වැඩිවන බදු බර

නව  පනතින් පොලී ආදායම් මත අය කරන බදු මුදල් සියයට සියයකින් ඉහළ නංවා තිබේ. විදෙස්‌ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවන හෝ මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකු ගිණුම්වල ඇති  මුදල්වලට ලැබෙන පොලිය මත අය කෙරෙන  බද්ද  සියයට 5 ක්‌  දක්‌වා  ඉහළ නංවා තිබේ. මීට පෙර පැවතියේ  සියයට 2.5 ක බද්දකි.

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්‌වන ප්‍රධාන මාතෘකා දෙක වන්නේ අගමැතිට එරෙහිව ගෙනා විශ්වාසභංගය  සහ  ආණ්‌ඩුවේ අලුත් බදු පනත පිළිබඳවයි. විශ්වාසභංගයට ගොනු කර ඇති කරුණු වලින්  බහුතරය   බැඳුම්කර මගඩියට අදාළ ඒවාය. එසේම  මෙවැනි   අලුත් පනත් හරහා  මහජනතාවට අලුතින්   බදු බර  පැටවීමට   රජයට  සිදුව ඇති හේතු අතර එක ප්‍රධාන හේතුවක්‌ ලෙස ප්‍රකාශ වන්නේද  බැඳුම්කර මගඩියයි.  බැඳුම්කර මගඩිය නිසා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ අය පෙන්වීමට උත්සහ කරන සොච්චම් පාඩුවට වඩා අති විශාල පාඩුවක්‌ රටට සහ සමස්‌ත මහජනතාවට සිදුව ඇත. එය කිසි විටෙකත් ඒ මගඩියට වගකිව යුත්තන්ගෙන්  අය කර ගැනීමට පුළුවන් කමක්‌ නැත. ඒ නිසා රජයට වෙන නොයෙකුත් සුන්දර කතා කියමින් දැන් සිදුව ඇත්තේ ඒ පාඩු නොයෙකුත්  බදු හරහා මහජනතාවට තවදුරටත් පැටවීමටය. මීට පෙර වැට්‌ බදු වැඩි කිරීමේදී ද අප කියා සිටියේ යහපාලන දූෂණ බදු ඉදිරියේදී  කරළියට  එනු ඇති බවයි. මේ සිදු වෙමින් පවතින්නේ එය බවට   මහජන ආකල්පයක්‌ද  තිබේ. රජයකට බදු ආදායම් අවශ්‍ය බවට කිසිම සැකයක්‌ නැත. එය කිසිවෙක්‌ බැහැර නොකරයි. එහෙත් මේ රජය යටතේම  සිදුව ඇති මගඩි වැඩ නිසා රජයට සිදුව ඇති පාඩු පියවා ගැනීමට ආණ්‌ඩුවට සිදුව ඇත්තේද  ජනතාව මත තව තවත් බදු බර පැටවීමටය යන අදහසද බැහැර කළ නොහැකිය. මේ රජය දැනටමත් අධික වැට්‌ බදු බරක්‌ද මහජනතාව මත පටවනු ලැබ ඇත. ඉන් පීඩාවට පත්ව සිටින ජනයා මත මේ නව දේශීය ආදායම් පනත  මගින් පනවා ඇති අලුත් බදු බරද අලුතින් එක වනු ඇත. ඒ නිසා ජනයාට සිදුව ඇත්තේ කබලෙන් ළිපට වැටීමටය.

