විගමනික සේවක ප්‍රතිපත්තිය කුමක් විය යුතුද ?

විදෙස් රැකියාවන්හි නියැලෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත වලට ද කොවිඩ් වසංගතය එල්ල කළ බලපෑම අති විශාල ය. රැකියා අහිමිවීම්, වැටුප් කප්පාදු, ආහාර ඖෂධ නවාතැන් ආදී මූලික අවශ්‍යතා අහිමි වීම් අතර මව් රටට ඒමට ද මං පෙත් ඇහිරී තිබීම ඔවුන්ගේ ජීවිත විශාල අර්බුදයකට පත් කර තිබෙන්නේ ය. විදේශ කටයුතු අමාත්‍යාශයේ දත්ත සඳහන් කරන්නේ ඔවුන් අතරින් 40000ක් පමණ පිරිසක් නැවත මෙරටට ඒමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ය. කෙසේ හෝ මෙරටට පැමිණි හා පැමිණෙන්නට සිටින මෙරට විදෙස් ශ්‍රමිකයන්ගේ ජීවිත වලට එල්ල වන ගැටලු ද එතැනින් අවසන් නොවන්නේ ය. මෙරටට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ විදෙස් විනිමයක් ගෙන එන රටේ ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් බවට පත් සේවා සැපයුම අහිමිවීමේ බලපෑම සිදුවන්නේ මෙරට ආර්ථිකයට පමණක් නොවන්නේ ය, සමාජයීය මට්ටමෙන් ද එට තවත් විශාල ගැටලු රාශියක් නිර්මාණය කරමින් තිබෙන්නේ ය.

රටවිරුවන් අසරණ වීම

කුවේට් වැනි රටවල් විදෙස් ශ්‍රමිකයන්ට තම රටෙන් පිටවන ලෙස කාල සීමා ද නියම තිබුණි. මැද පෙරදිග රටවල සිටි බොහෝ විදෙස් ශ්‍රමිකයන් මුහුණ දෙමින් සිටියේ මූලික අවශ්‍යතාවත් සපුරා ගත නොහැකි තත්ත්වයකට ය. ඇතැම් අය තමන් මුහුණ දෙමින් සිටින අසීරු තත්ත්වය දක්වන වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ජාල වලට එක් කර තිබුණි. කෙසේ වෙතත් කොවිඩ් වසංගත තත්ත්වය සමග ගැටලු රාශියකට මැදිව සිටින මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලංකාවට රැගෙන ඒමේ කටයුතු මෙරට ආණ්ඩුව විසින් පසුගිය දිනවල සිදුකරමින් තිබුණි. එහෙත් එසේ ගෙන්වාගත් අය අතරින් බොහෝ පිරිසකට කොවිඩ් වෛරසය ආසාධිත බව මෙරට ට පැමිණි පසු අනාවරණය වූයේ ය. එලෙස වැඩි සංඛ්‍යාවකට වෛරසය ආසාධනය වීම ඔවුන් පැමිණි රටේ දී ම වූවක් ද එන අතර මග දී ව්‍යාප්ත වූවා ද එසේත් නැති නම් නිරෝධායනය අතර වූවා දැයි හරියාකාරව කිව නොහැකි වුවත් මේ හේතුවෙන් මෙරට කොවිඩ් ආසාධිත සංඛ්‍යා දෛනිකව තවත ඉහළ ගියේ ය. නාවික හමුදා රෝගී පොකුරෙන් රෝගීන් වාර්තා වන්නා සේ ම මෙරට කොවිඞ් ආසාධිත සමස්ත සංඛ්‍යා කැපී පෙනෙන ලෙස ඉහළ ගියේ ය. ආණ්ඩුව ඒ අනුව තීරණය කරන්නේ කුවේට් ආදී මැද පෙරදිග රටවලින් මේ ශ්‍රමිකයන් රැගෙන ඒම තාවකාලිකව හෝ නතර කිරීමට ය.

