වෘත්තීය සමිති මුලධර්ම – සේවකයන්ගේ දෑසින් වෘත්තීය සමිතිය දැකීම!

එස්.එච්.ඒ.මොහමඩ් 

වෘත්තීය සමිති වූකලි සිවිල් සමාජය තුළ පවත්නා විශාලතම සංවිධිත කණ්ඩායම යි. රටේ ශ‍්‍රම බලකාය සහ ජනතාව සම්බන්ධ කාරණාවල දී එය ඉටු කළ යුතු වැදගත් කාර්ය භාරයක් පවතියි. එහි  වැදගත්කම සහ අන්තර්ගත හැකියාවන් ඊට හානි කළ නොහැකි තරමට විශාල යි. මේ නිසා, ජනගහනයේ ඉරණම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරන මෙවැනි බලගතු සමාජ-ආර්ථික සිවිල් සමාජීය කණ්ඩායමක් නිසැකව ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට සහ මග පෙන්වීමට යටත් කළ යුතු ය යන්න අවිවාදිත යි.

 

වෘත්තීය සමිතියකින් ප‍්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරෙන්නේ එය නියෝජනය කරන සේවකයන් වෙනුවෙන් පෙනී සිටීම යි. එය සේවකයන්ගේ සහ පොදු සමාජයේ ආර්ථික, සමාජීය සහ දේශපාලනික අභිවෘද්ධිය උදෙසා පරිශ‍්‍රම දැරිය යුත්තේ එබැවිනි. සූරා කෑමට එරෙහි ස්වයං ආරක්ෂකයක් ලෙස, සිය ජීවන තත්ත්වයන් වැඩි දියුණු කර ගැනීමට ස්වයං සහායකයක් ලෙස සේවකයන් යොදා ගන්නා සංවිධානයක් වන වෘත්තීය සමිතිය සේවකයන් බල ගැන්විය හැකි සාර්ථක ම උපකරණය බව ලොව පුරා සනාථ වී හමාර ය.

 

ශ‍්‍රී ලාංකිකයන් සියවසකට ආසන්න කාලයක් වෘත්තීය සමිති අත්දැක ඇත. එහෙත්, දෛනිකව අභියෝගයන් මතුව එන වේගයට සමාන වේගයකින් සමිති තමන් ශක්තිමත් කරති යි හෝ තම අව්‍යාජ උත්සුකතාවන් වෙනුවෙන් සමිති ඉදිරිපත් වෙති යි සියලූ සේවකයෝ සැබවින්ම විශ්වාස නොකරති. වෘත්තීය සමිති පිළිබඳ ජනතා විශ්වසනීයත්වය බරපතළ ලෙස අඩු වීමක් ද පවතී. අවාසනාවකට මෙන් මෙය සේවා යෝජකයන් ගෙන යන සමිති විරෝධී ප‍්‍රචාරක ව්‍යාපාරයක් පමණක් නොව, අද පිළුණුවී  පවතින වත්මන් සමිතිවාදය පිලිබඳව සමාජයේ පවතින පොදු සංකල්පමීය වැටහීමත්   සේවකයින් තුල පුළුල් සැක සංකා උපදවීමට තුඩුදී ඇත.

 

සමිතිවලින් ඉතා බොහෝ සංඛ්‍යාවක් තවමත් කළමනාකරණය සහ පාලනය වන්නේ සංඛ්‍යාත්මකව සුළු නායකයන් කණ්ඩායමක් හෝ ඇතැම් විට එක් ”ලොක්කෙකු හෝ Bossලා” අතිනි. නායකයන් කෙරෙහි කේන්ද්‍ර ගත වුණු එවැනි සංවිධාන පිළිබිඹු කරන්නේ නූතන සමාජය පාලනය වන සහ සමිතිවාදය පිළිබඳ සංකල්පයේ හරය වන සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මූලධර්මයට නුහුරු නුපුරුදු යල් පිනූ වැඩවසම්වාදී භාවිතාවක අවශේශයන්ය.

 

වෘත්තීය සමිති අද දින මුහුණ දෙන ප‍්‍රශ්නවලට අදාළ බොහෝ විසඳුම් තිබෙන්නේ ජනගහනයේ අතිමහත් කොටසක් අතර පොදුවේ පවත්නා මෙම අවිශ්වාසය සහ අතෘප්තිය පිළිබඳ හැඟීම තුළ ගැඹුරෙහි ම සැඟවී ගෙන ය.

 

සමිති ප‍්‍රජාතන්ත‍්‍ර කිරීම හා මුලධර්ම ගැන අප විමසා බලන්නේ මෙම පසුබිම තුළ ය. වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු සිදුවීම් මාලාවක් ධනාත්මකව කුළු ගැන්වී හට ගන්නා අවසන් ඵලය යි. රික්තයක් තුළ හෝ අන්‍යෝන්‍ය රඳා පැවැත්මෙන් යුතු සාධකවලින් හුදෙකලාව වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍ර කිරීම පිළිබඳ ගැටලූව විසඳිය නොහැකි වන්නේ එබැවිනි. සමිති සැබවින්ම ප‍්‍රජාතන්ත‍්‍ර කිරීමට නම් මෙම පූර්වාවශ්‍යතා සාධනීයව සපුරා ලීම අනිවාර්ය වේ. මෙම පූර්වාවශ්‍යතා හැඩ ගැස්වීමට දායක වන හේතු කවරේ දැයි වඩා පරිස්සමින් සොයා බැලීම ද ප‍්‍රයෝජනවත් සහ වැදගත් වනු ඇත.

”වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ” අවසන් ඵලය ව්‍යුහාත්මකව විමසා බලන විට දැකිය හැකි වන්නේ එය මූලික අංග ත්‍රිරිත්වයකින් සමන්විත වන බවයි. එනම්,

 

1.            වෘත්තීය සමිතිවාදය පිළිබඳ කිසි දා අත්හල නොයුතු මූලික මූලධර්ම මාලාවකට ඇති අඛණ්ඩව කැප වීම.

 

2.            සාමූහිකත්වය පිළිබඳ මනා හැඟීමක් සහිත දැනුවත්, සවිඤ්ඤාණක සහ ප‍්‍රතිචාර දක්වන සහ දැක්වීමට උත්සුක සාමාජිකත්වය.

 

3.            වෘත්තීය සමිති සාමාජිකත්වය ඵලදායක ලෙස සවි බල ගැන්වීම.

 

 

 

1.            වෘත්තීය සමිතිවාදය පිළිබඳ කිසි දා අත්හල නොයුතු මූලික මූලධර්ම මාලාවකට ඇති අඛණ්ඩව කැප වීම

 

වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදය යථාර්ථයක් බවට පත් වීමට නම් මාර්ගෝපදේශක මූලධර්ම ලෙස සලකනු ලබන අවම සමාදර්ශක කට්ටලයක් ඊට අවශ්‍ය වේ. සමිති ව්‍යවස්ථාවල අන්තර්ගත තාක්ෂණික නීතිරීතිවලින් පමණක් තිරසර අර්ථාන්විත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සහතික කළ නොහැකි ය. වෘත්තීය සමිතිවාදය පිළිබඳ මූලික මූලධර්ම කට්ටලයකින් ඒවා ඌනපූරණය විය යුතු ය. සැබෑ වෘත්තීය සමිතිවාදයේ මං තරු බවට පත් විය යුතු මෙම මූලික මූලධර්ම මෙසේ වේ:

 

 

1.            සහයෝගිතාව

2.            ස්වාධීනත්වය

3.            ප‍්‍රජාතන්ත‍්‍රවාදය

4.            එක්සත්කම

5.            වගකීම

 

 

සහයෝගිතාව

 

සහයෝගිතාව වෘත්තීය සමිතිවාදයේ ආත්මය විය යුතු ය. අන්‍යෝන්‍ය සහබන්ධනයෙන් තොරව සැබෑ වෘත්තීය සමිති ව්‍යාපාරයකට පැවතිය නොහැකි ය. සහයෝගිතාව යනු එකිනෙකා උදෙසා නැගී සිටීමට සහ සේවකයන් පීඩාවට පත් කරන ශ්‍රම සූරා කෑමට එරෙහිව ඒකාබද්ධ ක‍්‍රියාවේ නියැලීමට පවත්නා සූදානම යි. සහයෝගිතාව යනු ආර්ථිකව දුබලයාගේ ශක්තිය යි.

 

”එකා සැමටත් සැමා එකාටත්” යන වැකිකඩ වෘත්තීය සමිතිවාදය පිළිබඳ මෙම මූලික මූලධර්මයේ අර්ථය ප‍්‍රශස්ත ලෙස ප‍්‍රකාශයට පත් කරයි. මෙය පටු ආකාරයෙන් තමන්ගේ සමිතියේ සාමාජිකයන්ට පමණක් අදාළ කළ යුතු නො වේ. එය සංවිධානීය සීමා මායිම් පමණක් නො ව ජාතික දේශ සීමා ද ඉක්මවා යා යුතු ය. එය වූකලි ලොව පුරා සේවක සංවිධාන එකට බැඳ තබන බැඳීමකි. මේ නිසා සමිතියක් හැම විට ම අනෙක් සේවකයන්ගේ සංවිධාන කරන අරගලවලට සහාය දීමට කැමැත්තෙන් සිටිය යුතු ය.

 

අන්ත දරිද්‍රතාවේ සහ අපේක්ෂා භංගත්වයෙන්  ජීවත් වන විරැකි සහ ඌන සේවා නියුක්ත ජනතාවන් ගැන වෘත්තීය සමිති සැලකිලිමත් විය යුතු ය. සේවයේ යෙදී සිටින අය රැකියා විරහිතයන් වෙනුවෙන් නැගී සිට සිය සහයෝගිතාව ඔවුන් කරා පැතිරවිය යුතු ය. සමිති ව්‍යාපාරය සියලූ සේවකයන් ආරක්ෂා කිරීමට බැඳී සිටී.