මේ රජයට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජන බලය අහිමි වී ගියේය. එය පළාත් පාලන මැතිවරණයක්‌ බව ඇත්තය. එහෙත් එමගින් ජනතාව මේ රජයට  දුන් පණිවුඩය බැහැර කළ නොහැකිය. ඒ පණිවුඩය තේරුම් ගෙන ආණ්‌ඩුවට තිබෙන ඉතා සීමිත ඉදිරි කෙටි කාලය තුළ මේ ආණ්‌ඩුව කටයුතු කළ යුතුව ඇත්තේ zභාරකාර ආණ්‌ඩුවක්‌ zලෙස බව අපේ හැඟීමයි. මේ පාර්ලිමේන්තුව පත් වූයේ මේ රජය බලයට  පත් වූ  ජනාධිපතිවරණයෙන් පසු පැවැත් වූ මහා මැතිවරණයෙනි. අද වන විට ඒ ජනවරම රජයට නැතත් පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජනය තිබෙන්නේ එම  මැතිවරණ  ප්‍රතිපලය අනුවය. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළ කුමක්‌ සිදු වුවත් අද මේ රජයට තිබූ මහජන වරම  ඔවුන් විසින්ම අහිමි කරගෙන  අවසන්ය. ඒ නිසා මහජනතාවට බලපාන ලොකු වෙනස්‌කම් කිසිවක්‌ කිරීම සුදුසු දෙයක්‌ නොවන බව අපගේ අදහසය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ  පමණක්‌ නොව මෙවැනි පුළුල් බදු ප්‍රතිසංස්‌කරණ පවා නොකර සිටීමට හැකි නම් වඩාත් අඟට ගුණදායකය. නැතිනම් වනු ඇත්තේ මේවා නිසා මේ අයට කොරහත් බිඳගෙනම යැමටය. මේ පසුබිම තුළ අපි රජයේ නව දේශීය ආදායම් පනත ගැන සාකච්ජා කරමු.

මේ නව දේශීය ආදායම් බදු පනත පසුගිය අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක  වීම  ආරම්භ විය. මේ නව බදු ප්‍රතිපත්තියෙන් ක්‌ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්‌ව ඇත. 2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතේ බදු විධිවිධාන අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමග  එමඟින් ක්‌ෂේත්‍ර රැසක බදු  වෙනස්‌කම්වලට ලක්‌ කර ඇත. මේ බදු වෙනස්‌කම් අතුරින් මහජනතාවට වඩාත්ම බලපාන ප්‍රධාන වෙනස්‌කම් කිහිපයක්‌ ගැන මෙහිදී අපගේ අවධානය යොමු කෙරේ. සේවා නියුක්‌ති ආදායම මත සිදුව ඇති වෙනස්‌කම් මෙසේය. ඒ අනුව සේවා නියුක්‌තිකයකුගේ මාසික වැටුප රුපියල් ලක්‌ෂයකට අඩු නම් ඔහු බදු අය කිරීමෙන් නිදහස්‌ වේ. එහෙත්  රුපියල් ලක්‌ෂයේ සිට රුපියල් එක්‌ ලක්‌ෂ පනස්‌ දහස දක්‌වා 4%ක්‌ ද රුපියල් එක්‌ලක්‌ෂ පනස්‌ දහසේ සිට රුපියල් ලක්‌ෂ 02 සියයට 8%ක්‌ ද රුපියල් දෙලක්‌ෂයේ සිට රුපියල් දෙලක්‌ෂ පනස්‌ දහස දක්‌වා සියයට 12%ක්‌ ද රුපියල් දෙලක්‌ෂ පනස්‌ දහසේ සිට රුපියල් ලක්‌ෂ 03 දක්‌වා සියයට 16%ක්‌ ද රුපියල් ලක්‌ෂ 03 සිට රුපියල් තුන්ලක්‌ෂ පනස්‌ දහස දක්‌වා සියයට 20%ක්‌ ලෙස ද බදු  ගෙවීමට යටත් වෙයි. රුපියල් තුන්ලක්‌ෂ පනස්‌ දහසට වැඩි ආදායම් ලබන  අය  සඳහා   අය කෙරෙන බදු  ප්‍රතිශතය සියයට 24% කි. මෙම බදු අයකිරීමට සේවා නියුක්‌තිකයෙකුගේ වැටුප්, කොමිස්‌ මුදල්, අතිකාල දීමනා, පාරිතෝෂික, ප්‍රවාහන හා අනෙකුත් දීමනා, ගෙවල් කුලී, විදුලි හා දුරකථන දීමනා, විනෝද දීමනා ඇතුළු ඊට සමාන්තර ගෙවීම් ද ඇතුළත්ය. කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් මෙම බදුවලින් නිදහස්‌ කර තිබේ.

