විදේශ දූත මණ්ඩල පුරප්පාඩු පිරවීමේ විභාගය පිළිබඳ දැනුවත් කරන ලෙස ඉල්ලීමක්

ශ්‍රි ලංකා විදේශ දුත මණ්ඩල වල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පුරප්පාඩු පිරවීම සදහා පවත්වනු ලබන තරග විභාගය සම්බන්ධයෙන් සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් එම විභාගයට අයදුම්කරන නිලධාරීන් සඳහා පැහැදිලි කිරීම් කිහිපයක් නිරාකරණය කරන මෙන් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ශ්‍රි ලංකා විදේශ දුත මණ්ඩල වල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පුරප්පාඩු පිරවීම සදහා පවත්වනු ලබන තරග විභාගය 2018(2019) වෙනුවෙන් අයදුම්පත් කැදවමින් පළකරන ලද 2019.05.10 වෙනි දින ගැසට් පත්‍රයේ පළවු දැන්වීම සම්බන්ධවයි.

එම දැන්වීමට අනුව ලිඛිත විභාගයේ ප්‍රතිළුල මත සුදුසුකම් සපුරන අයවළුන් වෙනුවෙන් පවත්වනු ලබන සම්මුඛ පරික්ෂණය සදහා ලකුණු ලබාදීමේ පරිපාටිය විස්තරාත්මක වශයෙන් දැක්වීම පළමුව අගය කොට සලකමු. වෙනත් විභාග වල මෙන්ම මෙම තරග විභාගය මගින්ද පුරප්පාඩු කොපමණ ප්‍රමාණයක් පුරවනු ලබන්නේද යන්න සදහන් කරන්නේනම් එය අයදුම්කරුවන් සදහා වඩාත් පහසුවනු ඇත.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බදවා ගැනීමේ මුලික සුදුසුකම අ.පො.ස. උසස් පෙළ වන අතර සේවව තුල අති බහුතරයක් උපාධිධාරීන්ද වේ. එනමුත් අ.පො.ස. උසස් පෙළට වඩා ඉහළ අධ්‍යාපන සුදුසුකම් කිසිදු අවස්ථාවකදී සේවාවේ ශ්‍රේණීගත උසස් වීමකදී හෝ කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණයකදී නිර්නායකයක් වශයෙන් යොදා නොගැනීම හේතුවෙන් සේවාව තුල ඉහළ අධ්‍යාපනික සුදුසුකම් සපුරා ගැනීමේ උනන්දුවක් නොපවතී. එසේම පන්ති සමාර්ථයන් සහිත උපාධිධාරින් හා CIM, CIMA, AAT වෘත්තිය ගිණුමකරණ සුදුසුකම්  ලබා ගැනීමේ විභාග සමතුන් කළමනාකරණ සහකාර සේවාව තුල රැදී සීටීමේ ප්‍රවනතාවයද ඉතාමත් විරලය.

දීර්ඝ ඉතිහාසයක් තුල කිසිදු ගැටළුවක් නොවන ආකාරයෙන් විදේශ දුත මණ්ඩල රාජකාරි වල අප සේවාවේ නිලධාරින් නියළුනු අතර ඔවුන් තෝරා ගැනීමේදී මෙවැනි ප්‍රායෝගිකව නොපවතින සුදුසුකම් හා ක්ෂේත්‍රයට අදාළ නොවන සුදුසුකම් යෙදවීම වෙනුවට නිලධාරින්ගේ සේවා කාලය පදනම් කරගෙන ලකුණු ලබා දීමක් සිදු කරන්නේනම් වඩාත් සුදුසු බව අපේ හැගිමයි. බොහෝ අවස්ථා වල අප සේවාව තුල වසර 10 ක සේවා කාලයක් උපාධියට සමාන මට්ටමේ පිළිගැනීමක් සහිත වු බැවිනි.

එසේම මෙපමණ කාලයක් තිබු සාමාන්‍ය දැනීම ඉවත් කර හදුන්වාදී ඇති ප්‍රායෝගික පරික්ෂණයේදී පරික්ෂා කර බලන්නේ විෂය දැනුමම වන අතර මෙම සංශෝධනයට පෙර පැවැති ක්‍රමය තුල ශ්‍රී ලංකාවේ දේශපාලනික, සමාජීය, සංස්කෘතික හා ආර්ථික පසුබිම, ඉතිහාසය, භුගෝලය හා වර්ථමාන ජාත්‍යන්තර කටයුතු පිළිබදව මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකුට රට නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවිය. එනමුත් නව ක්‍රමය මගින් අද සමාජය තුල තමාගේ වටාපිටාවේ සිදුවන දේ පිළිබදව කිසිදු අවබෝධයක් නොමැති ලෝකයේ සමාජයේ සිදුවන දේ ගැන අවධානයක් යොමු නොකරන ප්‍රායෝගික නොවන පුද්ගලයන් මෙම තනතුරු වලට පත්වෙන ආකාරයෙන් සකස් කර ඇති මෙම ක්‍රමවේදයෙන් ඉදිරියේදී විදේශ දුත මණ්ඩල සේවයේ පවතින ගුණාත්මක භාවයේද විශාල පරිහානියක් සිදුවනු ඇත.

මෙම ගැසට නිවේදනය මගින් වසර 5 ක සේවා කාලයක් ඇති III ශ්‍රේණියේ නිලධාරියෙකුට මෙම විභාගයට පෙනී සිටිමේ හැකියාව ලබා දීම මගින් සේවයට පැමිණෙන දක්ෂ නිලධාරින්ට තමන්ගේ දැනුම හා හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් වඩාත් කාර්යක්ෂමව කටයුතු කළහැකි කාල සීමාව තුලදීම ඉදිරියට යෑමට හොද අවස්ථාවක් හිමිවේ. එසේම වසර 5 ක සේවා කාලයක් ඇති නිලධාරියෙකු හා වසර 15 ක 20 ක සේවා කාලයක් ඇති නිලධාරියෙකුගේ දැනුම හා අත්දැකිම් අතර විශාල පරතරයක් ඇති බැවින් සේවා කාලය පදනම් කරගෙන යම් ලකුණු ප්‍රමාණයක්ද ලබා දීම අත්‍යවශ්‍ය බව අපගේ හැගීමයි.

එබැවින් මෙම කරුණු පිළිබදව සළකා බලා අදාළ ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට ඔබගේ කාරුණික අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435