විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් හෙට සිට සියලුම රාජකාරී කටයුතුවලින් ඉවතට

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සභාපති, එඩ්වඩ් මල්වත්තගේ මහතා සමග විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වෘත්තී ක්‍රියාමාර්ගය පිළිබද සිදුකරන ලද සාකචිඡාව

* විශ්විද්‍යාල අනධ්‍යයන සේවකයින් වෘත්තී ක්‍රියාමාර්ගයකට එළ‍ඹීමේ පසුබිම මොනවගේද?

අපි කාරණා 7ක් මුල් කරගෙන පසුගිය දෙසැම්බර් සිට පරිපාලනයට අපගේ ගැටළු දැනුම්දුන්නා. 13,000ක් වන අනධ්‍යයන සේවක ගැටළු ලිඛිතව පෙන්වාදුන්නා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති එක්ක මේ පිළිබඳව පෙබරවාරි 18 දා සාකච්ඡා කළා. එහිදී එම අවස්ථාවට සම්බන්ධවී සිටි උප සභාපති/නිලධාරී මණ්ඩලය ඇතුළු හැමෝම පාහේ මේ ප්‍රශ්නය තේරුම් අරන් ඉදිරියේදී මේවාට විසදුම් දිය යුතු බව කීවා. ඒත් එතනින් මේ කටයුතු ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිට බලයක් නෑ. ඒ නිසා එතුමා ඒවා ඉහළට දැනුම්දෙන බව කීවා. නැවත අප්‍රේල් 8 උසස් අධ්‍යාපන ඇමති සාකච්ඡා කළා. එතැනටත් සභාපතිත් සමග එකතුවී උසස් අධ්‍යාපන ඇමතිත් අපේ ගැටළු පිළිගත්තා. එහිදී තීරණය වුණේ මේවා මෙහෙම සාකච්ඡා කළාට වැඩක් නෑ කියලයි. මෙම ගැටළු විසඳීමට මුදල් ප්‍රතිපාදන වෙන්කර ගත යුතු නිසා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ යුතු බව තීරණය වුණා. ඒ අනුව මැයි 8දා අපි මුදල් ඇමති හමුවුණා. ඒත් එතනදී විධිමත් සාකච්ඡාවක්වුණේ නෑ. අපේ ප්‍රශ්නයය ඇහුන්කන්දුන්නේ නෑ. සල්ලිත් නෑ කීවා. ඒත් ජූනි මාසයේ වෙද්දි සලකලා බලමු කීවා.

* තාම සලකලා බැලුවේ නැද්ද?

නෑ. අපි මැයි 31 වන විට වැඩවර්ජනයකට සූදානම්ව සිටියත් ඒ වෙද්දි රටේ පැවති ගංවතුර හා ආපදා තත්ත්වයන් කෙරෙහි අවධානයට ලක්කොට මේක කල්දැම්මා. ඒ කියන්නේ තාවකාලිකව අත්හිටෙව්වා. ජුනි මාසේ අපි විසින් නැවතත් බලධාරීන්ට අපේ ඉල්ලීම් දැනුම්දුන්නා .ඒත් වගක් නෑ. ඒ නිසා තමයි පසුගිය ජූනි 13-14 දෙදිනේ සංකේත වැඩවර්ජනයක් කළේ.

* අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් මොනවාද?

