වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ කාන්තාවන් බල ගැන්විය යුතුයි – නිලන්ති රණසිංහ

උප සභාපතිනි – තැපැල් හා විදුලිසංදේශ නිලධාරීන්ගේ සංගමය

ඔබ වෘත්තී සමිති ක්ෂේත්‍රයට යොමුවෙන්නේ කොයි කාලෙද? මොන විදිහටද?

1996 අප්‍රේල් මාසේ 01 වෙනිදා තමයි මං තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවට ආවේ. 02 දා මං තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයට බැ‍‍දෙනවා. වැඩකරන ජනයාට වෘත්තීය සමිතියකින් තියෙන ප්‍රයෝජනය ගැන ඒ කාලෙ ලොකු වැටහීමක් තිබුණේ නෑ. ඒත් කාලයක් යද්දී සේවක ප්‍රශ්න වලදී, සේවක අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න, ආසාධාරණයකදී සාධාරණත්වයක් ඉටුකරගන්න මේකෙන් ලැබෙන පිටුවහල ටික ටික අවබෝධ වෙන්න ගත්තා.

ඒ විදිහට වෘත්තීය සමිති ව්‍යාපාරයක වැදගත්කම දැඩිව දැනුණු කාලයක් තිබුණද?

ඔව්. 1997දී තැපැල් ක්ෂේත්‍රයේ දැවැන්ත වෘත්තීය අරගලයක් දියත්වුණා. තැපැල් හා විදුලිසංදේශ නිලධාරීන්ගේ සංගමය තමයි ඒ අරගලයේ මූලිකත්වය ගත්තේ. ‘වෘත්තීය සමිති එකමුතුව’ක් ලෙස කටයුතු කළත් අපේ සංගමය තමයි නායකත්වය ගත්තේ. ඒ වෙද්දි මං සේවයට බැඳිලා අවුරුද්දයි.ගෙවමින් හිටියේ පරිවාස කාලයයි. පරිවාස කාලයේ සිටියදීම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධවී කටයුතු කළ නිසා මගේ රැකියාව අත්හිටුවනවා. ඒ වගේම දඬුවම් ලෙස වැටුප් වර්ධක කපාදමනවා. මේ අවස්ථාවේදී අපේ සංගමය මැදිහත්වී නියමිත පරිවාස කාලය වූ අවුරුදු 3 ගෙවුණාම සේවය ස්ථීර කරවාගැනීමටත්, කපාදමන ලද වැටුප් වර්ධක නැවත ලබාගැනීමටත් මැදිහත්වුණා. එතනදී සේවකයෙකුට වෘත්තීය සමිතියක තියෙන හයිය කොච්චරද කියන කාරණය මගෙ හිතට තදින් වැදුණා. මං මට ලබාදුන්නු සහයෝගයත් සමග වෘත්තීය සමිතිය කෙරෙහි තව තවත් ළංවී ක්‍රියාකාරීවුණා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට 2000 අවුරුද්ද වන විට ගම්පහ දිස්ත්‍රීක් ශාඛා ලේකම්වරිය ලෙස පත්වෙනවා. ඒ වෙද්දි ලංකාවේ ලාබාලතම කාන්තා ‍ශාඛා ලේකම්වරියක් වුණා නම් ඒ මම විතරයි. ඊට පස්සෙ සහකාර ලේකම්, සහකාර භාණ්ඩාගාරික වැනි විවිධ තනතුරු හෙබෙව්වා. ටික කලක් අපේ වෘත්තීය සමිතිය නින්ද්‍රශීලිව පැවතී ගිය අවුරුද්දේ නැවත මහ සමුළුව පවත්වා නිලධාරී මණ්ඩලයක් අලුතෙන් පත්කරගෙන අලුත් පිම්මකින් මේ ගමන යන්න පටන් ගත්තා. ඒ සමුළුවෙදි තමයි මම උප සභාපතිනිය විදිහට පත්වුණේ.

වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ ස්ත්‍රී නියෝජනය දකින්නට ලැබෙන්නේ අඩුවෙන්. ඒ ගැන මොකද හිතෙන්නේ?