 

 

ස්වාධීනත්වය

 

වෘත්තීය සමිතිවාදය පැන නගින්නේ – “තම අයිතිවාසිකම් උදෙසා අනෙකුන් සටන් වදිති යයි අපේක්ෂා කළ නොහැකි බවත්, තම ඉරණමේ ස්වාමියා තමන් ම බවත් ය” යනන් පිළිබඳව සේවකයන් සවිඤ්ඤාණක වන විට ය. ස්වයං නිර්ණය ආත්ම කොට ගත් සංවිධානයක් වන සමිතිය බාහිර බලවේගවලට ඒ මත ආධිපත්‍යය දැරීමට කිසි දා ඉඩ නො දිය යුතු ය. සියලූ තත්ත්වයන් තුළ දී එහි ස්වාධීනත්වය දැඩි ලෙස ආරක්ෂා කළ යුතු ය. රජයේ හෝ දේශපාලන පක්ෂවල මැදිහත් වීමෙන් සහ පාලනයෙන් නිදහස් වීමට සමිතිවලට හැකි විය යුතු ය. සමිතිවල මෙහෙවර වන්නේ, වඩා යහපත් ශ‍්‍රම තත්ත්ව සහ සමාජීය ව්‍යවස්ථා ද වෘත්තීය සමිති අයිතිවාසිකම්වලට ගරු කිරීම ද ලබා ගැනීමට වැර වදිමින් රජයන්ට පීඩනය යෙදීම යි. රජයන්ට යටත් වන්නේ නම් ඒවාට කිසි දා මෙම කර්තව්‍යය ඉටු කළ නොහැකි ය.

 

එසේ ම, වෘත්තීය සමිති දේශපාලන පක්ෂවලින් නිදහස් විය යුතු ය. සිය ස්වායත්තතාව සීමා විය හැකි දේශපාලනික බැඳීම්වලින් ඒවා නිදහස් විය යුතු ය. මීට හේතුව සරල ය: තරග වදින සෑම දේශපාලන පක්ෂයක් ම කාර්මික, කෘෂිකාර්මික සහ රාජ්‍ය සේවයේ සේවකයන් මෙන් ම වෘත්තීයවේදීන්, ශිෂ්‍යයන්, ව්‍යාපාරිකයන් යනාදි සමස්ත සමාජ පරාසයේ ම පිළිගැනීම දිනා ගැනීමට උත්සාහ කරයි. මේ නිසා, පොදු වුවමනාකම් පැවතිය හැකි නමුත්, සේවකයන් උදෙසා කතා කරන්නා වන සමිති ව්‍යාපාරයේ අරමුණු දේශපාලන පක්ෂවල වේදිකා සමග අනන්‍ය වන්නේ බෙහෙවින් අඩුවෙනි. දේශපාලන පක්ෂයේ හුදු උපාංගයක් හෝ සම්පේ‍්‍රෂණ පටියක් බවට පත් වන්නේ නම් වෘත්තීය සමිතිවල අරමුණු බරපතළ ලෙස වෙනතකට යොමු විය හැක්කේ එබැවිනි.

 

කෙසේ වුව ද, දේශපාලන පක්ෂවලින් ස්වාධීන වීම පිළිබඳ මූලධර්මිය පිළිපැදීම යන්නෙන් සියලූ දේශපාලනික ක‍්‍රියාකාරකම්වලින් සහ දේශපාලන පක්ෂ සමග සියලූ සම්බන්ධතාවලින් වැළකී සිටීමට වෘත්තීය සමිතිවලට සිදු වන්නේ ය යන්නක් අදහස් නො වේ. වෘත්තීය සමිතියක් සාර්ථක වීමට නම් දේශපාලනයේ නියැලිය යුතු ම ය.

 

නීති පද්ධතියෙන් සේවකයන්ගේ වුවමනාවන් ඵලදායක ලෙස ප‍්‍රවර්ධනය සහ ආරක්ෂා කරන බව සහතික කරනු පිණිස වැඩ කරන ජනතාවට පක්ෂව දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීමට සහ ඒවා වැඩකරන පන්තියේ අරමුණු සාක්ෂාත් කරවනු වස් පෙලගස්වනු පිණිස  වෘත්තීය සමිති පරිශ‍්‍රම දැරිය යුතු ය. මේ නිසා, සමිතිවල පරමාර්ථයන්හි ප‍්‍රගමනය සඳහා දේශපාලන පක්ෂවල අදහස් විමසීමට සහ ඒවා සමග තාවකාලික සන්ධාන ගොඩ නගා ගැනීමට පවා සිදු විය හැකි ය. එහෙත් එවැනි සම්බන්ධතා ස්වාධීනත්වය පිළිබඳ උත්තරීතර මූලධර්මයට හැම විට ම ගරු කළ යුතු ය. සමිතිය සිය දේශපාලනික ක‍්‍රියාකාරකම්වල දී නිර්පාක්ෂිකව සිටිය යුතු ය. කිසි ම පක්ෂයකට වෘත්තීය සමිති ව්‍යාපාරය මත ආධිපත්‍යය දැරිය නොහැකි ය. සමිති විසින් දේශපාලන පක්ෂ වැඩකරන පන්තියේ අරමුණු වෙනුවෙන් පමණක් යොදාගනු මිස පක්ෂ වලට දර දිය ඇදීම, දන්කුඩු  වරධාන  බුදීමල හෝ ඒවායේ සුවච කීකරු යටහත් පහත් බළල් අත් බවට පත් නොවිය යුතුය.