පළමුවැනි ඉල්ලීම වු‍ණේ මාසික හිලව් දීමනාව වැඩිකරන ලෙස ඉල්ලීමයි. අධ්‍යයන කාර්යමණ්ඩලයට 100%ක දීමනාවක් දෙනවා. ජ්‍යේෂ්ඨ මහාචාර්යරයෙකුට 152%ක් දෙනවා. මේ අයට 100% දෙනකොට අපට පසුගිය මුදල් ලේකම් පී.බී ජයසුන්දර හරහා ලිපියක් යොමුකරමින් 20%ක් ලබාදෙන බවට දැනුම්දුන්නා. එතකොට නිර්ණායකයක් ගොඩනඟනවා අපට මේක දෙන්නේ අධ්‍යයන දීමනාවට සමගාමීව කියලා. එහෙම තියෙද්දී අධ්‍යයන කාර්ය මණ්ඩලයේ දීමනා වැඩිකරනවා. අපව සැලකිල්ලට ගන්නේම නෑ. අවුරුදු 30ක ඉතිහාසයක් ඉඳලා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලයට යම් වරප්‍රසාදයක් දෙනවානම් අනධ්‍යයන, පරිපාලන අයට දෙන යම් සම්ප්‍රදායක් තිබුණා. ඒක බිඳ වැටුණා.

*අනෙක් ඉල්ලීම් මොනවාද?

දෙවනි කාරණය අධ්‍යයන දීමනාවට අධ්‍යයන කාර්යමණ්ඩලයට 100%ක දීමනාවක් දෙද්දී ,ජ්‍යෙෂ්ඨ මහාචාර්යරයෙකුට 152%ක් දෙන බව කීවනේ. ඒකෙන් ඒ අයගෙන් මහාභාරකාර අරමුදලට,විශ්‍රාම වැටුපට දායකත්වය ලැබනවා. .නමුත් අපට එහෙම වෙන්නේ නෑ. ඒනිසා ලොකු අසාධාරණයක් නෑ. මේ අනුව එකම තලයේ සලකා දෙන දීමනාවක් කාණ්ඩ දෙකකට දෙවිධියකට සලකනවා.

* ඉතිරි ඒවා ගැන පැහැදිලි කළොත්?

සමස්ත ‍විශ්වවිද්‍යාල සේවක ප්‍රජාවට විශ්‍රාම වැටුපක් දීම අපේ අනෙක් ඉල්ලීමයි. අධ්‍යයන කාර්ය මණ්ඩලයට අර 100% හෝ 152%ක ට අදාළව තමයි විශ්‍රාම වැටුප ලැබෙන්නේ. ඒකත් එක්ක තමයි ගණනය කරන්නේ. ඒ නිසා ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු විශ්‍රාම යද්දී විශ්‍රාම වැටුපට දායකවෙලා තිබුණොත් අද ගන්න වැටුපට වඩා වැඩි මුදලක් ඒ අය විශ්‍රාම වැටුප ලෙස ගන්නවා. මේ විශ්‍රාම වැටුපට අනධ්‍යයන සියලුදෙනාම සම්බන්ධවෙලා නෑ. 1999 දි තමයි අපට අදාළව මේක ක්‍රියාත්මකවෙන්න පටන්ගන්නේ. අපට දෙන අර්ථසාධක දායක අරමුදලෙන් 8%ක් අරන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අරමුදලක් ගොඩනගා එයින් තමයි අපිට දෙන්නේ. ඉතාම සොච්චම් මුදලක් ලැබෙන්නේ. ඒ නිසා අපි කියන්නේ දැනට විශ්‍රාම වැටුප නොලැබෙන අයටත් එක්ක විධිමත් ලෙස සකස් කරන ලද විශ්‍රාම වැටුපක් දෙන්න කියලා. 4 වෙනි කාරණය සමස්ත විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට පොදු වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කරවා ගැනීම. සමහර විශ්විවිද්‍යාලවලට ඒ ඒ ආදායම් මට්ටමින් හදාගත්තු ඒවා තියෙනවා. ඒත් පොදු එකක් නෑ. 5 වන කාරණය නම් භාෂා ප්‍රවීණතා දීමනාවයි. අපි ඒක අවුරුදු 23ක් භුක්තිවින්දා. 2013 අත්හිටෙව්වා. එදා ඉඳලම අපි ආයෙම ඉල්ලනවා. තාම ලැබුණේ නෑ. අනෙක් ඉල්ලීම නම් නව බඳවා ගැනීමේ පටිපාටිය සකස් කරන ලෙස ඉල්ලීමයි. 6/2006 චක්‍රලේඛය අනුව පිරිසකට සකස් කළා. ඒත් විශ්වවිද්‍යාල පද්ධතියේ මේ බඳවාගැනීමේ පටිපාටිය වෙනස් වුණේ නෑ. අවසන් කාරණාව වන්නේ ව විශ්‍රාම යාමේ සීමාව දිගු කරවා ගැනීමයි. සාමාන්‍ය විශ්‍රාම කාලය අවුරුදු 60යි. එතනින් එහාට සේවා දිගු ඉල්ලන්න ඕන. සමහර අයට ලැබෙනවා. සමහර අයට නෑ. මේ ආකාරයට සේවා දිගු ලබාදීමට නිශ්චිත ක්‍රමවේදයක් ඕනෑ. මේක අවුරුදු 3ට වැඩි කාලයක් තිස්සේ කියනවා. කැබිනට් අනුමැතිය ලැබුණු බව කියනවා. මේවා මුදල් යන වැඩ නෙවෙයි. ඒකත් නෑ.

