්කරු පංතිය වෙනුවෙන් වැඩකළා.පෙනී හිටියා. ඒ අයටත් තනිවම සටන් කරන්න අමාරුයි.හාම්පුතුන් එක්ක හැප්පෙද්දී ඒ පිළිබඳව කතා කරන්න,පිටිපස්සෙ ඉඳන් හයිය දෙන්න,නීතිමය  හෝ අධිකරණමය කටයුතුවලදී පෙනීසිටින්නට දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි.ඒත් වෘත්තීය සමිති පක්ෂයේ අතකොළුවක් විය යුතු නෑ. අවශ්‍ය තැනකදී සහයෝගය ගන්නා අතරේ ස්වාධීනව කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුයි.

 

  • අපේ වෘත්තීය සමිතිවලට සාමූහිකව කටයුතු කිරීමේ පොදු මධ්‍යස්ථානයක් නෑ.වෘත්තීය සටන් වලදී වෘත්තීය සමිතිවලට එකට එකතුවීමට මෙම දේශාපාලන සහයෝගිතාවන් බාධාවක් නෙවෙයිද?

 

ඒ ඒ සියලුම දේශපාලන පක්ෂවලට වගේම වාමාංශික පක්ෂ අතරත් යම් යම් මත ගැටළු තිබෙන බව ඇත්තක්. ඒ නිසාම සමහර වෘත්තීය අරගලවලදී පොදු මතයකට එන්නට අසීරුවීමත් පිළිගත යුතු කාරණයක්.එහෙත් මං කලින් කීවා වගේම අවශ්‍යම තැන්වලදී දේශපාලන හයිය පාවිච්චි කරනවා වුණත් ස්වාධීන ලෙස වෘත්තීය සමිතිය ක්‍රියාත්මක වෙනවානම් ඔය තත්ත්වය අවම කරගන්නට පුළුවන්. එකඟවිය හැකි කාරණා වැඩි වුණාම සාකච්ඡා මාර්ගවලින් පොදු එකඟතාවන් හදාගෙන සටන ඉදිරියට ගෙනියන්නට හැකියාව තියෙනවා.

 

  • එලෙස උත්සාහ කළ අවස්ථාවන් තියෙනවද?

 

ඔව්.1982 දී අපි “වෘත්තීය එක්සත් කිරීමේ කමිටුව“ හැටියට පොදු සටන් මධ්‍යස්ථානයක් හැදුවා. ඒකෙදි විවිධ තලවල විවිධ දේශපාලන මතිමතාන්තර සමග සිටින වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධ කළා.භේදයකින් තොරව සියලුම වෘත්තීය සමිතිවලට එකඟවිය හැකි පොදු යෝජනාවන්ගෙන් යුතු ව්‍යවස්ථාවක් පවා හැදුවා.පක්ෂ දේශපාලන තීන්දුවලට යටනොවී පොදුවේ වැඩකිරීමට ඒක වේදිකාවක් වුණා.

 

  • ඒකට මොකද වුණේ?

 

කාලයත් එක්ක ඒක කඩාකප්පල් වුණා. එහෙම වුණත් අදටත් ඒ විදිහට වැඩකිරීමට පොදු වේදිකාවක් හදාගැනීමේ අවකාශයක් ඇතැයි මං හිතනවා.

 

  • ජාතික කම්කරු උපදේශන සභාව හෝ ජාත්‍යන්තර කම්කරු සම්මේලනය නියෝජනය කිරීමට ලංකාවේ වෘත්තීය සමිති නායකයින්ට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. ඒත් ඒවායින් වෘත්තීය සමිති ක්ෂේත්‍රයට සැලකිය යුතු ප්‍රයෝජනයක් අත්වෙලා තියෙනවද?

 

ජාත්‍යන්තර කම්කරු සමුළුවේ සමහර ප්‍රඥ්ඥප්ති වලට ආණ්ඩුව අත්සන් කරලා තිබුණට ඒවා ක්‍රියාත්මක කිරීමට නීතිමය ප්‍රතිපාදන හදලා නෑ.හදන එකකුත් නෑ. උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමති වෙලා ඉන්න කාලේ ගෙනාව කම්කරු ප්‍රඥ්ඥප්තිය ඕන නම් අද ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙත් එහෙම කරන වගක් පේන්න නෑ.කම්කරු උපදේශන සභාවේ වැඩකටයුතු සිද්ධවෙන්නේත්,සාකච්ඡා කෙරෙන්නේත් හාම්පුතුන්ගේ අවශ්‍යතා ගැන විතරයි.අවස්ථා දෙකකදී අපි ඒක වර්ජනය කිරීමට තීරණය කළේත් ඒ හින්දමයි.මේ වගේ අවස්ථාවන් වලදී සාකච්ඡා කර කර සිටීමෙන් ප්‍රයෝජනයක් නෑ.වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න වෙනවා.ඒත් ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ හයිය අපට වැදගත් වෙනවා.