කාන්තාවක් විදිහට පළමු අභියෝගය එල්ල වෙන්නේ පවුලෙන්. මොකද මොන රස්සාව කළත් පවුලේ මව ලෙස ඒ වගකීම ඉටුකළ යුතුවෙනවා. ඊළඟට රස්සාව ත් එහෙමයි. ඊටත් අමතරව වෘත්තීය සමිතියක තමාගෙම සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්න හා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරනවා යනු තවත් අතිරේක වගකීමක්.‍ මේ ඔක්කොම එකට දරාගන්නට බොහෝ දෙනෙකුට අමාරුයි. අනෙක් කාරණය නම් සමාජීය වශයෙන් එල්ලවෙන පීඩනයයි. ගැහැණියක් වුණාම ඉන්න ඕන මේ විදිහටයි කියලා හදලා තියෙනවනෙ. ඒකට පිටින් වැඩකරන්න ගියාම ‘ඔය ගෑනි ඕනවට වැඩියි’,’පැනලා දෙනවා’ගෑනු ඉන්න ඕන ගෑනුන්ගේ වැඩටික කරගෙන’වගේ කතා මතුවෙන්න ගන්නවා. පුරුෂාධිපත්‍ය තහවුරු වුණු සමාජයක පිරිමි විතරක් නෙවෙයි, ස්ත්‍රීන් පවා තමන්ගෙම සහෝදර ස්ත්‍රීයක වෙනුවෙන් පෙනී හිටිනවා අඩුයි. එහෙව් හේතු නිසා ස්ත්‍රීන් වෘත්තීය සමිතිවල ඉහළපෙල ක්‍රියාකාරීන් ලෙස සම්බන්ධ වෙනවා අඩුයි. ඒත් එහෙම විය යුතු නෑ. ස්ත්‍රීන් ඉදිරියට පැමිණිය යුතුයි.

ඔබ ඒ අභියෝග ජයගන්නේ කොහොමද?

මට ඉන්නෙ එක දරුවයි. ස්වාමියා වැඩකරන්නෙත් තැපැල් දෙපාර්තමේන්තුවේමයි. එයත් වෘත්තීය සමිති ක්‍රියාධරයෙක්. ඒ හින්දම සමාජ වැඩ,වෘත්තීය සමිති වැඩ කරන්න ගියාම පවුල තුළ සිදුවන අඩුපාඩු මගහරවා ගෙන අවබෝධයෙන් ක්‍රියා කරන්න මගේ පවුලේ උදවිය කටයුතු කරනවා. අනෙක් අතට මගේ පවුල ගත්තත් අම්මා ගුරුවරියක්. තාත්තා ග්‍රාම නිලධාරී කෙනෙක්. ඒ අයත් මං පොඩි කාලෙ ඉඳලම අනිත් අය වෙනුවෙන් සේවය කරන ඒ අය වෙනුවෙන් කතා කරන අය. ඒ හින්දා පවුලෙන් මේ වැඩකරන්න මට ලැබුණේ ලොකු රුකුලක්. අනිත් අතට සමාජීය වශයෙන් නම් කවුරු මොනව කීවත් මං තඹේකට මායිම් කරන්නේ නෑ. මං කරන කටයුත්ත නිවරදියි කියලා මගේ හිතට එකඟ නම් මං බයවෙන්නේ නෑ. අඩුම ගාණෙ මං පෙනී ඉන්න කෙනාවත් මං ළඟ ඉන්නවනේ කියන හැඟීමෙන් මං අනිත් අය වෙනුවෙන් වැඩකරනවා. ඒ හින්දා ඔය අභියෝග මට ඒ තරම් දැනුනේ නෑ.

බොහෝ වෘත්තීය සමිති යම් යම් දේශපාලන පක්ෂ හෝ සංවිධානවල කොටස්කාරයින් වෙලා ඉන්නවා.ඔබේ වෘත්තීය සමිතියත් එහෙමද?

මං මේ වෘත්තීය සමිතිය තෝරාගන්නට හේතුවුණේ දේශපාලන වශයෙන් දේශපාලන මතවාදයක් නොදරන හින්දයි. අපි රජයේ සේවකයින් ලෙස පවත්නා රජයේ නීති රීති හා ‍රෙගුලාසි එක්ක ඒ රජයට පක්ෂව කටයුතු කළ යුතුයි. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරද්දී මොන රජයක් ආවත් අපිට සාකච්ඡාවට යන්න වෙනවා.නැත්නම් හැප්පෙන්න වෙනවා. ඒත් කුමන හෝ දේශපාලන පක්ෂයක අතකොළුවක් වී ඇත්නම් රජය අප දෙස බලන දෘෂ්ටිකෝණය වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක කොටස්කාරයින්වීම වෘත්තීය සමිතියක ජවයට හානියක් කියලයි මට හිතෙන්නේ.

මේ වෙද්දි තැපල් හා විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තියෙන ගැටළු මොනවාද?

