වැඩ කරන මිනිස්‌සුන්ගෙ EPF එක මංකොල්ල කන්න යනවා

රොෂෙන් ශානක මරා දමා සිවු වසරක්‌ පිරෙන මොහොතේ අම්මා කියන කතාව

ජීවිතයේ සොඳුරුතම කාලයේ දී තමන්ගේ දෑතින් ගිලිහුණ අභීත පුතකුගේ වියෝවෙන් මේ ළතෝනි දෙන්නී කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාප බිමේදී පොලිස්‌ වෙඩි පහරින් ඝාතනයට ලක්‌ වූ රොෂෙන් ශානකගේ දයාබර අම්මා ය. ඒ මව්ගේ විලාපය ඛේදනීය ය. සැබවින් ම ඛේදනීය ය.

රොෂෙන් ඉපදුනේ 1989 අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ 18 වැනිදා. පුතෙක්‌නෙ හරිම සතුටුයි. අයියල දෙන්නයි අක්‌කයි මල්ලියි රොෂෙනුයි දරුවො පස්‌ දෙනයි. අපිට ජීවත් වන්න විශාල වෙහෙසක්‌ දරන්න සිද්ධ වුණා. තාත්තා කොහු මෝල්වලට ඇණ සකස්‌ කරල ලැබෙන ආදායමෙන් තමයි ජීවත් වුණේ. රොෂෙන් එදා ඉඳල ම පවුලේ දේවල්වලට හුඟක්‌ උදව් වුණා. නිතරම තාත්තාට උදව් කළා. අපි මහ ලොකු මිනිස්‌සු නෙමෙයිනෙ. අපිට ජීවත් වෙන්න හරියට ගෙයක්‌ දොරක්‌ තිබුණෙ නැහැ . අපි හැම දෙයක්‌ ම කළේ ළමයින්ට උගන්නන්න. ඉගෙන ගත්තොත්නෙ දරුවන්ට හොඳ අනාගතයක්‌ ලැබෙන්නෙ. දරුවන් හොඳට ඉගෙන ගත්තා. ලොකු පුතා දේවධර්මාචාර්ය උපාධිය ගත්තා. දෙවැනි පුතා විශ්වවිද්‍යාලයට ගියා. ‍

රොෂෙන් උසස්‌ පෙළ කරද්දි පන්ති ගියේ තාත්තාට උදව් වෙලා ලැබුණු මුදලින්. තව කාට හරි මුදල් අවශ්‍ය වුණොත් ඒ උදව්වත් කරනවා. අක්‌කා එක්‌ක තමයි හුඟක්‌ සමීප වෙලා හිටියේ. රොෂෙන් ක්‍රීඩාවලට හරි දක්‍ෂයි. පාසලේ ක්‍රිකට්‌ තරගයක්‌ තිබුණොත් අනුශූරතාව හරි ගන්නවා. අවුරුදු උත්සවයක දි දිව්වොත් පළමු වැනියා තමයි.

උසස්‌ පෙළ කරලා වෘත්තිය පුහුණුවකට රත්මලානට ගියා. ඒ පාඨමාලාවට රුපියල් 25000 ක්‌ විතර වැය කරන්න සිද්ධ වුණා. ඒ සියලුම මුදල් රොෂෙන් සොයා ගත්තේ තාත්තා ළඟ වැඩ කරලා. පස්‌සේ ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න ඕනෑ කිව්වා. ඒකට රුපියල් 10000ක්‌ බැන්දා. ඔහොම ඉන්නකොට බ්‍රැන්ඩික්‌ස්‌ ආයතනයේ රැකියාවක්‌ ලැබුණේ. කොලිටි කොන්ට්‍රොල්වලට. රස්‌සාවට ගිය පළමු දවසෙම පුතා කිව්වා එහෙ පිරිමින්ට වඩා ගැහැණු ළමයි මහන්සි වෙන්න ඕනෑ, මට හරි දුකයි, මට නම් යන්න බැහැ කියලා.