 

වෘත්තීය සමිතිය සේවා යෝජකයාගෙන් ද ස්වාධීන විය යුතු ය. වෘත්තීය සමිතිය පිහිටුවීමට බලපෑ අතිමූලික හේතුව කළමනාකාරිත්වයේ බලයට එරෙහිව සේවකයන්ගේ ප‍්‍රතිබලවේගයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව යි. කළමනාකාරිත්වයේ අනුග‍්‍රහ ලබන ”යටහත්” නොහොත් ”සුරතල්” වෘත්තීය සමිති ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමය අතර ගැටුමේ දී සේවකයන් ගේ වුවමනාවන් නියෝජනය කිරීම සහ ආරක්ෂා කිරීම වළක්වයි.

 

වෘත්තීය සමිතිය ආගමික සංවිධානවලින් ද ස්වාධීන විය යුතු ය. එය සිය සාමාන්‍ය සාමාජිකයන් අතර සිටින සියලූ ආගමිකයන්ට ගරු කළ යුතු ය. එමෙන් ම, වෘත්තීය සමිතිය පුද්ගලයන්ගේ හෝ පවුල්වල වුවමනාවන්ට යටත් නොකළ යුතු ය. එය සේවකයන්ගේ සංවිධානයක් මිස කම්කරු ස්වාමීන්ගේ පවුලේ ව්‍යාපාරයක් සතු පෞද්ගලික දේපොළක් නො වේ.

 

කිසි යම් වෘත්තීය සමිතියක් සැබවින්ම  සිය අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අදහස් කරන්නේ නම් රජය, දේශපාලන පක්ෂ, සේවා යෝජකයන්, ආගමික ආයතන වේවා වෙන යම් ඇපකාර පියෙකු වේවා කිසිදු බාහිර බලවේගයක මෙහෙයවීම, පාලනය හෝ භාරකාරත්වය යටතට පත් නො විය යුතු ය. එය සිය නිවහන තුළ ස්වාමියා විය යුතු ය. එය මෙහෙයවිය යුත්තේ සහ පාලනය විය යුත්තේ සේවකයන් විසින් පමණකි. එය ප‍්‍රතිචාර දැක්විය යුත්තේ ඔවුන්ගේ වුවමනාවන්ට පමණකි.

 

ස්වාධීනත්වය පිළිබඳ මූලධර්මය පූර්ණ ලෙස සාක්ෂාත් කර ගැනීමට සමිතියේ මූල්‍යමය ස්වායත්තතාව ද අවශ්‍ය වේ. සිය සාමාජිකයන්ගේ දායකත්වයන් මගින් සිය වියදම් සපයා ගැනීමට වෘත්තීය සමිතිය සෑම පරිශ‍්‍රමයක් ම දැරිය යුතු ය. එවිට ඊට බාහිර සම්පත් සොයා යාමට සිදු නො වේ. පිටස්තර මුදල් කෙරෙහි බරපතළ ලෙස බලාපොරොත්තු තබන සමිතියකට පහසුවෙන් සිය දේශපාලනික ස්වාධීනත්වය අහිමි විය හැකි ය. එම නිසා, හොඳ ම බාහිර මිතුරන්ගෙන් වුව සහාය ලබා ගත යුත්තේ ගොඩනැගෙන කාල පරිච්චේදයේ දී හෝ හදිසි අවස්ථා සමයන්හි දී සමිතියේ සාමාජික ගාස්තුවලට ඌනපූරකයක් ලෙස තාවකාලිකව පමණකි. හැම විට ම පිටස්තර සහාය ලබා ගත යුත්තේ සමිතියේ සම්පත් ජනක බලය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව පමණකි. එවිට එවැනි සහාය හැකි කෙටි ම කාලය තුළ අනවශ්‍ය තත්ත්වයට පත් වන්නේ ය.

 

සමිතියක් පරිණත තත්ත්වයට ළඟා වන්නේ, ස්ථාවරත්වය සාක්ෂාත් කර ගන්නේ සහ පූර්ණ ලෙස ස්වාධීන වන්නේ එය තමන්ගේ ම සම්පත් කෙරෙහි විශ්වාසය තබන විට පමණකි. ස්වයං මූල්‍ය සම්පාදනයෙන් තොරව වෘත්තීය සමිති ස්වායත්තතාවක් පැවතිය නොහැකි ය!

 

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය

 

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට කැප වීම අත්‍යවශ්‍ය පූර්වාවශ්‍යතාවකි. අපට වාතය අවශ්‍ය වන්නා සේ සමිතිවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍ය ය. වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්නෙන් අදහස් වන්නේ: සමිතියේ ක‍්‍රියාකාරකම්වල දී පෞද්ගලික වරප‍්‍රසාදවලින් හෝ අසමාන ලෙස සැලකීම්වලින් තොරව සියලූ සාමාජිකයන්ට සමාන අයිතිවාසිකම් මෙන් ම යුතුකම් ද තිබෙන බව යි. සියලූ ප‍්‍රධාන තීරණ ගන්නේ සාමාජිකයන්ගේ බහුතර ඡුන්දයෙන්, නමුත් සුළුතරයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරමිනි. බහුතරයකට සුළුතරයක් මැඩ පැවැත්විය හැකි බවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් අදහස් නො වේ.

