විදේශ දූත මණ්ඩල තේරීමේදී රාජ්‍ය කළමනාකරණ සේවකයින්ට අසාධාරණයක්

ශ‍්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා පවත්වනු ලබන තරඟ විහාගය  ගැන කළමණාකරන සේවා නිලධාරීන් පිරිසක් තමට සිදුවූ අසාධාරණයට පිළිබඳව තැබූ සටහනකි.

ශ‍්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා 2019 වර්ෂයේ අගෝස්තු 25 දින පැවති තරඟ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වි ඇති අතර විභාගයට පෙනිසිටි අයදුම්කරුවන්ගෙන් (කළමනාකරණ සේවා නිලධාරීන්) 400කට අධික පිරිසක් දෙවන වටයේ පැවැත්විමට යෝජිත පරිගණක ආශ‍්‍රිත ප‍්‍රායෝගික පරික්ෂණයට සහ සම්මුඛ පරික්ෂණයට පෙනිසිටිම සඳහා සුදුසුකම් ලබා ඇත.

මෙම තරඟ විභාගයේ  විභාග ක‍්‍රමය මෙම වර්ෂයේදී වෙනස් කර ඇති අතර පෙර පැවති විෂය ප‍්‍රශ්න පත‍්‍ර 04 වෙනුවට ප‍්‍රශ්න පත‍්‍ර 03 දක්වා අඩු කර පරිගණක ආශ‍්‍රිත ප‍්‍රායෝගික පරික්ෂණයක් සහ සම්මුඛ පරික්ෂණයක් පැවැත්විමට 2019.05.10 දිනැති ගැසට් පත‍්‍රයේ සඳහන් කර ඇත. මෙම ප‍්‍රායෝගික පරික්ෂණයට සහ සම්මුඛ පරික්ෂණයට අදාල නව විෂය නිර්දේශය සහ ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදය තුලින් බහුතරයක් කළමනාකරණ සේවා නිලධාරීන්හට අසාධාරණයක් සිදුවේ.

රාජ්‍ය ගිණුම් CIGAS පිළිබඳ දැනුම පරික්ෂා කිරිම – රාජ්‍ය කලමණාකරන සේවා නිලධාරින්ගෙන් ඉතා සිමිත පිරිසකට පමණක් දැනුමක් ඇති මෙම විෂය ප‍්‍රායෝගික පරික්ෂණයට ඇතුලත් කරවිම දුරබැහැර ප‍්‍රදේශවලින් විභාගය සමත් වූ හා මෙම විෂය පිළිබඳ ප‍්‍රායෝගිකව දැනුම ලබාගැනිමට අපහසු නිලධාරින්ට කරන අසාධාරණයකි. විශාල දෙපාර්තමේන්තුවක වුවද මෙම වැඩසටහන හැසිරවිය හැකි නිලධාරින් සිටින්නේ ඉතා අතලොස්සකි. ප‍්‍රමාණවත් පුහුණු වැඩසටහන් නොමැතිවීමත්, පුහුණු වැඩසටහන් සඳහා මෙම විෂයභාර නිලධාරන් පමණක් යොමුකරවීමත් අනෙකුත් නිලධාරීන්ට කරන බලවත් අසාධාරණයකි. බොහෝ දෙපාර්තමේන්තුවල CIGAS ඇති පරිගණකවල ගිණුම් විස්තර ඇතුලත්කර ඇති බැවින් පුහුණුවිමට තබා මෙම පරිගණක පරිහරණය කිරිම  විෂය භාර නිලධරින්ට පමණක් සීමා කර ඇත.

අපගේ සේවා ව්‍යවස්ථාවේ බඳවා ගැනීමේ මුලික සුදුසුකමක් ලෙස හෝ අතිරේඛ සුදුසුකමක් ලෙස දක්වා නොමැති බැවින් මුලික උපාධියේ පළමු හා දෙවන පංති සාමාර්ථ සඳහා විශාල ලකුණු ප‍්‍රමාණයක් වෙන්කිරීම සාධාරණ නොවේ.

අනුයුක්ත කරන නිලධාරින්ගේ රාජකාරි ලැයිස්තුව හා පැවරෙන රාජකාරි ඉටුකිරිම සඳහා CIMA, ICASL, CIM, AAT වැනි ඉහළ ගණකාධිකරණ සුදුසුකම් පරික්ෂා කිරිම සාධාරණද යන්න නැවත සලකා බැලිය යුතුය.