කාලයක් රට විරුවන් ලෙස මුරුංගා අත්තේ තැබූ මෙරට බොහෝ විදෙස් ශ්‍රමිකයන්ට ඒ අනුව සිදුවී තිබෙන්නේ එම රටවල විශාල ගැටලු මධ්‍යයේ තවදුරටත් රැදී සිටීමට ය. වරින් වර ඔවුන් සමාජ මාධ්‍ය ජාල වලට එක් කරන වීඩියෝ දසුන් ඔවුන් මේ වන විට පත්ව සිටින අසරණ තත්ත්වය මෙරටට හඩ නගා කියන්නේ ය. ඒ අතර ආසාධිත වූ කීපදෙනෙකු මිය ගිය පුවත් ද වාර්තා වූයේ ය. මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සිටින්නේ කිසිවක් කරකියාගත නොහැකි අසරණ තත්ත්වයක ය. එලෙස විදෙස් ගතව සිටින තම පුතු මෙරටට ගෙන්වා ගැනීමට නොහැකිව සිටින මවක් පසුගිය දිනක මාධ්‍ය හමුවකට පෙනී සිටිමින් පැවසුවේ මෙවැන්න කි. “මගේ පුතාට දැන් එහේ ආදායමක් නෑ, රස්සාව නැහැ. කන්න බොන්න නෑ. බෝඩින් ගාස්තු ගෙවාගන්න විධියක් නෑ. එයාට තාත්තාත් නෑ. මට දැන් වයස 68ක් වෙනවා. මාව බලා ගන්න කෙනෙකුත් නෑ. හැකි ඉක්මනින් මගේ පුතා ලංකාවට ගෙන්වා දෙන්න. ගෙන්වනවා කීවාට තවම ගෙන්වන විධියක් නෑ. මන්ත්‍රීවරුන්ටත් ගිහින් කිවුවා. ඒත් කිසිම සහයක් නෑ. මම ලෙඩෙක්. ඉක්මනින් මගේ පුතා ගෙන්වා දෙන්න කියලා ඉල්ලනවා.” තවත් කාන්තාවක් පැවසුවේ, “මගේ මහත්තයායි පුතායි ඉන්නේ ඩුබායි. ඒ අයට එන්න විධියක් නැතිව දැන් හරිම අසරණවෙලා ඉන්නේ. ඒ අය කොහොම හරි ඉක්මනින් ගෙන්වලා දෙන්න. ඒ වගේම තව සහෝදරයෝ කුවේට් රාජ්‍යයේ අතරමංවෙලා ඉන්නවා. ඒ අයට ආහාරපාන, ඉන්න තැන්වල ප්‍රශ්න තියනවා. කරන්ට් වතුර කපන තත්ත්වයට ඇවිත් තියනවා. ලංකාවේ වගේ නෙමෙයි, ඒවා නැතිව එහේ ජීවත් වෙන්න අමාරුයි. මම බැගෑපත්ව ඉල්ලන්නේ මේ අයව ගෙන්වා දෙන්න කියන එක යි.” යනුවෙනි.

නීති හා ප්‍රතිපත්ති

කොවිඩ් වසංගත තත්ත්වය සමග ඇතිවූ අනපේක්ෂිත ගැටලු හමුවේ පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් තිබෙන ආරක්ෂාව කුමක් ද? ඔවුන්ගේ වගකීම ගන්නේ කවුරුන් ද? මේවා සම්බන්ධයෙන් මෙරටට තිබෙන වගකීම් හා ප්‍රතිපත්තිමය වටපිටාව පිළිබද නීතීඥ ලක්ෂාන් ඩයස්ගෙන් කළ විමසීමේ දී ඔහු දැක්වූයේ මෙවන් අදහසකි. “ශ්‍රි ලාංකීකයන් නැවත පැමිණීමේ දී ඔවුන්ව භාර ගැනීම හෝ ඒසේ පැමිණීමට අවසර දීමට ලක් රජය ව්‍යවස්ථාවෙන් බැඳී සිටිනවා. එය මූලික අයිතියක්. ඒ වගේම සෑම විදේශගත ශ්‍රී ලාංකිකයකු පිළිබදවම ලක් රජය වෙනුවෙන් ඉල්ලීමක් ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රයේ මුද්‍රණය කර තිබෙනවා. ඊට අමතරව ඕනෑම රටක වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හා ඔවුන්ගේ සුභ සිද්ධිය ඔවුන් සිටින රටේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය සම්බන්ධීකරණය කළ යුතුයි. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධක නිලධාරීන් ඉන්නවා. ඔවුන් ද සංක්‍රමණික සේවකයන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. ඒ හැර සංක්‍රමණික සේවකයන්ට අයිතිවාසිකම් ඇතැයි සදහන් නීතියක් මා දන්නා තරමින් ලංකාවේ හෝ බොහෝ රටවලත් නැහැ.”