* මෙම පිරිසට මෙම ඉල්ලීම් ලැබුණහොත් රාජ්‍ය සේවයේ අනෙක් ක්ෂේත්‍රයන්හි වැටුප් හා වරප්‍රසාද සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් එන්නේ නැද්ද?

රාජ්‍ය සේවය හා අපි අතර විශ්වවිද්‍යාල ආරම්භයේ සිටම සුවිශේෂී වෙනසක් තියෙනවා. හැමදාම වරප්‍රසාද පරතරයක් තිබුණා.අපට වැටුප් පරතරයක් තිබුණා. රාජ්‍ය සේවයට විශ්‍රාම වැටුප් තිබ්බට අපට නෑ. අපේ අය විශ්‍රාම ගත්තම ඉතා අමාරුවෙන් ජීවත්වෙන්නෙ. විශ්වවිද්‍යාල සේවයට මුදල් වෙන්කරන්නේ අධ්‍යාපන වෙනුවෙන් වෙන්කරන මුදල්. රටේ නිෂ්පාදනයට උගත්තු බිහිකරන්නේ අපේ ආයතනය. අපි පර්යේෂණවල සහයවෙනවා. පුස්තකාල සේවා සපයනවා, ශිෂ්‍ය අධ්‍යාපනය ගොඩනඟනවා. මේ දේවල් ගැන හිතන්න ඕන.

* 13-14 දෙදින කළ සංකේත වැඩවර්ජනයෙන් පසුව මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තියෙනවද?

රජයේ අවධානය යොමුකරලා තියෙන්නේ ගැටළු ලිහන පැත්තට නෙවෙයි. ඒ අය උත්සාහ කරන්නේ මේකට විසඳුමක් නැතිව වෙන මාර්ගවලින් විසඳන්න. දැන් වෙද්දි ජාතික සේවක සංගමය හා නිදහස් සේවක සංගමය එක්ක වෙන වෙනම සාකච්ඡා කරලා අපිට ඉල්ලීම් නොදී වැඩපිළිවෙළ දියාරු කරන්න උත්සාහයක නිරතවෙනවා. ඒත් ඒක සාර්ථක නොවන බව පැහැදිලියි. එතනින් පසුව මොකුත් යොමුවෙලා නෑ.

* ඉදිරියේදී මොකද වෙන්නේ?

ඉදිරි ක්‍රියාමාර්ග හැටියට අපි දැනටමත් සියලුම විශ්වවිද්‍යාලවල වෘත්තීය සමිති ක්‍රියාධරයින් රැස්වී තීරණයක් අරන් තියෙනවා. 27 වන දින සිට සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත්වෙලා අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. සාධනීය සාකච්ඡා තුළින් යම් එකඟතාවක් ආවොත් සලකා බලනවා.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435