විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමයට යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නීති විරෝධී ක්‍රියාකලාපයන් හමුවේ ඉදිරි විදුලි ජනන සැලසුම් ව්‍යාකූල වීමේ අවදානමක් පවතින බවත් එම කොමිෂන් සභාවේ තනතුරු සඳහා සුදුසු නිලධාරීන් පත්කිරීම කඩිනම් නොකරන්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමයට යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බවත් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.

2014 වර්ෂයේ සිට නිසි විදුලිජනන සැලැස්මක් නොමැති වීම හේතුවෙන් රුපියල් බිලියන ගණනක අති විශාල පාඩුවක් ලංවිමට දැරීමට සිදුවූයේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව අත්තනෝමතික ලෙස ලංවිම ඉදිරිපත් කළ විදුලි ජනන සැලැසුම් අවුල් කිරීම නිසා බවද ඔවුන් පැවැසීය.

මහත් වෙහෙසක් සහ පරිශ්‍රමයක් දරා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට පවා එළැඹෙමින් ලංවිම විසි අවුරුදු ජනන සැලැස්ම අනුමත කරගත්තද ඒවායෙහි වැඩකටයුතුද සිදු වන්නේ ඉබි ගමනින් යැයි කුමාරවඩු මහතා ප්‍රකාශ කළේය.

එම ජනන සැලැස්මට සිදුකළ අගතියම ඉදිරි ජනන සැලැස්මටත්සිදු කිරීමේ අටියෙන් මේ වනවිටත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය නිර්දේශ සහ යෝජනා ලංවිම වෙත ඉදිරිපත් කරමින් සිටින බවද ඔහු චෝදනා නැඟුවේය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙර විදුලි ජනන සැලැස්ම අනුමත කිරීමේදී අනුගමනය කළ ක්‍රියාපටිපාටිය නීති විරෝධී බව නීතිපතිවරයා පවා දැනුම් දී තිබියදී මෙවරද සැලසුම් සැකසීමට ඔවුන් පැරැණි පුරුදු නීති විරෝධී ක්‍රියාපටිපාටීන්ම අනුගමනය කිරීමට සූදානම් වෙමින් සිටින බවද හෙතෙම පැවැසීය.

දිගින් දිගටම මෙසේ සිදුවීම නිසා විදුලි ජනන සැලසුම් ප්‍රමාද වෙමින් රටම විදුලි අර්බුදයකටත් ආර්ථික අර්බුදයකටත් ඇද වැටීම සිදුවන බවත් මීට ගත යුතු හොඳම පිළියම එම කොමිෂන් සභාවේ තනතුරු සඳහා සුදුසු නිලධාරීන් පත් කිරීම බවත් ඔහු පැවැසුවේය.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435