උදාහරණයක් ලෙස, CIMA, ICASL, CIM, AAT සහතිකයක් හිමි නිලධාරියකු දූත මණ්ඩලයක ගිණුම් නිලධාරියකු ලෙස පත්විම ලද විට ඔහුගේ අදාල සහතිකවල දැනුම කෙතරම් දුරට ප‍්‍රායෝගික වන්නේද යන්න.

පැහැදිලිවම පෙනි යන්නේ මෙම පටිපාටි සකස්කල නිලධාරින් අමාත්‍යාංශයේ සේවය කරන මෙවැනි සුදුසුකම් සපුරා ඇති සුළුතර නිලධාරි කණඩායමක් බඳවා ගැනීම ඉලක්කකොට ගෙන ගැසට් පත‍්‍රය සකස් කර ඇති බවය.

මෙම අනුයුක්ත කිරිම් අප සේවයට ඇති ඉතා සිමිත වරප‍්‍රසාද වලින් එකකි.එබැවින් එක් එක් අයගේ පෞද්ගලික අභිමාර්තයන් මුදුන්පත් කරවිම සඳහා නොව පොදුවේ සියලූම නිලධාරින් සඳහා විනිවිදභාවයකින් හා සාධාරණව විභාග ක‍්‍රමයක් හා සාධාරණ ලකුණු ලබාදිමේ පටිපාටියක් සකස් කිරිම වඩා උචිතය.

තවද විශේෂයෙන් සඳහන් කල යුත්තේ කළමණාකරන සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත තනතුරුවලින් කොටසකට අමාත්‍යාංශයේ සේවය කරන උපාධිධාරී තනතුරුවල නිලධාරීන් අනුයුක්ත කිරිම වසර 08 ක පමන කාලයන සිට සිදුවේ. කරුණු සෙවිමේදී පෙනී යන්නේ මෙම අයවලූන් අවිධිමත් ලෙස හොර රහසේම විදේශ දූත මණ්ඩල වලට අනුයුක්ත කරන බවය.

එසේම විශේෂ හිතවත්කම් මත හෝ සුදුසුකම් නොමැති විභාගයද සමත්විමට නොහැකි කළමනාකරණ සේවා නිලධාරින් කොටසක් නිශ්චිත ක‍්‍රමයකින් පරිභාහිරවද විදේශ දූත මණ්ඩල සඳහා අනුයුක්ත කරන  බව දැනගන්නට ලැබී ඇත.තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඔනෑම අයෙකුට මෙම විස්තර ලබාගෙන මෙහි සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කල හැක.

මෙවැනි පසුබිමක හිතවත් කළමණාකරණ සේවා නිලධාරින් හා උපාධීධාරීන් හොර රහසේම පුරප්පාඩු පවතින තනතුරුවලට සහ අළුතින් ආරම්භ කරන දූත මන්ඩලවලට අනුයුක්ත කර, ප‍්‍රමාදකර වර්ෂ කිහිපයකට වරක් අනෙකුත් නිලධාරීන්ගෙන් එල්ලවන පීඩනය සමනය කිරිම පිණිස අසාධාරණ ලෙස සකස්කල විභාග පටිපාටියකට  අනුව විනිවිදභාවයකින් තොරව විභාග පැවැත්වීම තරයේ හෙලා දකිමු.

  • අනුමත කාර්යමණ්ඩල සංඛ්‍යාව තුල කළමණාකරණ සේවයේ නිලධාරීන් පමණක් අනුයුක්ත කිරිමත්
  • පුරප්පාඩු පවතින තනතුරුවලට සාධාරණ විභාග ක‍්‍රමයක් හා සම්මුඛ පරික්ෂණයක් මඟින් තෝරාගන්නාලද නිලධාරීන්  පමණක් අනුයුක්ත කිරිමත්
  • හදිසි පුරප්පාඩු පිරවීමේදී හා අලූතින් ආරම්භකරන දූත මණ්ඩල සඳහා කළමණාකරන සේවා නිලධාරීන් අනුයුක්ත කිරිමේදී අවසන් වරට පැවති තරඟ විභාගයේ ප‍්‍රතිඵල මත හෝ විනිවිදභාවය සහිත සාධාරණ ක‍්‍රමයක් ඇතිකිරිමටත් බලධාරීන්ගේ අවධානය යොමු කරනු ඇතැයි සිතමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435