කෙසේ වෙතත් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අනුග්‍රහයෙන් 2008 වසරේ ඔක්තෝබර් හි දී ශ්‍රමික සංක්‍රමණය පිළිබද ශ්‍රී ලංකා ජාතිත ප්‍රතිපත්තිය නමින් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදක්වා තිබුණි. එහෙත් එය නීතියක් නොවන ප්‍රතිපත්තියක් පමණක් බැවින් ඉන් නෛතික වගකීමකට කිසිවකු බැඳෙන්නේ නැත. සේවකයන්ගේ සුභසාධනයට වගකියන ආයතනය වන තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම ගැටලු සම්බන්ධයෙන් මැදිහත්විය යුතු පාර්ශ්වයන් වන අතර ඒ හැරුණු කොට ඒ කිසිවක් අයිතීන් නොවන බැවින් සුභ සාධනය රජයකට හැකි පමණ කරන දෙයක් මිස කළ යුතුම දෙයක් නොවන බව ද නීතීඥ ලක්ෂාන් ඩයස් සදහන් කළේ ය. “එය රටේ මූල්‍ය ධාරිතාව මත රදා පවතිනවා. අපේ රටේ නීතියට අනුව ඒවා අයිතියක් ලෙස ඉල්ලිය නොහැකියි.”

වගකීම් හා මැදිහත්වීම

ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන්ගේ ගැටලු හා සුබසාධන කාර්යයන්ට මැදිහත් විය යුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වන විට වන මැදිහත්වීමේ ස්වභාවය පිළිබද අපි එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණියගෙන් විමසුවෙමු. “ලක්ෂ දහයකට වැඩි ශ්‍රී ලාංකික පිරිසක් විදේශ සේවාවන් හි නිරත වෙනවා. එයින් ලක්ෂ හතක් පමණ මැද පෙරදිග රටවල සේවයේ යෙදෙනවා. ඒ සියලුදෙනාම නැතත් නැවත එන බලාපොරොත්තුවෙන් සිටින අය කණ්ඩායම් හතරක් ඉන්නවා. ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු සැලසුමක් අනුව කරගෙන යනවා. පළමු කණ්ඩායම ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය සාමාන්‍ය පරිදි අවසන් නිසා එන්න ඕනෑ අය යි. කොවිඩ් නිසාම සමහර සමාගම්වල වැඩ නතර වීම නිසා එන්න ඕනෑ තවත් කණ්ඩායමක් ඉන්නවා. අසනීප වීමට ඉඩ තිබෙයි කියා හිතන හෝ තමන්ට අසනීපවේ යැයි බියෙන් ඉන්න තවත් කණ්ඩායමක් ඉන්නවා. නීත්‍යානුකූල ලේඛන රහිතව ඒ රටවල රැදී සිටින අය හා විවිධ කරදර වලට මැදි වූ අයත් විවිධ සුරක්ෂා මධ්‍යස්ථානවල හා රැදවුම් මධ්‍යස්ථානවල ඉන්නවා. ඒ කණ්ඩායම් හතරම සම්බන්ධයෙන් අපි සැලසුමක් සහිතව උදව් කරගෙන යනවා.” ඒ, මංගල රන්දෙණිය මහතා ය.

