විරැකියාවට සහ සමාජ රැකවරණය සඳහා විසඳුම් ඉල්ලා යෝජනාවලියක් පක්ෂ නායකයින්ට ඉදිරිපත් කරයි

විරැකියාවට සහ සමාජ රැකවරණය සඳහා ස්ථාවර විසඳුම් ඉල්ලා සිටීමේ යෝජනාවලියක් පක්ෂ නායකයින් වෙත නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය විසින් යවා ඇත.

එම යෝජනාවළිය පහතින් දැක්වේ.

ඔබ අප කවුරුත් පසුගිය මාස 03 ට වැඩි කලක් බිඳ වැටුණු ආර්ථික කි‍්‍රයාවලියක, සුපුරුදු දෛනික ජීවිතය සඳහා අවකාශයක් නොලැබුණු කෝවිඞ්-19 වසංගතය පැතිරීම වළක්වා ගැනීම වෙනුවෙන් නිවෙස් තුල කොටු වූ කාලයක් ගත කළෙමු. කෝවිඩ් -19 පැතිරීම පාලනය කිරීමේදී එය සැළකිය යුතු ආකාරයකින් සාර්ථක වූ බැව් පිළිගත යුත්තෙමු.

එසේ වූවත් මේ රට කෝවිඩ් -19 හේතුවෙන් බරපතල ආර්ථික අර්බූදයකට තල්ලූ වූ බැව් අද විවෘතව කතා කෙරෙන්නකි. එහි බර විශාල වශයෙන් කර ගැසීමට සිදුව ඇත්තේ පොදුවේ රජයේ හා පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවක සේවිකාවන්ටය. විශේෂයෙන් අපනයන ක්ෂේත‍්‍රයේ සේවක සේවිකාවන්ටය. මේ වන විට දළ වශයෙන් 30,000 ට වැඩි එවන් පිරිසකගේ රැකියා අහෝසි කර ඇත. ඉදිරියේ තවත් පිරිස් රැකියා අහිමි වීමේ අනතුරට මුහුණ දෙනු ඇත.

දැනට මේ මට්ටමින් හෝ රැකියා ආරක්ෂා වන්නේ කම්කරු ඇමති දිනේශ් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති කෝවිඞ්-19 බලපෑම් හා රැුකියා සම්බන්ධ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක කමිටුවේ සහ ජාතික කම්කරු උපදේශන කමිටුවේ මැදිහත්වීමෙන් පැමිණි තෙමසකට වලංගු සම්මුතිය හේතුවෙනි. ඒ සමග කෝවිඞ්-19 වසංගතය හේතුවෙන් කිසිදු සේවකයෙකු වැටුප් ලේඛනයෙන් ඉවත් නොකළ යුතු යැයි ආණ්ඩුව විසින් ගනු ලැබූ ප‍්‍රතිපත්තිමය ස්ථාවරයද විය.

රැකියා අහිමිවීමේ අවදානම යනු අලූත් රැකියා උත්පාදනය වන්නේ නැති බව සහතික කිරීමකි. එබැවින් ඉදිරි විරැකියාවද අප දැඩි සේ අවධාරණය කරන්නකි. එය අමතක කර යා නොහැක.

එවගේම, කෝවිඩ් -19 වසංගතයෙන් ලොවට ඉගැන්වූ වැදගත්ම පාඩම ලෙස අප දකින්නේ, ගෝලීය හා දේශීය නිෂ්පාදනයට හවුල්වන සියල්ලන්ගේ ජීවිත සුරක්ෂාව සහතික කිරීමේ ස්ථිර සමාජ රැකවරණ ක‍්‍රම තිබිය යුතු බවත්, විරැකියාව සඳහා මාසික දීමනාවක් සමග ඔවුන්ට රැකියා ලබා ගැනීමේ අවකාශ පුළුල් කිරීමේ වෘත්තීය පුහුණුවීම් පාඨමාලා සකසා දිය යුතුය යන කාරණාවත් ය.

ඒ අනුව, කෝවිඩ් -19 පාලනය කර ගැනීමෙන් පසු එළැඹෙන ඊළග යුගයේ පෞද්ගලික අංශයේ සියලූ සේවක සේවිකාවන් සඳහාත් විරැකියාවට හසුවන සියල්ලන් සඳහාත් සමාජ රක්ෂණය හා රැුකවරණය සඳහා අපි මෙලෙසින් යෝජනා ඉදිරපත් කරමු.

  1. පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ශ‍්‍රම බලකායට එකතුවන සියල්ලන්ට රැකියාවක් ලැබෙන තුරු ඔවුන්ගේ යැපීම වෙනුවෙන් මාසික විරැුකියා දීමනාවක් සහ ඔවුන්ගේ තේරීම අනුව කුසලතා වර්ධන ශිල්පීය පුහුණුවීම් පාඨමාලා ආණ්ඩුව විසින් ලබා දිය යුතු ය. ‘‘විරැකියා දීමනාව’’, ඉදිරි උද්ධමන තත්ත්වයන්ද සළකා වර්තමාන මාසික අවම වැටුපට සරිලන ලෙස රුපියල් 15,000 ක් විය යුතු යැයි අපි යෝජනා කරමු.
  1. පෞද්ගලික ක්ෂේත‍්‍රයෙහි සේවක සේවිකාවන් ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන් මුහුණ දෙන නුදුරු අනාගත අවදානම සමග මේ සමාජයේ ඇතිවන බරපතල අවිනිශ්චිතය වැඩිමනත් බලපාන්නේ විශ‍්‍රාම යෑමත් සමගින්ය. ඔවුන්ගේ විශ‍්‍රාමික ජීවිතය රැකගෙන යාම සඳහා ඔවුන්ට එකවර ලැබෙන සේවක අර්ථසාධක අරමුදලේ ඔවුන්ගේ සාමාජික තැන්පතු මුදලට අමතරව මාසික ‘‘සමාජ රැකවරණයක්’’ තිබිය යුතුය. ඒ සඳහා ඔවුන්ට මාසිකව රුපියල් 15,000 ක ‘‘සමාජ රැකවරණ’’ දීමනාවක් ලබා දිය යුතු යැයි අපි යෝජනා කරමු.
  1. සමාජ රැකවරණ දීමනාවන් ලබා දීම සඳහා නිත්‍ය අරමුදලක් පාර්ලිමේන්තු පනතකින් පිහිටු විය යුතු යැයිද, ඒ සඳහා සථාවර අරමුදලක් වෙනුවෙන් වාර්ෂිකව අපනයන නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ආයෝජන සඳහා දෙනු ලබන විවිධ බදු සහන මගින් ආණ්ඩුව අත හැර දමන ආදායමින් අවම සියයට 05 ක ප‍්‍රතිශතයක් නැවත සමාජ රැකවරණ අරමුදල සඳහා ලබා ගන්නා මෙන්ද අපි යෝජනා කරමු.

මෙම යෝජනා ඔබගේ මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධාන පොරොන්දු ලෙස වහා ප‍්‍රකාශයට පත් කරන මෙන් අපි මෙයින් ඉල්ලා සිටිමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435