වෘත්තීය අයිතිවාසිකම් හැර කම්කරු පන්තියට වෙනත් සටනක් නොමැත-එය සිහියේ තබාගන්න!

සටන තිබෙන්නේ පාලකයන් සමග පමණි

පසුගිය 26 දා රාත්‍රියේ ලංකාව තුළ ඇතිවූ දේශපාලන අර්බුදයත් සමග රාජ්‍ය ආයතන වල සේවකයන් පක්ෂ ලෙස බෙදී තම සහෝදර සේවකයින්ගෙන් පළිගැනීම අරඹා ඇති බව වැඩබිමට වාර්තා වේ.

මෙම තත්ත්වය කිසිසේත්ම වෘත්තීයක නියැලි සිටින සේවකයන්ට නොගැලපෙන අතර, එය සමස්ථ කම්කරු පන්තියටම පහරක්ද වන්නේය.  පොලිසියේ ත්‍රස්ත විමර්ශන ඒකකයට (TID) අයත් කණ්ඩායමක් විසින් එම අමාත්‍යංශවල සිටින වෘත්තීය සමිති නායකයින් සමග එක්වී තම කාර්යාල වල කාමර ඇතුල් වී පරිගණක යන්ත්‍ර සහ ලිපි ගොනු  පැහැර ගෙන ගොස් ඇත.

රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ තම සහෝදර සේවකයින්ට සේවය වාර්තා කිරිමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. සමහර අමාත්‍යංශ, සංස්ථා හා මණ්ඩල වල තර්ජනය කිරීම් හා පහරදීම් ආරම්භ කර ඇත.

මෙයට හොඳම නිදසුන ඛණිජ තෙල් සංස්ථාවේ සිදුවූ අවසනාවන්ත තත්ත්වය,  තම දේශපාලන බලය වැඩපොල තුළට රැගෙන යාම නිසා එක් සහෝදර සේවකයකුගේ ජීවිතය අහිමි වී ඇති අතර, තවත් කිහිප දෙනකු රෝහල් ගත කිරීමට සිදුව ඇත.

මෙයට අමතරව තම වැඩපොල තුලට මැරයන් හා දේශපාලනඥයින් ඇතුල්වීමට ඉඩහැර තම සහෝදර සේවකයින්ට තර්ජනය කිරීම්, බියවැද්දීම් හා පහරදීම් දිගින් දිගටම සිදුකරනු ලබයි.

මෙය තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේදී පන්තිය වෙනුවෙන් මිස දේශපාලනය වෙනුවෙන් නොවන බව වැඩපොලේ සේවකයින් හොඳින් දැනගත යුතුය. දේශපාලන පැති මාරුවීම් මගින් සමස්ථ කම්කරු පන්තියට සෙතක් නොවන අතර, හෙන්චයියන් කිහිප දෙනකුට වාසි හා වරදාන වරප්‍රසාද ලැබෙන බව ඔබ හොඳින් දන්නා කරුණකි.

මෙයට හොඳම නිදසුන වනුයේ, රටේ ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් තම පක්ෂයට අයත් වෘත්තීය සමිති නායකයන් ජනාධිපති කාර්යාලයට කැඳවා මෙම තත්ත්වය වලක්වා ගන්නා ලෙස උපදෙස් දෙන ලදි.

අද රටේ ඇති වී ඇති තත්ත්වය ඡන්දයකින් දේශපාලන බලය මාරු වීමක් නොවන බව වැකරන පන්තියේ අය හොඳින් මතක තබාගත යුතුය. 2015 වර්ෂයේ දේශපාලන බලය හුවමාරු වූ අවස්ථාවේදී  පෞද්ගලික හා රාජ්‍ය අංශයේ කිසිඳු සේවකයකුට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට නොවීය.

එම තත්ත්වය සිහියේ තබා තම පන්තියේ අරමුණ වෙනුවෙන් සටන් කරනු වස්, දේශපාලඥයන්ගේ උවමනාවන් ඉටුකිරීම මගින් තම පන්තියේ ශක්තිය හීන කරනොගන්නා ලෙස වැඩබිම වන අපි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

තම කාර්යාලයේ, වැඩබිමේ තම පන්ති සගයන් ආරක්ෂා කර තම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම හැර කම්කරු පන්තියට වෙනත් සටනක් නොමැති බව වැඩබිම අවධාරණය කර සිටිමු.

වැඩබිම කර්තෘ මණ්ඩලය

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435