 

සමිති නායකයෝ තමන් විසින් ම පත් වනවා නො ව, රහස් ඡන්දය මගින් සාමාජිකයන් විසින් සහ ඔවුන් අතරින් වාරිකව තෝරා පත් කර ගැනෙති. ඔවුහු සිය වරම උරුමව  සිටින තම සාමාජිකයන් කෙරෙහි වග වෙති. ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෘත්තීය සමිති ව්‍යාපාරයේ දී නායකයන් යනු ස්වාමීන් නො ව සාමාජිකයන්ගේ සේවකයන් ය. උත්තරීතර තීරණ ගන්නෝ සමිති සාමාජිකයෝ ය. ස්වෛරීත්වය පවත්නේ සාමාජිකත්වය කෙරෙහි ය. සාමාජිකයෝ සමිතියේ ස්ථාවරය අණ කරති.

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වූකලි මැතිවරණවලට වැඩි දෙයකි. අන් සියල්ලට මත් වඩා, සමිතියේ කටයුතුවල දී සාමාජිකත්වය ක‍්‍රියාකාරීව සහභාගි වීම යි. වෘත්තීය සමිති කටයුතු යනු හුදෙක් නායකයන්ගේ පමණක් නො ව සියලූ සාමාජිකයන්ගේ වගකීම යි. වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්පූර්ණ වන්නේ සහ වෘත්තීය සමිති සැබවින් ම ශක්තිමත් වන්නේ සියලූ සාමාජිකයන් සවිඤ්ඤාණකව සහ ක‍්‍රියාත්මකව වෘත්තීය සමිති තුළ සහභාගි වන්නේ නම් පමණකි.

 

මේ අයුරින් ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ගොඩ නැගීම සහ පවත්වා ගෙන යාම රඳා පවතින්නේ එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන මත ය. වෘත්තීය සමිති වනාහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පටිපාටියේ අත්‍යවශ්‍ය ආධාරක කුළුනු ය. එබැවින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකින් තොරව සමිතිවලට පැවතිය නොහැකි යැයි ද සමිතිවලින් තොරව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට පැවතිය නොහැකි යැයි ද කිව හොත් නිවැරදි ය.

 

 

 

එක්සත්කම

 

විරුද්ධ දේශපාලනික දෘෂ්ටිවාදයන්ට හෝ කම්කරු නායකයන්ගේ පෞද්ගලික වුවමනාවන්ට ප‍්‍රතිචාර දක්වමින් පිල්වලට බෙදීම සේවකයන්ගේ පොදු වුවමනාවන් ආරක්ෂා කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරීමට ව්‍යාපාරයට තිබෙන හැකියාව බරපතළ ලෙස ඌනනය කරයි.

 

බෙදුණු සමිති ව්‍යාපාරයක දී, පවත්නා සම්පත්වලින් සහ ශක්තීන්ගෙන් ඉතා විශාල කොටසක් ප්‍රතිවාදී හෝ සතුරු සංවිධානවලට එරෙහිව සටන් කිරීමට වැය වේ. මෙම තත්ත්වය සේවකයන්ගේ බලය සහ ප‍්‍රතිලාභ දුබල ද විනාශ ද කරයි. ”එක්සත් නම් අපි නැගී සිටිමු, වෙන්වී වැනසෙමු” යන්න කවුරුත් දන්නා සත්‍යයකි. තමන් විසින් නියෝජනය කරන්නෙමැයි මවා පාන සේවකයන්ගේ යහපැවැත්මට ඉහළින් සිය අවශ්‍යතාවන් පිහිටුවන කම්කරු නායකයන්ගේ එකිනෙක ගැටෙන ආත්මාර්ථකාමී වුවමනාවන් පදනම් කර ගෙන බෙදීම කිසි ලෙසකින් වත් යුක්ති සහගත කළ නොහැකි බව ඉන් ඇඟවේ.

 

වෘත්තීය සමිති පවත්නේ සේවකයන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ය. ඔවුන්ගේ වුවමනාවන් ඊනියා නායකයන්ගේ ආත්මාර්ථකාමී චේතනාවන්ට සහ නොවැදගත් වෙනස්කම්වලට වඩා හැම විට ම උත්තරීතර විය යුතු ය. කම්කරු ව්‍යාපාරය තුළ එකිනෙක ගැටෙන දේශපාලන මත පවත්නා බව ද සඳහන් කළ යුතු ය. එබැවින්, සමිති සිය සාමාන්‍ය සාමාජිකයන් තුළ පවත්නා දේශපාලනික බහුත්වවාදයට ගරු කළ යුතු ය.

 

දේශපාලනික බහුත්වවාදය පවත්නා විට තමන් කැමති  ඕනෑ ම දේශපාලනික ප‍්‍රවණතාවක් අනුයාමට සමිතියේ සෑම සාමාජිකයෙකුට ම පූර්ණ නිදහස ඇත. අනෙක් අතට, සියලූ සාමාජිකයන් එකිනෙකාගේ පෞද්ගලික මතවලට අන්‍යෝන්‍යව ගරු කළ යුතු ය. ස්ථාවර එක්සත්කම සඳහා පවත්නා එක ම සූත‍්‍රය මෙම ”විවිධත්වය තුළ එකමුතුකම” යි.