ඊට පස්‌සේ දවසක්‌ පුතාගෙ යාළුවෙක්‌ ඇවිල්ලා කිව්වා කටුනායක රැකියාවකට යන්න පුළුවන් කියලා. 2011 ජනවාරි මාසෙ තමයි ඒ රැකියාවට ගියේ. හරි සතුටින් වැඩ කරගෙන ගියා. මැයි මාසෙ 30 වැනිදා… එදා තමයි හැම දෙයක්‌ ම සිද්ධ වුණ දවස…. උදේ බත් ඔතන්න ලන්ච් ෂීට්‌ තිබුණෙත් නැහැ. බතත් ටිකත් කෙසෙල් කොළේ එතුවෙ. රොෂෙන් තාත්තාගෙන් රුපියල් 20 ක්‌ ඉල්ලගෙන අක්‌කාගෙන් රුපියල් 100 කුත් ඉල්ලාගෙන තමයි එදා වැඩට ගියේ. කලින් දවසෙ රාත්‍රියේ අපි කතා කරකර ඉන්නකොට කිව්වා වැඩ කරන මිනිස්‌සුන්ගෙ EPF එක ආණ්‌ඩුව මංකොල්ල කන්න යනවා කියලා. හැම මනුස්‌සයම අවසාන කාලෙදි හැම දෙයක්‌ ම කර ගන්නේ EPF එකෙන් කියලත් කිව්වා. මම ගිහිල්ලා මාස හතරනේ.. මට නම් තවම නැහැ කිව්වා.

30 වැනිදා වරුවෙන් එනවා කියල යන්න පිටත් වෙද්දී අක්‌කා කිව්වා ඇයි අද වරුවක්‌ නිවාඩු දාන්නේ… හෙට දවසම නිවාඩුව ගන්න කියලා. රොෂෙන් වෙන කෙනෙකුගෙ රත්‍රන් බඩු වගයක්‌ උකස්‌ කරලා තිබුණා. ඒවා ඒ කෙනාගෙ නමට හරවන්න තමයි පුතා නිවාඩු ගන්න හැදුවෙ. කොහොම හරි වරුවෙන් එනවා කියා ගෙදරින් පිටත් වුණා.

දවල් 1.30 ට විතර කෝල් එකක්‌ ආවා පුතාට වෙඩි වැදිලා රෝහලට ගෙන ගියා කියලා. මට හිතා ගන්න බැරිවුණා. එක පාරටම මට කෑ ගැසුණා. වෙඩි වැදුණා කිව්වම වටේ පිටේ අයත් කලබල වෙලා. කිසිම වරදක්‌ කළ දරුවෙකුත් නෙමෙයි. පස්‌සේ මමයි දුවයි දුව බඳින්න ඉන්න දරුවගෙ තාත්තයි පුතාගෙ යාළුවෙකුයි ත්‍රීවිලරයකින් රාගම රෝහලට ගියා. තාත්තා වැඩට ගිහිල්ලා හිටියෙ. රෝහලට යන අතරෙදි තෙල් නැතුව මග ඉන්නත් වුණා. අපි ඉන්න තත්ත්වය දැකලා ඒ අය ඇහැව්වා ඇයි කියලා. සිද්ධිය කිව්වම ඒ අයත් කිව්වේ වෙඩි තියන්නේ රබර් උණ්‌ඩවලින්නේ… ඒ නිසා බය වෙන්න එපා කියලා.