රැකියා ගිවිසුමට අනුව කොන්ත්‍රාත් කාලය අවසන්වීම නිසා නැවත මෙරටට ඒමේ බලාපොරොත්තුවෙන් සිටින අයගේ සේවා කාලය අවසන් නොකර ඉදිරි මාස හයක් සදහා එය තවත් දීර්ඝ කර දෙන ලෙස එම සේවා ස්ථාන වලින් ඉල්ලීම් කළ බවත් බහුතර සේවායෝජකයන් ඊට එකග වූ බවත් ඔහු පැවසුවේ ය. සම්පූර්ණ වැටුප් ගෙවීමට නොහැකි නම් වැටුපෙන් අඩක් හෝ හතරෙන් තුනක් හෝ අතිකාල ගෙවීම් නොමැතිව හෝ රැකියාව ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා තිබුණි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, මෙවැනි අවස්ථාවක හොදම දේ නොවුණ ද සාපේක්ෂව කළ හැකි හොදම දේ කිරීමට ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් සිටින බව ය. ඒ බොහෝ රටවල් ලොක්ඩවුන් කිරීම නිසා සේවා කාලය දීර්ඝ කළ ද බොහෝ ශ්‍රමිකයන්ට තවදුරටත් නවාතැන්වල රැදී සිටීමට සිදුවී තිබුණි.

ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල

“පසුගිය කාලයේ සෑහෙන පිරිසක් කොවිඞ් ආසාධිත බවට ලංකාවට ආවාට පස්සේ පරීක්ෂණ වලින් අනාවරණය වුණා. එවැනි අවධානමක් නැවත නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. ගෙන්වා ගන්නා අය හැකි හැම විටම ඒ රට තුළ දී ගුවන් යානයට ගොඩවීමට දින තුනකට පෙර පීසීආර් වාර්තාවක් ලබාගෙන එම වාර්තාවට අනුව ආසාධිත නොවන අය පමණක් ගුවන් යානයට නංවා ගැනීමටත් වෛරසය ශරීරගත අයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ඒ රටේ වෛද්‍ය මධ්‍යස්ථාන සමග සම්බන්ධවීමත් යන තීරණය මත දැන් කටයුතු කරගෙන යනවා. එහෙම කරගන්න පුළුවන් වුණොත් ලංකාවට ගෙන්වන හැම කෙනෙක්ම කොවිඩ් අසාධිත තත්ත්වයේ ද නැද්ද කියන දේ සම්බන්ධයෙන් 99.9%ක් සොයා බලා ගුවන් යානයට නැංවීමට හැකි වෙනවා. එතකොට ලංකාව ඇතුළට එන්නේ කොවිඩ් නැති කෙනෙක්. ඒ අතරතුර යම් අවධානමක් තිබුණොත් කියන කාරණය මත අනිවාර්යයෙන්ම දින 14කට නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනවා. ඒ අයට 12වන දිනයේ දී නැවත පීසීආර් පරීක්ෂණයක් කරනවා. විදේශ රැකියා වලට ගොස් එන සෑම අයෙක්ටම මේ ක්‍රියාවලිය අනුව තමන්ගේ නිවෙස්වලට එන්න අවස්ථාව

ලැබෙනවා. ඒ අනුව ඒ අය නිවෙස්වලට හා සමාජයට ඇතුල් වන්නේ කොවිඩ් ආසාධිත නොවන කෙනෙක් විධියට යි. විගමනික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය එයයි. ඒ ප්‍රතිපත්තියට අවශ්‍ය සහයෝගය හැම ආකාරයකින්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලබා දෙනවා.” මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසුවේ එලෙස ය. ඩුබායි, අබුඩාබි යන රටවලින් පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට එකඟතාවයන් ලැබී තිබෙන බවත් කුවේට් හි ලංකාවේ සිටින තානාපතිවරයා ද ඊට එකගත්වය ඵල කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

