විරෝධතා නිසා විදේශයේ සේවයකළ ලාංකිකයින් දෙදෙනෙක් රැකියාවෙන් ඉවතට

රුමේනියාවේ පැතිර යන සංක්‍රමණික විරෝධී සහ ජාතිවාදී උද්ඝෝෂණවල ඉලක්කයක් බවට පත්වූ ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකු සේවා කටයුතුවලින් ඉවත් කර ඇති බව රුමේනියානු මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සේවකයන් දෙදෙනා රුමේනියාවේ බේකරි නිෂ්පාදන කම්හලක සේවය කරමින් සිට ඇත.

රුමේනියාවේ නගරයක් වන ඩිට්‍රාවු නගරයේ ජනතාව අතර සංක්‍රමණික විරෝධී සහ ජාතිවාදී උද්ඝෝෂණ රැල්ලක් පැන නැගී අතර එයට විවිධ ආගමික සංවිධාන සහ දේශපාලන සංවිධානවල සහය ලැබෙන බව වාර්තා වේ. ඊට අමතරව රුමේනියානු රජයේ දුර්වල ප්‍රතිචාර සහ හංගේරියානු ආණ්ඩුවේ සහයෝගය මෙම විරෝධතාවලට හිමිවීම නිසා මෙම උද්ගෝෂණ දරුණු අතට හැරෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඩිට්‍රාවු නගරය හංගේරියානු ජාතිකයන් බහුතරයක් වෙසෙන නගරයක් සේ සැළකේ. අදාළ බේකරි නිෂ්පාදන සමගම රැකියා සඳහා බඳවා ගැනීමේ සමාගමක් හරහා ලාංකික කම්කරුවන් දෙදෙනෙකු සේවයට බඳවා ගෙන ඇත. නමුත් රුමේනියානු මාධ්‍ය වාර්තාකර ඇති පරිදි ඩිට්‍රාවු ග්‍රීක – කතෝලික පූජකවරයකුගේ නායකත්වයෙන් මෙහෙයවෙන ප්‍රාදේශීය ජනතාවගේ විරෝධයට මේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ඉලක්ක වී තිබේ.

බේකරි නිෂ්පාදන සමාගමේ කළමනාකරු පවසා ඇත්තේ ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනා නිෂ්පාදන වැඩ කටයුතුවලින් ඉවත් කර වෙනත් කටයුතු සඳහා යොදවන බවයි. එසේම කළමණාකරුගේ ප්‍රකාශය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ස්වදේශික ජනතාවට ශ්‍රී ලාංකික සේවකයන් ඔවුන්ගේ ආහාර ස්පර්ශ කරනු දැකීමට අවශ්‍ය වී නොමැති බවයි.

රුමේනියාවේ ඇගර්ප්‍රෙස් ප්‍රවෘත්ති ආයතනය වාර්තා කර ඇති පරිදි විරෝධතාවයේ යෙදෙන පිරිස් පවසා ඇත්තේ දැනට සංක්‍රමණිකයන් දෙදෙනෙක් පමණක් පැමිණ ඇති නමුත් පසුව විශාල පිරිසක් පැමිණ අවසානයේ කළු ජාතිකයන්ගෙන් තම නගරය පිරී යනු ඇති බවයි . එසේ පැමිණෙන සංක්‍රමණිකයන් තමන්ගේ සංස්කෘතිය මෙන්ම කොරෝනා වෛරසයද පතුරවනු ඇති බව ඩිට්‍රාවු ජනතාවගේ අදහස වී තිබේ.

මේ අතර, නගරය තුළ ක්‍රියාත්මක ජාතිවාදී උද්ඝෝෂණ සම්බන්ධයෙන් රුමේනියානු පොලීසිය පරීක්ෂණ ආරම්භ කරතිබේ. ලාංකික කම්කරුවන් දෙදෙනා නිෂ්පාදන කටයුතුවලින් ඉවත් කිරීමට බේකරි නිෂ්පාදන කර්මාන්තශාලා ගත් තීරණය ගැන රුමේනියාවේ ජාතික වෙනස්කොට සැලකීම්වලට එරෙහි කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජාතිවාදී නිර්ණායක යටතේ මේ පිළිබඳ විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිත බවයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435