අපි යද්දි ලොකු පුතාත් දෙවැනි පුතාත් රෝහලේ. දෙවැනි පුතා කිව්වා අම්මෙ කෑගහන්න එපා… මල්ලිව ඔපරේෂන් එකකට ගත්තා කියලා. මට තේරුමක්‌ නැහැ. වෙඩි වැදුණා කිව්වම මම හිතුවෙ නැහැ එච්චර අමාරුයි කියලා. වෙඩි තිබ්බත් තියන්නේ දණහිසෙන් පහළටනෙ කියන අවබෝධය විතරයි මට තිබුණේ. රාත්‍රී හතට විතර පුතාව ICU එකට ගෙනාවා. අපිට බලන්න යන්න ඉඩ දුන්නේ නැහැ. පුතාගෙ අක්‌මාවටත් වකුගඩුවලටත් වෙඩි වැදිලා තිබූ බව දැනගන්න ලැබුණා. පුතාව බලන්න ලැබුණෙ ICU එකේ දොරේ රවුමෙන් විතරයි. මම දැක්‌කා එහෙන් මෙහෙන් බට දාලා තිබුණා. මුහුණ හරියට පේන්න තිබුණෙත් නැහැ. අපි රාත්‍රිය වෙනකම් ඉඳලා බටගම නංගිලාගෙ ගෙදර ගියා. පසුව දා උදෙන් ම ආවා. ඇඳ ඇතිරිලි දෙකක්‌ ගේන්න කියා තිබුණා. කකුල කපන්න වෙයි කිව්වා. කකුල නැතත් දරුවා ඉන්නවානෙ කියලා හිතුණා. කකුල කපන්න අත්සන් කළා. කකුල කැපුවට පස්‌සෙ මට බලන්න කිව්වා. මොනව බලන්න ද?… මට බලන්න බැහැ මම OPD එකෙන් එළියට ආවා.

එදා දරුවා බලන්න නොආ කෙනෙක්‌ නැහැ. ඇමැතිවරු මන්ත්‍රීවරු….. හුඟ දෙනෙක්‌. පළාතේ එක්‌ ඇමැතිවරයෙක්‌ කිව්වා සරත් ෙෆාන්සේකා මහත්තයට වෙඩි වැදුණ වෙලාවෙ බලපු දොස්‌තර ගේන්නම් කිව්වා. මම කිව්වේ කවුරු හරි කමක්‌ නැහැ ගෙනල්ලා දරුවා සනීප කරලා දෙන්න කියලයි.

මම කෑ ගහලා ඇහැව්වේ ඇයි මගේ දරුවාට මේ අපරාධය කළේ කියලා. මගේ පුතා කුඩු ගංජා විකුණුවේ නැහැ. සටන් කළේ ජීවත් වෙන්නයි. එදා හමුදාවෙන් ආවා. පොලිසියෙ දෙන්නට යන්න කිව්වා. පොලිසියෙ දෙන්නට මම කිව්වා දරුවගෙ කපපු කකුල මහින්දගෙ කරේ එල්ල ගන්න කියන්න කියලා. මට එච්චරටම වේදනාව. දරු දුක දන්නේ දෙමව්පියන්.

වෙඩි වැදුණ වෙලාවෙ පුතා අහලා තියෙනවා එයා මැරෙයි ද කියලා. පුතාව රෝහලට ගෙන යන්නත් පොලිසිය ඉඩ දීලා නැහැ. වාහනේ නතර කරලා ඩ්‍රයිවර්ට ගහලා පුතාව ඔඩොක්‌කුවෙ තියාගෙන හිටපු යාළුවන්ටත් ගහලා. පුතාට වෙඩි තියලා රෝහලට ගෙන යන එක නතර කරන්න තරම් මොන වෛරයක්‌ තියෙන්න ඕනැද?.

එදා දවල් කිව්වා පුතා ඇස්‌ ඇරියා කකුලත් සෙලෙව්වා. යාළුවො ඔක්‌කොම රෝහලට වෙලා හිටියා. හැම දෙනාටම කෑම දුන්නේ හමුදාවෙන්. රෑ හතට විතර කිව්වා දරුවා නැති වුණා කියලා. එදා ම කටුනායක දී මහා සමුළුවක්‌ පවත්වලා තියෙනවා. පුතා නැතිවෙලා තියෙන්නෙ හතට කළින්. සමුළුව ඉවර වුණාම තමයි අපිට කිව්වේ. මානව හිමිකම් සංවිධානවලින් රෝහලට ආවත් යන්න ඉඩ දීලා නැහැ. එදා උද්ඝෝෂණය කළ ළමයි විශාල පිරිසක්‌ ගුටි කෑවා. ඒ අයට සාධාරණයක්‌ ඉටු වුණා ද?. පුතා නැති වුණ බව දැන ගත්තම මට අසනීප වුණා. මාවත් ඒ රෝහලට ම ඇතුළත් කළා. ඊට පස්‌සේ මල්ලිලා තමයි පුතාගෙ මිනිය භාර අරගෙන තියෙන්නෙ. අපි දන්නෙත් නැහැ සියලු දේ සැලසුම් කරලා. මල් ශාලාවට ගියාම ඒ අය අහලා කීයක පෙට්‌ටියක්‌ ද ඕනැ කියලා. අපිට එහෙම වියදම් කරන්න පුළුවන් කමක්‌ නැහැ. සාමාන්‍ය එකක්‌ අරගෙන සල්ලි දෙන්න යද්දියි දන්නේ ඕනෑම පෙට්‌ටියක්‌ ගන්න ආණ්‌ඩුවෙන් මුදල් ගෙවලා කියලා.