විසදුම කුමක් විය යුතුද

මෙසේ පැමිණෙන පිරිස වෙනුවෙන් නැවත රැකියා තත්ත්වයන් ස්ථාපිත කිරීම හා ජීවනෝපාය මාර්ගයන් සකසා දීම යන කාර්යය ද ඉදිරියේ දී මෙරටට මුහුණ දීමට සිදුවන අභියෝගයන් ය. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර මට්ටමේ සංවර්ධන නිලධාරීන් ද ජාත්‍යන්තරව කටයුතු කරන ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ විගමනික ශ්‍රමිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධාන ද එක්ව ඔවුන්ගේ ජීවනෝපාය නංවාලීම සහ මානව සාමාජීය අවශ්‍යතා සපුරාලීම සදහා වන දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරන්නේ ය. කෙසේ වෙතත් ඒවා කොතරම් දුරට සාර්ථක හා ප්‍රායෝගික වේ දැයි අපට කිව නොහැකි ය. “නැවත විදේශ රැකියා සදහා යාමට සූදානම් වන අය සම්බන්ධයෙන් කොවිඩ් ආසාධිත තත්ත්වයන්ගෙන් තොරව රැකියා කිරීමේ කාරණය අවධාරණය කරන ඉගැන්වීම් එකතු කර පුහුණු පාඨමාලා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් යනවා.” ඒ, මංගල රන්දෙණිය මහතා ය. විශේෂයෙන් ආසියාතික රටවල විගමනික ශ්‍රමිකයන් කොවිඞ් වසංගතය හමුවේ මුහුණ දෙමින් සිටින්නේ විශාල අර්බුදයකට ය. විගමනික ශ්‍රමිකයන් ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට පත් වූ රටවල් වලට එම ගැටලුව බොහෝ අංශ වලින් එල්ල කරන්නේ දැවැන්ත පහරකි.

“ඉන්දියාව තම සේවකයන්ගෙන් 15-20%ක් අතර ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට උත්සාහ කරන බව පෙනෙනවා. එහෙත් නැවත ගෙන්වා ගැනීම පිළිතුරක් නොවෙයි. ඔවුන්ගේ පැමිණීම දී විරැකියාව වැඩි වෙනවා. ඒ වගේම නව සමාජ ප්‍රශ්න ඇතිවෙනවා. එසේ පැමිණීම ස්වභාවික ක්‍රමයක් නොවෙයි. ඒ නිසා කළ යුතුව තිබෙන්නේ ඒ අය එම රටවල තබා ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කොට ඔවුන්ගේ අනාගතය සුරැකීමයි. ඔවුන් විශාල සංඛ්‍යාවන්ගෙන් මෙරටට ගෙන්වා ගැනීමෙන් ලංකාවේ ආර්ථිකයට ඉන් දැඩි බලපෑමක් ඇති වෙනවා. එයින් සමාජ ගැටලු ද මතු වෙනවා. ඉන්දියාව එය සිදුකරන්නේ නැහැ. ඔවුන් ගෙන්වන්නේ 15%ක් පමණ අගයක් පමණයි. එය ඔවුන්ට දැරිය හැකි උපරිමය යි. අපි ඊට වෙනස් විය යුතු ද? වෙනස් වූවා යැයි අපට කළ හැකි දෙයක් නැහැ. එය අපේ රටට දරන්න පුළුවන් ද? ලක්ෂයක් ගෙන්වීමට රුපියල් මිලියන 5000ක් පමණ වියදමක් දැරීමට සිදු වෙනවා. ඊට අමතරව තවත් ගැටලු රාශියක් ඇතිවීම සහ විදේශ විනිමය අඩුවීමත් අපේ රටට දරාගන්න බැහැ.” ඒ, නීතීඥ ලක්ෂාන් ඩයස් ය.

ඉදුනිල් උස්ගොඩ ආරච්චි (රාවය)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435