 

 

වගකීම

 

සිය සාමාජිකයන් සහ සමාජය කෙරෙහි වගකීම යනු සැබෑ වෘත්තීය සමිතිවාදයේ වැදගත් මූලධර්මයකි. සියලූ සමිති නිලධාරීන් තමන් තෝරා පත් කර ගැනුණු කාර්යයන්ට දක්ෂ ලෙස, බරපතළ ලෙස සහ දැඩි උත්සාහයෙන් යුතුව කැප විය යුතු යැයි එය ඉල්ලා සිටී.

 

වගකීම් සහගත සමිතියක් සිය ඉල්ලීම් සඳහා බල කිරීමට වෘත්තීය සමිති ක‍්‍රියාවන් අවශ්‍ය කරන විට එම පියවරයන්හි නියැලීමට පසුබට නො වේ. එහෙත් එය සිය සාමාජිකයන් අනවශ්‍ය අවදානම් දැරීම සහ කැප වීම් කිරීම වළක්වයි. එමෙන් ම, වැඩ බිම සහ සමිතියේ ම පැවැත්ම අන්තරායෙහි හෙළන සියලූ ආකාර විනාශකාරී උපායයන් ප‍්‍රතික්ෂේප කරයි.

 

වගකීම් සහගත වෘත්තීය සමිතියක් දරන සියලූ පරිශ‍්‍රමයන් හිදී හැම විට ම ඉහළ ම අරමුණ විය යුත්තේ සිය සාමාජිකයන් සහ පොදුවේ සියලූ සේවකයන් උදෙසා ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිඵල ලබා ගැනීම යි.

 

 

2.            සාමූහිකත්වය පිළිබඳ මනා හැඟීමක් සහිත දැනුවත්, සවිඤ්ඤාණක සහ ප‍්‍රතිචාර දැක්වීමට උත්සුක සාමාජිකත්වය

 

සමිති සාමාජිකත්වය සමිතියේ සහ දේශපාලනික, සමාජ-ආර්ථික සහ සංස්කෘතික වාතාවරණයේ සැබෑ වර්ධනයන් පිළිබඳව දිගින් දිගට ම නොදැනුවත්ව, ඵලදායක ලෙස සවිඤ්ඤාණක නො වී සිටින තාක් දුරට තිරසර ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගැන සිතිය නොහැකි ය. මේ අයුරින් ම, සමිති සිය මුල පිරීම්වල දී සාමූහිකත්වය පිළිබඳ හැඟීමක් භුක්ති විඳිය යුතු ය. සාමූහිකත්වය පිළිබඳ හැඟීමක් සහිත දැනුවත්, සවිඤ්ඤාණක සහ ප‍්‍රතිචාර දැක්වීමට උත්සුක සාමාජිකත්වය තිරසර ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෘත්තීය සමිති ව්‍යාපාරයක් සඳහා සැපිරිය යුතු අතිමූලික පූර්වාවශ්‍යතාවක අවියෝජනීය කොටසක් වන්නේ එබැවිනි.

 

දැනුවත් සහ සවිඤ්ඤාණක සාමාජිකත්වය

 

සාමාජිකත්වය යනු සමිතිය සතු වැදගත් ම සම්පත යි. සමිතියේ පැවැත්ම යුක්ති සහගත වන එක ම හේතුව එම සාමාජිකයන් ය. මෙම සංවිධානීය පසුබිම තුළ අවසන් තීරණ ගන්නේ සාමාජිකයන් ය. සමිතිය පවත්වා ගෙන යන්නේත් සමිතියේ ක‍්‍රියාවන් ක‍්‍රියාත්මක කරන්නේත් එහි සාමාජිකයන් දායක කරන සම්පත්වලින් බැවින් සමිතියේ ක‍්‍රියාකාරකම්වල මූලික පාලනය තිබිය යුත්තේ ඔවුන් අත ය. වඩාත් ම වැදගත් වන්නේ, සමිතියට සිය සියලූ ක‍්‍රියාකාරකම් සාර්ථකව ක‍්‍රියාත්මක කළ හැක්කේ සහ ශක්තිමත්ව වර්ධනය වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවිධානයක් බවට පත් විය හැක්කේ සාමාන්‍ය සාමාජිකයන්ගේ අචල සහාය ලැබුණොත් පමණක් බව යි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, සමිතියේ ශක්තිය එය සිය සාමාජිකයන්ගෙන් දෛනිකව ලබන සහාය මත රඳා පවතී. කැප වුණු සහ ක‍්‍රියාකාරී සාමාජිකත්වයකින් තොරව කිසිදු අව්‍යාජ වෘත්තීය සමිතියකට පැවතිය නොහැකි ය. සියලූ සාමාජිකයන් සහභාගි වීම සහ දායක වීම අතිශය වැදගත් වේ. වෘත්තීය සමිතිය යනු සාමූහික පරිශ‍්‍රමයක් බැවින් එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් සියලූ සාමාජිකයෝ එක සමානව වගකිව යුතු වෙති. සාමාජිකත්ව පදනමෙන් එවන් ක‍්‍රියාකාරී දායකත්වයක් නොලබන සමිති එතරම් ම ප‍්‍රගතියක් අත් කර ගන්නේ නැති බවත්, ඊට සේවකයන්ගේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අපේක්ෂාවන් සැපිරිය නොහැකි බවත් නිසැක ය. සියලූ සාමාජිකයන්ගේ ක‍්‍රියාකාරී දායකත්වය සහ සහභාගිත්වය යොදාගැනීම පෙළගැස්වෙන බව සහතික කළ හැකි වනු පිණිස දැනුවත් සහ සවිඤ්ඤාණක සාමාජිකත්වය අත්‍යවශ්‍ය පූර්වාවශ්‍යතාවක් බවට පත් වන්නේ මෙම හේතු නිසා ය.