පුතා නැති වුණ වෙලාවෙ මුළු රෝහලම හමුදාවෙන් වට කරලා තිබුණේ. හැම දෙයක්‌ ම හොඳට සැලසුම් කර ඇති බව තේරුණා. නැත්නම් කොහොමද එක පාරටම හමුදාව එන්නෙ. ඊට කලින් අපේ ගෙදරටත් හමුදාවෙන් විතරක්‌ නෙමෙයි පොලිසියෙනුත් ඇවිල්ලා කියලා තිබුණා වටේ පිටේ සුද්ද පවිත්‍ර කරන්න කියලා. දෙවැනිදා උදේ 11 ට විතර පුතා ගෙදර ගෙනෙද්දී හමුදාවෙන් පිරිලා. හැම තැනම හොඳට සුද්ද කරලා තිබුණා. ඒ සියල්ල සිද්ධ වෙලා තිබුණෙ හමුදාවෙයි දේශපාලකයන්ගෙයි අණින්. වැඩපළවල්වලින් විශාල පිරිසක්‌ එන්න ගත්තා. ඒ හින්දා සමහර දේශපාලකයන් බයවුණා. වැඩි ප්‍රසිද්ධියක්‌ නැතුව මිනිය වළලමු කියලා සමහරු යෝජනා පවා කළා. නමුත් බාල දරුවා ඒකට එකඟ වුණේ නැහැ. ඒ දරුවා කිව්වා මිනිය ගන්නෙ අපිට ඕනැ දවසට කියලා. මිනිය නරක්‌ වෙයි කියලා ඒ අය කිව්ව නිසා අපි මල් ශාලාවෙන් ඇහැව්වා. සතියක්‌ හරි තියාගන්න පුළුවන් කිව්වා. හිතා ගන්න පුළුවන්නෙ දේශපාලකයන්ගෙ අවශ්‍යතාව.

මේ සිද්ධිය නිසා අපිට පොරොන්දු විශාල ප්‍රමාණයක්‌ විතරක්‌ නෙමෙයි මිනිය වළලන්න උසාවි නියෝගයකුත් ලැබුණා. ඒ උසාවි නියෝගය ලැබුණෙ යටියන දේවස්‌ථානයේ පියතුමා මගින්. උසාවි නියෝගය අනුව මිනිය වෙලාවට දේවස්‌ථානයට ගෙන යන්න සිද්ධ වුණා. අපිට වෙලාව දීලා තිබුණෙ උදේ 9 ත් 11 ත් අතර. එහෙම වෙලාවක්‌ දුන්නට පවුලේ හැම දෙනාවම ඒ වෙලාවට කොහොමද ගෙන්න ගන්නෙ. මේ ප්‍රශ්නය නිසා දරුවො පියතුමාට දොස්‌ කිව්වා. හමුදාවෙන් තුවක්‌කු පිටින් දේවස්‌ථානයට ඇවිත් තිබුණෙ. එහෙම කොහොමද එන්නේ.