නව  පනතින් පොලී ආදායම් මත අය කරන බදු මුදල් සියයට සියයකින් ඉහළ නංවා තිබේ. විදෙස්‌ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවන හෝ මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකු ගිණුම්වල ඇති  මුදල්වලට ලැබෙන පොලිය මත අය කෙරෙන  බද්ද  සියයට 5 ක්‌  දක්‌වා  ඉහළ නංවා තිබේ. මීට පෙර පැවතියේ  සියයට 2.5 ක බද්දකි. මේ බදු මුදල් අය වන්නේ බදු මුදලේ කිසිදු සීමාවකින් තොරවය. මෙලෙස පොලී ආදායම් මතය කරන බදු මුදල් ඉහළ නැංවීම බැංකු තැන්පතුකරුවන් බොහෝ දෙනෙකුගේ නොසතුටට හේතු වී තිබේ. මේ අතර අමතර නිවාස සහ ඉඩම් පැවති මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් ලැබෙන ලාභය මත ද ප්‍රාග්ධන ලාභ බද්දක්‌ හඳුන්වා දී තිබේ. මේ ප්‍රාග්ධන ලාභ මත බද්ද ලෙස ඒවා විකිණීමෙන් ලබන ලාභයෙන් සියයට 10 ක්‌ බදු ලෙස ගෙවිය යුතු වේ. එහෙත් බදු ගණනය කරන්නේ එම දේපළ 2017 වසරේ සැප්තැම්බර් 30 වැනි දිනට පැවැති වෙළෙඳපොළ වටිනාකම පදනම්  කරගනිමිණි.

මේ අතර  තමන් වසර 03 කට වැඩි කාලයක්‌ පදිංචිව සිටි නිවසක්‌ විකුණන්නේ නම් එම නිවසින් ලැබෙන ලාභය ප්‍රාග්ධන ලාභ මත බද්දෙන් නිදහස්‌ කර තිබේ. කෙසේ වෙතත් කොටස්‌ වෙළෙඳපොළෙහි කොටස්‌ වැඩි මිලට විකිණීමේදී ලබන ප්‍රාග්ධන ලාභ මත මේ  බදු අයකිරීම සිදු නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනගන්නට ඇත. මේ අතර මෙරට පැමිණෙන විදේශිකයන් විසින් මිලදී ගන්නා විවිධ භාණ්‌ඩ මත පනවා ඇති වැට්‌ බද්ද, එම විදේශිකයන් මෙරටින් පිටත්ව යන අවස්‌ථාවේ ගුවන්තොටුපළේදී එම මුදල නැවත ලබා දීම ද නව ප්‍රතිපත්තියක්‌ ද හඳුන්වාදී ඇති අතර එය එළඹෙන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වර්ෂ 2020 වන විට සෘජු බදු ආදායම සියයට 40 ක්‌ දක්‌වා වැඩි කර ගන්නවා – මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර.

ඉහළ ආදායම් ලබන්නන්ගෙන් අයකරන බදු ආදායම වැඩි කරගෙන ඉදිරි වසර දෙක තුළ වැට්‌ බදු බර අඩුකිරීමට අපේක්‍ෂා කරනවා. වැට්‌ වැනි සියලු ජනයා මත පැටවී ඇති වක්‍ර බදු බර අඩුකිරීම සඳහා තිබෙන එකම මාර්ගය සෘජු බදු ආදායම වැඩිකර ගැනීමයි.