 

  • ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ හයිය වැදගත් වුණු අවස්ථාවක් පෙන්වා දෙන්නට පුළුවන්ද?

 

මට හරියටම අවුරුද්ද මතක නෑ. ඒත් එක සැරයක් වරායේ හෙමින් වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් වෙලා තිබුණා. මේකට විරුද්ධව ආණ්ඩුවේ අනුදැනුම මත ලංකාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරලා තිබුණා.එයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණු බවට ඒ කාගේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා අපට විරුද්ධව තීන්දුව දුන්නා. අපි වෘත්තීය සමිති 7ක් එකාබද්ධව මේ තීන්දුවට විරුද්ධව ජගත් කම්කරු සම්මේලනයට ලීවා.එහේ කම්කරු විශේෂ කමිටුව විසින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරලා අපට පක්ෂව තීන්දුවක් දුන්නා. ඒ අය ඒ තීන්දුව ලිඛිතව ශ්‍රී ලංකා ආණ්ඩුවට දැන්නුවා. ඒ වගේම ඒක ක්‍රියාත්මක කරවන්නට ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කළා.අන්තිමට ආණ්ඩුවට නඩුව ඉල්ලා අස්කරගන්න සිද්ධවුණා.

 

  • ලංකාවේ වෘත්තීය සමිතිවල හැමදාම ඉන්නේ එකම නායකයෝ ටිකක්.මේ බල ආධිපත්‍යය වෘත්තීය සමිතිවල පැවැත්මට හිතකරද? අහිතකරද?

 

බලා තම්පෝ සහෝදරයත් ජීවත්ව සිටින තාක් සී.එම්.යූ එකේ නායකයා ලෙස කටයුතු කිරීමට අදාළ විධිවිධාන ව්‍යවස්ථාව තුළින්ම සකස්කර ගෙන තිබුණු බවට කතාවක් තියෙනවා. මං ඒ වගේ දේවල් අනුමත කරන්නේ නෑ.ඕනම කෙනෙකුට වැඩකරලා ක්ෂේත්‍ර යේ ඉදිරියට එන්නට අවස්ථාව තිබිය යුතුයි. වාර්ෂිකව මහා නියෝජිත සමුළුව

 

අනිවාර්යෙයෙන්ම පැවැත්විය යුතුයි.එහිදී අලුත් නිලධාරී මණ්ඩලයක් තෝරාපත් කරගත යුතුයි.ඒත් අද වෙද්දී බොහෝ දෙනෙකුට තමන්ගේ වෘත්තීය කටයුතු හා වෙනත් වැඩකටයුතු අධික නිසා වගකීම් බාරගෙන ෆුල් ටයිම් කටයුතු කරන්න අමාරුයි. ඒ හින්දා ගොඩාත් නියෝජිත මහ සමුළු තිබ්බට හිටපු නිලධාරීන්ම ආයෙම පත් කරගන්න තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.

 

Saranapala Silva 1

 

  • වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ අද පවත්නා ගැටළු මොනවාද?

 

ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වෘත්තීය සමිති මර්දනය කිරීමේ වැඩපිළිවෙළක් මෙන්ම කම්කරු පංතිව සූරාකෑම බොහොම දරුණු විදිහට ඒත් සියුම්ව දියත්වෙමින් තියෙනවා.ජීවන අංකය ගැසට් කරලා නෑ.ජීවන අංක ඒකකයක වටිනාකම අද රු.280 ක්. ඒ ගැන කිසිදු තැකීමක් නෑ.මේවගේ ප්‍රශ්නවලට විරුද්ධව අපි කම්කරු ඇමතිට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා.සේවක අර්ථ සාධක අරමුදල් කෝටි ප්‍රකෝටි ගණනක් සේවකයින්ගේ ගිණුම්වලට බැරකරලා නෑ.2009-2011 කාලය තුළ ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතන 129 ක් තම සේවක අරමුදල් නියමිත දිනට බැරකරලා නෑ. ඒ වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් අය කරගත යුතු අධිභාරය රු.දස ලක්ෂ 101 ට වැඩියි. මේ ගැන කවුරුත් කතා නෑ.කම්කරු මර්දන නීති රීති අලුත් වෙලා.අද වැඩවර්ජනයක් කරන්න බෑ. පොලීසිය ගිහින් අධිකරණ නියෝග ගේනවා.නැවත වෘත්තීය සමිති සියල්ල පොදු වැඩපිළිවෙළක් වෙනුවෙන් එකතු විය යුතු කාලය ඇවිල්ලා.ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයක් ලෙස පොදු සටන් ව්‍යාපාරයක් තුළින් මිසක් මේ මර්දනකාරී පිළිවෙත වෙනස් කිරීමට හැකියාවක් නෑ.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435