යාළුවො බලාගෙන ඉඳලා තියෙන්නේ රතිඤ්ඤා පත්තු කරලා පාවාඩ එළලා මිනිය ගෙනියන්න. නමුත් ඒකට ඉඩක්‌ ලැබුණෙ නැහැ. මළ ගෙදරට ආ හැම දෙනාටම කෑම බීම දුන්නේ හමුදාවෙන්. අපිට කියල කිසි වියදමක්‌ කරන්න තිබුණෙ නැහැ. ඒත් අපිත් ගෙදර කෑම හදලා කන්න දුන්නා. හත් දවසෙ දානෙ දුන්නෙත් ඒ අය ම තමයි.

හත් දවසෙන් පස්‌සෙ අපිව පියතුමා අරලියගහ මන්දිරයට එක්‌කගෙන ගියා. වාහනයක්‌ එවලා තිබුණා. ජනාධිපතිතුමා ලක්‍ෂ 10 ක්‌ දුන්නා. පොලිස්‌පති වරද පිළි අරගෙන ලක්‌ෂ 10 ක්‌ දුන්නා. ආයෝජන මණ්‌ඩලයෙන් ලක්‍ෂ 10 ක්‌ දුන්නා. දරුවකුගෙ ජීවිතයක්‌ මේ විධියට මිල කරන්න පුළුවන් කාටද . මම එදත් කිව්වා මේ වගේ අපරාධ කරන්න එපා කියලා. නමුත් හලාවත ඇන්ටනිව මැරුවා. රතුපස්‌වල මැරුවා. මරලා ආයතනය අයින් කර ගත්තා. අර්ථසාධකයත් මංකොල්ල කන්න හිතුවෙ නැත්නම් මගේ දරුවා අදත් ජීවතුන් අතර.

මගේ දරුවාගේ සිද්ධිය ගැන පරීක්‍ෂා කර වාර්තාවක්‌ හදන්න මහානාම තිලකරත්න මහත්තයා පත් කළ බව ජනාධිපති අපිට කිව්වත් ඒ වාර්තාව ට මොකද වුණේ කියලා අපි අදටත් දන්නේ නැහැ. මට ඒ වාර්තාව දෙන්න මගේ පුතාට ඇත්තටම වුණේ මොනවද කියලා මට දැන ගන්න අවශ්‍යයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙ නඩුවත් තවම අවසන් නැහැ. නඩු දිනේ හොයාගෙන අපිත් උසාවි යනවා මොනවද වෙන්නෙ බලන්න.

වර්තමාන ජනාධිපතිතුමාගෙනුත් අපි මහානාම තිලකරත්න වාර්තාව ඉල්ලුවා. ඒත් තවම පිළිතුරක්‌ නැහැ.

අපි හැම මාසෙම පළමු වැනිදා කටුනායක පොලිසිය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක්‌ කරනවා. මාස 45 ක්‌ අඛණ්‌ඩව ඒ උද්ඝෝෂණය කළා. හැම වසරකම ජුනි මාසෙ පළමු වැනිදා රොෂෙන් සැමරුමක්‌ කරනවා.

මේ සියලු ප්‍රයත්නයන් ඇය දරන්නේ සිය දරුවාගේ මරණය වෙනුවෙන් සාධාරණයක්‌ අපේක්‍ෂාවෙන්.

පක්‍ෂ විපක්‍ෂ හැමදෙනාම මළ ගෙදරට ආවා. නාපු කෙනෙක්‌ නැහැ. ඒ ඇවිල්ල නිකං හිටියෙත් නැහැ. අරක කරන්නම් මේක කරන්නම් කිව්වා.

මොනවද ඒ ……..

රොෂෙන් පුතාගෙ පිළිරුවක්‌ හදනවා කිව්වා.

අවම වශයෙන් ඒ පොරොන්දුව හෝ ඉටු කිරීමට නිවට දේශපාලකයන්ට නොහැකි වීම අරුමයක්‌ ලෙස නොදකින්නේ රොෂෙන් නම් ඒ අහිංසක තරුණ ජීවිතය බිලිගත් නරුමයන්ට යළිත් පාවාඩ එළමින් හිඳන නිර්ලජ්ජිත නියාව ඇස්‌ පනා පිට පෙනෙන නිසා.

නිලන්ත මදුරාවල – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435