විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සීමා කෙරෙයි!

විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 157කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට මේවන විට තහවුරු වී තිබේ. කුවේටයේ සිට මෙරටට පැමිණ 90ක් සහ ඩුබායි සිට පැමිණි 18 දෙනෙකු ද ඒ අතර සිටින බව වාර්තා විය. මේ අතර මෙරටින් අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් 41 දෙනාගෙන් 40 දෙනෙකුම කුවේටයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන් හි නිරෝධායන වන පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්ව සිටින අයෙකු බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

මෙවන් වාතාවරණයකදී විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා තිබේ. නාවික හමුදා ගැටළුව ද තවමත් විසඳී නැති පසුබිමක විශාල වශයෙන් විදෙස් රටවල සිට පුද්ගලයින් පැමිණීම ගැටළුකාරී විය හැකි බවත්, එනිසා ඉදිරියේ දී විදෙස්රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි රජය තීරණයක් ගනු ඇති බවත් ඔහු විසින් පෙන්වාදී තිබිණි. කෙසේ වෙතත් ඉදිරි දින දෙක තුළ විවිධ සමාජ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ 50 ක් පමණ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මහජනතාව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් එම මාර්ගෝපදේශ තුළින් දැනුම් දීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙන්වාදුන් පරිදි මේවන විටත් විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම අත්හිටුවා ඇති බව පිළිගැනීමට සිදුවන්නේ ඊයේ දිනයේ විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන හදිසියේ අවලංගු කිරීමට තීරණය කළ බැවිනි. මෙම හදිසි තීරණය නිසා මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටි පිරිස දැඩි අපහසුතාවට පත්ව තිබේ. අවස්ථාවන් ගණනාවකදී කටාර්හි විවිධ රැකියාවන්හි සේවය කරමින් සිටින පිරිසෙන් විවිධ කණ්ඩායම් අවස්ථා කිහිපයකදීම මෙරටට ගෙන්වා ගන්නා ලෙස සමාජ මාධ්‍ය හරහා දැඩි ඉල්ලීම් සිදුකරන ලදී. අනෙක් අතට කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවක දැක්විණි. ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසක් කටාර් හි රැකියාවල නිරත ව සිටින අතර ඒ අතුරින් වැඩිම පිරිසක් කම්කරු සහ ගෘහ සේවයේ නිරත වූවන් බව වාර්තාවේ. මෙවන් පසුබිමක ස්වකීය සෞඛ්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ දැඩි අවදානමක් පවත්නා මෙම පිරිස් කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවිය යුතුය.

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රුමේනියානු ගුවන්තොටුපළ වෙත යවන ලද විශාල පිරිසක්ද, ශ්‍රී ලංකා රජයේ නවතම තීරණය නිසා පීඩාවට පත්ව තිබේ. රුමේනියාවේ සිටි පිරිසද ගෙන්වා ගැනීමට ගුවන්යානයක් යොමු කරන බවට පෙර කළ දැනුම්දීම නිසා ගුවන්තොටුපළ වෙත පැමිණි සිය ගණනක පිරිසක් අතරමංව සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදෙස් සබඳතා අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය පෙන්වාදෙන පරිදි රුමේනියාවේ කම්කරු අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මෙම පිරිසට විකල්ප රැකියා ලබාදීමට සහ එතෙක් නවාතැන් පහසුකම් සැලසීමටත් ක්‍රියා කර තිබේ. මෙලෙස රුමේනියානු ගුවන්තොටුපළට පැමිණි 42 දෙනෙකු සමග පෝලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති නිරන්තර සබඳතා පවත්වන බවද විදේශ සේවා අමාත්‍යංශ නිල වෙබ් අඩවිය උපුටා දක්වයි. එසේම රජය විසින් මෙම ගුවන් ගමන් හදිසියේ අත්හිටුවීම හේතුවෙන් කටාර්හි දුෂ්කරතාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා වහාම නවාතැන් පහසුකම් සපයන ලෙස එරට වැඩබලන තානාපතිවරයාට උපදෙස් දුන් බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ද නිවේදනය කර තිබිණි. අන්තර්වාර පියවරක් ලෙස මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියි.

එක් පසෙකින් අද (26) සිට දින 66ට පසුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක වල ඇඳිරිනීතිය ලිහිල් කරන ලදී. ඒ අනුව මේ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරිනීතිය රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇත. මේ අනුව ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට උත්සාහ දරමින් සිටියදීම තවදුරටත් මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් හමුවන්නේ නාවික හමුදා නියැදියෙන් සහ මෙලෙම විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පිරිසෙන් වීමද විශේෂත්වයකි. එවන් පසුබිමක විදේශයන්හි සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් ගෙන්වා නිරෝධායනයට ලක් කිරීමට මෙන්ම අවදානමක් ගැනීමට රජය විසින් මේ මොහොතේ ක්‍රියා කරනු ඇතිද? ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ විසින් ප්‍රසිද්ධ මාධ්‍යයට කළ කරුණු දැක්වීම මෙහිදී සුළුකොට තැකිය නොහැකිය. ඔහු කියා සිටියේ මෙවැන්නකි.

“කුවෙයිට් සිට පැමිණි පිරිස් මෙරටට බාර ගන්නට සිදුවූයේ ඔවුන් දිගු කාලයක් තිස්සේ වීසා නොමැතිව හෝ වෙනයම් හේතු නිසා නීති විරෝධීව එරට රැඳී සිටින්නට සිදුවීමත්, පවත්නා තත්ත්වය යටතේ ඔවුන්ට කුවෙයිට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමත් නිසයි. මේ අයුරින් එංගලන්තය, කැනඩාව ආදී යුරෝපා රටවල සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමටත් අපි ක්‍රියා කළා. මේ වෙද්දි මාලදිවයින, ශීෂෙල්ස්, බංග්ලාදේශය වැනි රටවල සේවය කරමින් සිටි වැඩි දෙනෙකු සිටියත් ඔවුන් ගෙන්වා ගැනීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකියි. මොකද මේවන විට විදේශයන්ගෙන් ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින නිසා යම් විදිහකට ඒවායේ ඉඩකඩ ලැබෙනතුරු කාලයක් ගැනීමට සිද්ධවෙනවා“

මෙවන් පසුබිමක කොතෙක් ඉල්ලීම් කළද, විදෙස්ගත ශ්‍රී ලාංකකයින් මෙරටට ගෙන්වා ගැනීම තවදුරටත් මේ මොහොතේ යථාර්ථයක් වනු ඇත්දැයි සැක සහිතය.

– පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435