 

සමිති සාමාජිකයන්ගෙන් අතිමහත් බහුතරය සිය වෘත්තීය සමිතියේ අතිමූලික කාර්යයන් සහ ව්‍යුහයන් පිළිබඳව මෙන්ම සිය සමිතිය අනුබද්ධ සංවිධාන හෝ මණ්ඩල පිළිබඳව වුව දන්නේ ඉතා අඩුවෙන් බව අද දින බොහෝ අවස්ථාවල දී පැහැදිලි වේ. මූලික තොරතුරු සම්බන්ධයෙන් පියවිය යුතු පුළුල් අගාධයක් පවතී. බොහෝ විට බහුතර වෘත්තීය සමිති සාමාජිකයෝ හුදු අජීවී නාමික  සමිති සාමාජිකයන්ගේ ස්වභාවය දරති. තමන්ගෙන් අපේක්ෂා කරන්නේ මොනවා දැයි, සමිතියෙන් තමන්ට ලැබිය යුත්තේ මොනවා දැයි ඔවුන් දනිතොත් ඒ කලාතුරකිනි. එසේ ම අපි මෙම ක්ෂේත‍්‍රය තුළ සාධනීය වැඩි දියුණුවක් ද නො දකිමු.

 

සමිති තුළ තොරතුරු ගලා යන මෙම ක‍්‍රමයේ පැහැදිලි වෙනසක් සිදු විය යුතු ය. සමිතියේ සියලූ ප‍්‍රධාන වර්ධනයන් පිළිබඳව සහ සමිතියට සහ පොදුවේ සියලූ සේවකයන්ට අදාළ කාරණා පිළිබඳව සිය සාමාජිකයන් ඵලදායක ලෙස දැනුවත් කොට තැබිය හැකි කාර්යක්ෂම සන්නිවේදන ක‍්‍රමයක් වෘත්තීය සමිතිවලට තිබිය යුතු ය. එලෙස ම, සේවකයන්ගේ ප‍්‍රතිචාර සහ අපේක්ෂාවන් නායකත්වය වෙත රැගෙන යා හැකි විධිමත් සහ කාර්යක්ෂම ක‍්‍රමයක් ද පැවතිය යුතු ය.

 

සාමාජිකත්වය සවිඤ්ඤාණක වීම යනු යන්ත‍්‍රණය සුමට ලෙස ක‍්‍රියාත්මක කරවන ලිහිසි තෙලකට තරමක් සමාන වූවකි. සමිතියේ ප‍්‍රධාන වර්ධනයන් පිළිබඳව සහ සමිතියට සහ පොදුවේ සියලූ සේවකයන්ට අදාළ කාරණා පිළිබඳව සාමාජිකත්වය තුළ සවිඤ්ඤාණකත්වය අඩුකම නියත වශයෙන් ම සමිති යන්ත‍්‍රණය තුළ ඝර්ෂණයන් නිර්මාණය වීමට හෝ එහි ක‍්‍රියාකාරිත්වයෙහි දෝෂ ඇති වීමට හේතු වන්නේ ඒ නිසා ය. එය තුඩු දෙනු ඇත්තේ සංවිධානය දුර්වල වීමට පමණකි. එවැනි වාතාවරණයන්හි දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ තිරසරතාවට සමිතිය තුළ ට මුල් බැසගත  නොහැකි ය.

 

 

සාමූහිකත්වය පිළිබඳ හැඟීම

 

දැනුවත් සහ සවිඤ්ඤාණක සාමාජිකත්වයත් සමග, සිය පරිශ‍්‍රමයන්හි දී සමිතියට සාමූහිකත්වය පිළිබඳ හැඟීමක් ද තිබිය යුතු ය. සාමාජිකයන්ගේ ක‍්‍රියාවන් බහුතරයේ පොදු යහපත සැලකිල්ලට ගන්නා සාමූහිකත්වය පිළිබඳ හැඟීමකින් යුක්ත විය යුතු ම නැතැයි ඔවුන්ට අවබෝධ වීමට හෝ ඒත්තු යාමට සලස්වන්නේ නම් එවැනි වාතාවරණයක් කිසි විටෙක ප‍්‍රජාතන්ත‍්‍රවාදී තිරසර සමිති ආකෘතියක් නිර්මාණය වීමට උපකාරක නො වේ. එනිසා හුදු පෞද්ගලික වුවමනාවන් කෙරෙහි නො ව සාමූහිකයේ වැඩි දියුණුවට ගරු කිරීම, ඒ පිළිබඳ අවබෝධය සහ සහකම්පනය කෙරෙහි යොමු වුණු අවධානයක් සාමාජිකත්වය තුළ පැවතීම අත්‍යවශ්‍ය වේ.

