විශ‍්‍රාම හිමිකම ඉල්ලා බැංකු සේවකයෝ යළි අරගලයට

02 November 2013 – wedabima.lk

1996 වසරෙන් පසු අහිමි කර ඇති රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප දිනාගැනීමේ අරගලය යළි ආරම්භ වී ඇත.

2013 සැප්තැම්බර් මස 07 දින කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භව පෙළපාළියකින් ගොස් කොළඹ හයිඞ් පිටියේදී පැවැත් වූ රැළිය රාජ්‍ය බැංකු සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් අරගලය යළි සනිටුහන් කරන ලදි.

දිවයිනේ නන් දෙසින් පැමිණි දසදහසකට අධික බැංකු සේවක සේවිකාවන් සිය විශ‍්‍රාම වැටුප් ඉල්ලීම් පෙරදැරිව එදින හයිඞ් පිටියට රැස්වූ අතර විශේෂත්ව වූයේ රාජ්‍ය බැංකු සේවකයන්ගේ මේ ඉල්ලීමට සහාය පළකිරීම සඳහා විශ‍්‍රාමික බැංකු සේවකයන් සේම ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන පෞද්ගලික බැංකුවල සේවක සේවිකාවන්ද පැමිණ සිටීමය.

”‍අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කළ විශ‍්‍රාමය වහා දියව්”  යන්න අරගලයේ පොදු සටන් පාඨය විය. ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමතකර භාණ්ඩාගාරයේ අනුමැතිය සඳහා යවා ඇති එහෙත් තවමත් භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය ලැබී නැති විශ‍්‍රාම වැටුප් යෝජනාව දිනාගැනීම එම සටන් පාඨයට නිමිති වී ඇත.

ලංකා බැංකු සේවක සංගමයේ මව් සංගමයේ සභාපති වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2011.05.19 දින සහිතව එවන ලද දැනුම්දීම අනුව ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාව විසින් ලංකා බැංකුවේ සභාපතිවරයා හා කළමනාකාරීත්ව සමග කරන ලද සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සහිතව එම විශ‍්‍රාම වැටුප් යෝජනාව මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමුකර ඇත.

ලංකා බැංකුව විසින් ඉදිරිපත් කර ඇති විශ‍්‍රාම වැටුප් යෝජනාවේ විශේෂත්ව වනුයේ ඒ සඳහා සේවකයන් විසින් කිසිදු මූල්‍යම දායකත්වයක් නොදැක්වීමත්, බැංකුව විසින් ආරම්භ කරනු ලබන විශ‍්‍රාම වැටුප් අරමුදල මගින් අදාළ විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමය පවත්වාගෙන යෑමත්ය.

මීට සමගාමීව මහජන බැංකුවද විශ‍්‍රාම වැටුප් යෝජනාවලියක් සකසා ඇති අතර බැංකු සේවකයාගේ මූල්‍යමය දායකත්වයෙන් එය කි‍්‍රයාත්මක කරන බව සඳහන් කෙරී ඇත. එයට විරෝධය දක්වමින් බැංකු සේවකයන් ප‍්‍රකාශ කරන්නේ 1996 අහිමිකරන ලද විශ‍්‍රාම හිමිකම දායකත්ව විශ‍්‍රාම වැටුපක් නොවූ බවය.

එවක බැංකු වෘත්තිය සමිතිවල අරගලයක ප‍්‍රතිඵලයක් වශයෙන් 1956 වර්ෂයේදී තල්ගොඩපිටිය කමිටු වාර්තාව අනුව ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ සේවකයන්ට විශ‍්‍රාම හිමිකම ලැබී ඇති අතර එය නැවත 1972 වර්ෂයේදී අහිමි කෙරී ඇත. බැංකු වෘත්තීය සමිතිවල අරගලයක ප‍්‍රතිඵලයක් වශයෙන් 1976 වර්ෂයේදී නැවතත් විශ‍්‍රාම හිමිකම ලැබී ඇත.

ඊට නැවතත් නැවතීමේ තිත තැබී ඇත්තේ 1996 වර්ෂයේදීය. එවක පොදු පෙරමුණු ආණ්ඩුව එහිදී යෝජනා කර තිබුණේ එම වසරෙන් පසු රාජ්‍ය බැංකුවලට බඳවාගන්නා පිරිස්වලට හිමිවන්නේ දායකත්ව විශ‍්‍රාම වැටුපක් පමණක් බවය.

ලංකා බැංකු සේවක සංගමය ඊට තරයේ විරුද්ධ වෙමින් සිය අරගලය ඉදිරියට ගෙන ගිය අතර එහිම ප‍්‍රතිඵලයක් ලෙස 2011 වර්ෂයේදී ආණ්ඩුව යෝජනා කරන ලද සේවා නියුක්තියන්ගේ විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ පනත් කෙටුම්පතට විරුද්ධ වූයේ එම යෝජනා සැබෑ විශ‍්‍රාම වැටුපක් නොවන බව අවධාරණය කරමින්ය.

අනතුරුව වත්මන් ඉල්ලීමට අදාළ විශ‍්‍රාම වැටුප් යෝජනාක‍්‍රමය ලංකා බැංකු සේවක සංගමය මුල්වී සකස් කරන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුවේද එක`ගතාව ඇතිවය. වත්මන් ඉල්ලීම වන්නේ එසේ එක`ග වූ එම විශ‍්‍රාම වැටුප හිමිකර ගැනීමය.

මේ ඉල්ලීම සඳහා විශ‍්‍රාම වැටුපේ හිමිකම තිබූ ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අමතරව රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, ලංකා පුත‍්‍ර බැංකුව. ප‍්‍රාදේශීය සංවර්ධන බැංකු සහ ශී‍්‍ර ලංකා ඉතිරි කිරීමේ බැංකුව ද පෙළගැසී ඇත.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435