ගැටළු කිහිපයක්ම තියෙනවා.6/2006 වැටුප් විෂමතා ඉවත්කිරීමේ චක්‍රලේඛය තැපැල් සේවය අවුල් ජාලයක් බවට පත්කරලා තියෙනවා. සාමාන්‍යයෙන් තැපැල් දෙපාර්තමේන්තු‍වේ නිලධාරීන් බඳවා ගැනීම සිද්ධවෙන්නේ 11 වන පෙළ තැපැල් නිලධාරීන් හැටියටයි. ඒත් ඒ චක්‍ර ලේඛය අනුව 111 වන පෙළක් හඳුන්වලා දී තියෙනවා. 11 වන පෙළ නිලධාරීන් ලෙස දැන්වීම් දාලා ඒ ලියුමම ගහලා සේවයට බඳවා ගත්තත් වැටුප් තලය ලබාදීමේදී 111 වන පෙළ සැලකිල්ලට අරන් වැටුප් තීරණය කරනවා. ලිපිකරු සේවයේ 111 වන පෙළක් තිබුණත් ‍තැපැල් සේවයේ එහෙම නෑ. ඒ මොකද කියනවානම් තැපැල් සේවයේ මෙම මට්ටම කළමානාකාර තත්ත්වයක්, මූල්‍ය පාලනයක් ආදිය පවා සිද්ධවෙනවා.ඒ නිසාම මෙම චක්‍රලේඛයෙන් අපේ සේවයට ලොකු අසාධාරණයක් වෙනවා.

අනෙක් කාරණය නම් 11 වන පෙළ නියෝජනය කරන නිලධාරීන්ට වැටුප් වර්ධක 7ක් පසු කළාම පවත්වනු ලබන පරීක්ෂණයකින් සමත්වී 1 වන පෙළ නිලධාරීන් ලෙස සේවය කිරීමට අවස්ථාව උදාවෙනවා. පහුගිය අවුරුද්දේ එහෙම සමත්වුණු 700 ක පමණ පිරිසක් 1 වන පෙළට උසස්වීම් ලැබුණා. එහෙත් 1992-05-20 න් තැපෑල ඒකාබද්ධවීමට පෙර බඳවාගෙන සිටින පිරිස් වලින් විශාල ප්‍රමාණයක් මෙම විභාගය අසමත්. ඒ නිසා ඒ අයට ජ්‍යෙෂ්ඨත්වය සලකා 1 වන පෙළට යන්න අවස්ථාව ලබාදිය යුතුයි කියලා මතයකුත් තියෙනවා. ඒකත් එක්ක අලුත් නිලධාරීන් කියන්නේ වැටුප් වර්ධක 7ක් ලැබුණම කොහොමත් හම්බවෙන නිසා විභාගය සමත්වීම අනිවාර්ය නෑ කියලයි. මෙම මතභේදය නිසා තැපැල් සේවය තරමක් අවුල් සහගත වෙලා තියෙනවා.

ඔබේ වෘත්තීය සමිතිය පෙනී ඉන්නේ මොන මතය වෙනුවෙන්ද?

සැබවින්ම අපේ වෘත්තීය සමිතිය තුළ 11 වන පෙළ තැපැල් නිලධාරීන්ගේ සිට නියෝජ්‍ය තැපැල්පතිවරුන් දක්වාම පිරිස් නියෝජනය වෙනවා. ඒ වගේම 1992ට පෙර සේවයට ‘තැපැල් ස්ථානාධිපතිවරුන්’ලෙස එක්වුණු අයත්, ඉන් පසුව තැපැල් සේවා නිලධාරීන් ලෙස (11) එකතුවුණු අයත් ඉන්නවා. ඒ නිසාම කොයි මතය වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න එකඟතාවක් තාමත් නෑ. කොහොම වුණත් එළඹෙන මස පළවෙනි විධායක කමිටුවේදී පැහැදිලි තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් කිව යුතු යමක් තියෙනවද?

2013 වසරේදි තැපැත් සේවයට බඳවාගනු ලැබූ 1100 ක පමණ පිරිසෙන් 80%ක්ම ස්ත්‍රීන්. මේ අයගෙන් 950 ක පමණ පිරිසක් අපේ වෘත්තීය සමිතිය නියෝජනය කරන බව කියනවා. ඒත් සංගමයේ විධායක කමිටුව නියෝජනය කරන්නේ ස්ත්‍රීන් 5 දෙනෙකු විතරයි. වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ අනාගතය රැඳී තියෙන්නේ තරුණ පරම්පරාව අතේ. ඒ තරුණ පරම්පරාව 80%ක් ස්ත්‍රීන් වෙලා ඒ ස්ත්‍රීන් මේ වගකීම් අතට අරන් කටයුතු නොකළොත් අනාගතයේදී මේක කඩාවැටෙන එක වළක්වන්න බෑ. ඒ නිසා වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ කාන්තාවක් බලගැන්වීමට අපි ‘සහයෝගිතා මධ්‍යස්ථානය’ත් එක්ක එකතුවී ‘වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය බලගැන්වීම’යන මැයෙන් වැඩසටහන් 2ක් ක්‍රියාත්මක කළා. යාපනය ප්‍රදේශයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය නියෝජනය වෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ නිසාම ඊළඟට අපි යාපනය කේන්ද්‍ර කරගෙන තවත් වැඩසටහනක් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ස්ත්‍රීය දායකත්වය වැඩිකර නොගෙන මේ ගමන ඉදිරියට යන්න අමාරුයි.

 

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435