මේ අනුව නව දේශීය ආදායම් පනතේ ප්‍රධාන අරමුණක්‌ වන්නේ සෘජු බදු ආදායම් වැඩිකර ගැනීම බවද දැනට සියයට 18 ක පමණ මට්‌ටමේ තිබෙන සෘජු බදු ප්‍රතිශතය සියයට 40 ක්‌ දක්‌වා වර්ෂ 2020 වන විට වැඩිකර ගැනීම රජයේ ඉලක්‌කයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ වගකිව යුතු සංවිධානයක්‌. එම අරමුදලේ අවශ්‍යතා මත මේ පනත සකස්‌ කර ඇති බවට නගන චෝදනාව අසත්‍යයක්‌.

මේ ඉදිරිපත් කරල තියෙන්නේ මම ගෙනා බදු ප්‍රතිපත්තියට වඩා හාත්පසින් වෙනස්‌ එකක්‌ – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවයන්ට අනුව මේ රටේ බදු වැඩි කරන්න දෙන්න බැහැ. මම ඒකයි කලිනුත් කිව්වෙ මූල්‍ය අරමුදලට මෙරටින් යන්න කාලෙ හරි කියල. මේ රටට නව බදු ප්‍රතිපත්තියක්‌ අවශ්‍යයි. මම මුදල් ඇමැති කාලේ තමයි නව බදු ප්‍රතිපත්තිය ගෙනාවෙ. නමුත් අද මේ ඉදිරිපත් කරල තියෙන්නෙ ඊට වඩා හාත්පසින් වෙනස්‌ එකක්‌ යෑයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා  තොටළඟ එජාප කාර්යාලයේ පැවැති වැඩසටහනකට එක්‌වෙමිනි. උතුරු කොළඹ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා භාණ්‌ඩ බෙදාදීම වෙනුවෙන් පැවති මෙම අවස්‌ථාවේදී මාධ්‍ය හමුවේ ඔහු  තවදුරටත් මෙසේද  කියා සිටියේය.

නව බදු ක්‍රියාවලිය සියලු අංශ කෙරෙහි බලපෑම් එල්ල කරනු ඇති බව කී ඇමැතිවරයා කීවේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසක්‌ බවත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් විදේශීකයන් පවසන දේ ඒ ආකාරයෙන්ම සිදු කළ යුතු නොමැති බවත්ය.

මහ බැංකුවේ දෙතුන් දෙනෙක්‌, විශ්‍රාම ගියාට පස්‌සේ අයි.එම්.එෆ්. එකේ රැකියා බලාපොරොත්තු වෙන් රටේ ආර්ථිකය, කඩා බිඳ දමා, ජනජීවිතය අඩාල කරනවා. ආණ්‌ඩුව වෙනස්‌ වුණාට මහ බැංකුවේ හොල්මන් වෙනස්‌ වෙලා නැහැ. අයි. එම්. එෆ්. එකට ඕන විදිහට තීරණ ගන්නව නම් ආණ්‌ඩුවක්‌ අවශ්‍ය නැහැ. නව බදු ක්‍රමය රටේ සමස්‌ත අංශයකටම බලපෑමක්‌ ඇති කරන්න පුළුවන්. මහ බැංකුවට සුදුස්‌සන් පත්කළ යුතුයි. නැත්නම් මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම අසීරු කටයුත්තක්‌. මේව කිසිවකුට පේන්නේ නැහැ.

මේ අවස්‌ථාවේ දී රටේ ණය ප්‍රමාණය  සියයට 01 කින් වැඩි වෙනව කියන්නේ, රුපියල් කෝටි 6000 ක්‌, රටේ ආර්ථිකය, බිංදුවට, වට්‌ටල තියෙන්නෙ මහ බැංකුවේ සිටින, ප්‍රායෝගික දැනුමක්‌ නැති, නිලධාරීන් සුළුතරයක්‌ නිසා.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435