විදේශයේ සේවය කළ ලාංකිකයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මරුට

ශ්‍රමිකයන් ලෙස සෞදි අරාබියේ සහ ජෝර්දානයේ රැකියාවලට ගිය කාන්තාවක්‌ සහ තවත් අයකු එම රටවලදී ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ශ්‍රී ලංකාවට එවීමේ සිද්ධීන් දෙකක්‌ පිළිබඳව මීගමුව හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත වික්‍රමරත්න මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණවලදී අනාවරණය විය.

මෙලෙස සිරුරු ශ්‍රී ලංකාවට එවා ඇත්තේ දැනට වසර 5 කට පමණ පෙර ජෝර්දානයේ ඇඟලුම් ආයතනයක රෙදි කැපීමේ රැකියාවට ගිය පොල්ගහවෙල, අලව්ව පාර මෛත්‍රී මාවතේ පදිංචිව සිටි ආර්. පී. උපාලි රාජපක්‍ෂ (50) සහ සෞදියේ ගෘහ සේවිකාවක ලෙස රැකියාවට ගිය අප්කෝට්‌ටේ පදිංචිව සිටි පී. කට්‌ටව භග්ගවල්ලි (46) නමැති එක්‌දරු මවයි. කට්‌ටව භග්ගවල්ලි නමැති කාන්තාවගේ සිරුර පුරා කැපුම් තුවාල දක්‌නට ලැබුණ අතර අනෙක්‌ පුද්ගලයා වන උපාලි රාජපක්‍ෂ නමැත්තා මියගොස්‌ ඇත්තේ හිසට මොට ආයුධයකින් පහරදීමෙනි.

මේ බව අනාවරණය වූයේ මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය එම්. එන්. රුහුල් හක්‌ මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදීය. මෙම සිද්ධීන් දෙකම මනුෂ්‍ය ඝාතන බවට පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

ඒ අනුව එම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වා එම විමර්ශන වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මීගමුව හදිසි මරණ පරීක්‍ෂක සිරි ජයන්ත වික්‍රමරත්න මහතා කටුනායක ගුවන්තොටුපළ පොලිසියට නියෝග කළේය. ගුවන්තොටුපළ පොලිසිය පැමිණිල්ල මෙහෙයවීය.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435