වෘත්තීය සමිති ක්ෂේත්‍රයට නොමසුරු දායකත්වය දුන් අනුලා මහත්මිය දිවි ගමනට සමුදෙයි

අනුලා රත්නායක මහත්මිය ගුවන් විදුලි මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස 1979 සිය වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ආරම්භකළ අතර ඉන් අනතුරුව සංගමයේ කමිටු සාමාජිකාවක් ලෙසත් අනතුරුව උප ලේකම් තනතුරේත් ඉන් පසුව ලේකම් තනතුර දක්වා සිය දක්ෂතාවය මත වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ප්‍රගමනයට සිය දායකත්වය සැපයූ ක්‍රියාකාරිණියකි.

ජාතික සේවක සංගමයේ මව් සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකාවක් ලෙසද කටයුතු කළ අනුලා මහත්මිය නිදහස් වෙළෙඳ කලාපයේ ප්‍රගති සංගමයේ සංවිධායකවරියක් ලෙසද කටයුතු කරනු ලැබීය.

2000 වසරේ සිට මේ දක්වා NUMS/NUSS යන සංගම්හි සංවිධායක තනතුර හෙබවූ ඇය විශේෂයෙන් අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කිරීමේදී කැපී පෙනෙන දක්ෂතාවයක් හිමි තැනැත්තියකි.

සහයෝගිතා මධ්‍යස්ථානය හා එක්ව දීර්ඝ කාලයක් වෘත්තීය සමිති දියත් කළ වැඩසටහන් සංවිධානය කිරීමත්, ඒ සඳහා සහයෝගය දැක්වීම මෙන්ම සම්බන්ධීකාරක ලෙස කටයුතු කරමින් සිය දායකත්වය සැපයූ අතර නිවේදන කාර්ය සඳහාද සම්බන්ධවී කටයුතුකරන ලදී.

එමෙන්ම වැඩබිම හා වේලෙයිත්තලම් වෙබ් අඩවි විසින් සංවිධානය කරන ලද සංවාදශීලී සම්මන්ත්‍රණ සියල්ලක්ම සඳහා ඇය සහභාගී වූ අතර ඊයේ දිනයේ තිඹිරිගස්යාය ජානකී හෝටලයේ පැවති වැඩබිම/වේලෙයිත්තලම් සයවන සංවාදශීලී සම්මන්ත්‍රණය සඳහාද ඇය සහභාගි වී සම්මන්ත්‍රණය පැවැත්වීම සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වයද අප වෙත පිරිනමන ලදී.

කෙසේ නමුත් ඊයේ දිනයේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අනුලා මහත්මිය රෝහල්ගත කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්වී තිබේ.

වෘත්තීය සමිති ක්ෂේත්‍රයට ක්‍රියාකාරී කාන්තා නියෝජනයක් නොමැති වකවානුවක වෘත්තීය සමිති ක්ෂේත්‍රයට අවතීරණය වී ඉතා දිගු කාලයක් ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස සිය ශ්‍රමය මෙන්ම කාලය කැපකල කාන්තාවක් ලෙස අනුලා මහත්මිය වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ සැමගේ කතිකාවට ලක්වූ තනැත්තියක් වී හමාරය. ඇයගේ වෙන්වීමෙන් ඇතිවන හිඩස කිසිදා කිසිවෙකුට පිරවීමට නොහැකිවන්නා සේම ඇය වැනි කාන්තාවන්ගේ නාමය කිසිදා කිසිවෙකුගේ සිතින් වියැකී නොයනු ඇත.

අනුලා රත්නායක මහත්මියනි ඔබට නිවන් සුව!

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435