විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වීමෙදී ක්‍රමවත් විය යුතුයි -.GMOA කියයි

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමේදී සෞඛ්‍ය බලධාරීන් නිසි මාර්ගෝපදේශන ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විශේෂයෙන් එම ශ්‍රමිකයින් කාණ්ඩගත කර අදියර කිහිපයක් යටතේ මෙරටට ගෙන්වා ගැනීම සිදුකළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම මෙරටට ගෙන්වා ගන්නා විදෙස් ශ්‍රමිකයින් පළමු දිනයේම පී.සී.ආර් පරීක්ෂණයට යොමු කරන්නේද, ඉක්බිතිව දින 14න් නැවත පරීක්ෂා කරන්නේද, අනතුරුව නිරෝධායනය නිමා කොට නිවෙස් බලා යාමට ප්‍රථම යළි පරීක්ෂා කරන්නේද යන්න සැක සහිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා අද (27) පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.

මෙරටට පැමිණ දින 4-5න් මෙම පරීක්ෂණය සිදුකරන්නේ නම් සෙසු පිරිසකට ඒ වන විටත් ආසාදනයවීමේ අවදානම පවතින බවත්, අඛණ්ඩව පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීම සිදුකළ යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ අතර එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ජාතික නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කළද, අවදානම මුළුමනින්ම පහව ඇති බවක් එයින් අදහස් නොකෙරෙන බවයි.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ක්‍රියා කළ යුතුව ඇති බවත්, ප්‍රජාව අතරට එක් ආසාදිතයෙකු හෝ මුසුවීම තවත් භයානක අත්දැකීමකට මුහුණදීමට ආරම්භයක් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435