විදෙස් සේවකයින් වෙනුවෙන් කටාර් රාජ්‍ය හඳුන්වාදෙන ඉලෙක්ට්‍රොනික් ගිවිසුම් ක්‍රමය

කටාර් රාජ්‍ය  සිය රටේ සේවයේ නියුතු විදෙස් සේවකයින් වෙනුවෙන් නව ඉලෙක්ට්‍රොනික ගිවිසුම් ක්‍රමයක් හඳුන්වාදීමට සැරසේ. මෙම නව ක්‍රමය යටතේ සේවක ගිවිසුම්, අදාළ සේවකන්ගේ මව් භාෂා වලින්ම අන්තර්ජාලයේ පළකිරීමට නියමිතය.

මෙය ලබන වසරේ සිට ක්‍රියාත්මක වනු ඇති බවට කටාර්හි ඉහළපෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නව ඊ-ගිවිසුම් ක්‍රමය (ඉලෙක්ට්‍රොනික් ගිවිසුම් ක්‍රමය) යටතේ, සේවකයාට සිය නම, වීසා අංකය  වැනි තොරතුරු ඇතුළත් කිරීම හරහා රජයේ වෙබ් අඩවියට පිවිස, තමන්ගේ රැකියාවට අදාළ ගිවිසුමේ තොරතුරු වෙත පිවිසිය හැකිය.

මෙහිදී සේවකයාට තමන්ගේ රැකියා ගිවිසුම ට අදාළ කරුණු සිය මව් භාෂාවෙන්ම ලබා ගත හැකිවීම ඉතා වාසිදායක වන්නේ, අතරමැදි පුද්ගලයන්ගේ මැදිහත්වීම්, වංචා, මුදල් ගරාගැනීම් වලින් විදෙස් සේවකයන් ආරක්ෂා වන බැවිනි. දැනට පවතින රැකියා ගිවිසුම් බහුතරය අරාබි භාෂාවෙන් පමණක් සකස් වී තිබීම හේතුවෙන් කටාර්හි සේවය සඳහා පැමිණෙන විදෙස් සේවකයින් බොහොමයක් විවිධ දුෂ්කරතාවයන්ට හා වංචාවන්ට හසුවී තිබේ.

APF පුවත් සේවයට අදහස් දැක්වූ හසෙන් නමැති පුද්ගලයෙකු මෙසේ පවසා තිබේ. “මං කටාර් වලට එනකොට හිතුවේ මගේ පඩිය ඩොලර් 900ක් කියලා. එත් ආවට පස්සේ දැනගත්තේ එක ඩොලර 900ක් නෙවේ කටාර් රියාල් 900ක් කියල. ඒ කියන්නේ ඩොලර් 250ක් වගේ”.

කටාර් රජය පවසන්නේ, රැකියා ගිවිසුම් හරිහැටි වටහා ගැනීමට නොහැකිවීමෙන් සේවකයින් මුහුණ දෙන එවන් ගැටළු, මෙම නව ක්‍රමය හරහා තුරන්ව යනු ඇති බවයි.

මෙම නව පද්ධතිය සඳහා පෞද්ගලික සමාගම් වල ලියාපදිංචි විය යුතු අතර, එය අනිවාර්ය නොවුනත්, පෞද්ගලික සමාගම් බහුතරය මෙම නව ක්‍රමය සමඟ එක් වනු ඇති බවට රජය විශ්වාසය පළකරයි.

අනෙක් ගල්ෆ් රටවල් සේම කටාර් රාජ්‍යයද බහුලව රැඳී පවත්තින්නේ, ආසියානු ශ්‍රමිකයන් මතයි. ඉදිකිරීම්, තෙල් හා ප්‍රවාහන අංශ වල ආසියාතික සංක්‍රමණික සේවකයන් බහුතරයක් සේවය කරයි.මෙවැනි බහුතර විදෙස් සේවක සංඛ්‍යාවක් සිටියදී පවා, ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන්, මූලික කම්කරු අයිතිවාසිකම්, පිළිබඳව කටාර් රජය දක්වන මඳ අවධානය පිළිබඳව ගෝලීය මානව හිමිකම් සංවිධාන විසින් කටාර් රාජ්‍යය දැඩිව විවේචනය කරනු ලැබිය.

එයට කටාර් රාජ්‍ය විදෙස් ශ්‍රමිකයන්ට අදාළ කම්කරු නීති වල නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ලැබුවද, ඒවා ක්‍රියාත්මක වීම සිදුවන්නේ ඉතා මන්දගාමී ස්වරූපයෙන් බවට දැන් ගෝලීය සංවිධාන වලින් චෝදනා එල්ලවෙමින් පවතී.

කෙසේවෙතත් කටාර්හි කම්කරු හා සමාජ කටයුතු පිලිබඳ අමාත්‍ය අලි අල් මීර් පවසන්නේ මෙම නව ක්‍රමය 2016 වර්ෂයේ මුල් කාර්තුවේ සිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවයි.

වැඩබිම

තවත් දෙස් විදෙස් තොරතුරු සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435