 

එසේ ම, සියල්ලන්ගේ දැක්මවලට සහ ස්ථාවරයන්ට නිසි පරිදි ගරු කරමින් සාමූහික ස්වරූපය ගත් ක‍්‍රියාවන්හි යෙදිය හැකි අවකාශයක් ද පැවතිය යුතු ය. නිසි වරණ හා තුලන ක්‍රමයන් සහිතව එවැනි ක‍්‍රියාවන්ට නිදහස තිබිය යුතු ය. විනය විරෝධී හෝ හුදු අකීකරු ක‍්‍රියාවන් ලෙස සලකා ඒවා මර්දනය නොකළ යුතු ය. විසම්මුතියේ අයිතියට ගරු කල යුතුය. මේ නිසා, සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැවතීමට නම් සාමූහික ස්වරූප ගත් ක‍්‍රියාවන් සඳහා අවකාශ සැලසීම අත්‍යවශ්‍ය වේ.

 

 

3.            වෘත්තීය සමිති සාමාජිකත්වය ඵලදායක ලෙස සවිබල ගැන්වීම

 

වෘත්තීය සමිති සාමාජිකත්වය ඵලදායක ලෙස බල ගැන්වීම වෘත්තීය සමිතිය තුළ තිරසර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් සහතික කිරීමේ අත්‍යවශ්‍ය පූර්වාවශ්‍යතාවකි. වෘත්තීය සමිතියේ මෙහෙයවීම, තීරණ සහ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් කිසිදු පාලනයක් හිමි නැති කොන් වුණු බල හීන සාමාජිකත්වයකට, සමිති සාමාජිකත්වයට හිතකර අර්ථාන්විත වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කිසි දා සාක්ෂාත් කර ගත නොහැකි ය.

 

සමිතියේ පාලනය ඵලදායක ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය ප‍්‍රධාන පැතිකඩවලට අදාළව සාමාජිකයන් සතු මූලික හැකියාවන් ශක්තිමත් කළ යුතු යැයි බල ගැන්වීම හැම විට ම ඉල්ලා සිටී. සාමාජිකත්වයේ බලය, සාමාජිකත්වයේ තේරීම, යමෙකුගේ අයිතිවාසිකම් උදෙසා සටන් වැදීමේ හැකියාව සහ ස්වාධීනත්වය සහ සාමූහික තීරණ ගැනීම එම පැතිකඩවලින් කිහිපයකි. සාමාජිකත්වය බල ගැන්වීම යන දෙයෙහි නිසග වටිනාකමක් මෙන් ම උපයෝගිතා වටිනාකමක් ද පවතී. එම නිසා සාමාජිකත්වය බල ගැන්වීම පෞද්ගලික සහ සාමූහික යන මට්ටම් දෙකට ම අදාළ වේ.

 

පුළුල් ම අර්ථයෙන් ගත හොත්, සාමාජිකත්වය බල ගැන්වීම යන්නෙන් කියැවෙන්නේ තෝරා ගැනීමේ සහ ක‍්‍රියාවේ නිදහස පුළුල් කිරීම පිළිබඳව යි. මින් අදහස් වන්නේ තමන්ට බලපාන ක‍්‍රියාවලිය සහ තීරණ කෙරෙහි සාමාජිකයන් සතු අධිකාරය සහ පාලනය වැඩි කිරීම යි. සාමාජිකයන් සැබෑ තේරීම් කරන විට ඔවුහු සිය සංවිධානය මෙහෙයවීම සම්බන්ධයෙන් වැඩි පාලනයක් අත් කර ගනිති.

 

පෞද්ගලික හැකියාවන් සහ සාමූහිකව ක‍්‍රියා කිරීමට ඇති හැකියාව අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පවතී. මෙහි දී අවධානය යොමු වන්නේ වෘත්තීය සමිති සාමාජිකයන් ගැන වුවත් දෙපසට විහිදෙන මෙම සම්බන්ධතාව සමාජය තුළ සිටින සියලූ කණ්ඩායම් විෂයයෙහි සත්‍ය වේ. බල ගන්වන ලද, දැනුවත් කරන ලද සහ සවිඤ්ඤාණක වෘත්තීය සමිති සාමාජිකයන්ට සාමූහික ක‍්‍රියාව සඳහා වඩා ඵලදායක ලෙස දායක විය හැකි ය. එමෙන් ම, තිරසර අයිතිවාසිකම් සහ වඩා යහපත් ප‍්‍රතිලාභ වෙත ඔවුන්ගේ ප‍්‍රවේශය වැඩි දියුණු කිරීමට ද සාමූහික ක‍්‍රියාවට හැකියාව ඇත.

 

සිය තෝරා ගැනීමේ සහ ක‍්‍රියාවේ නිදහස වැඩි කර ගැනීම සඳහා සාමාජිකත්වය ඵලදායක ලෙස බල ගැන්වීමට නම් වෘත්තීය සමිති බල ගැන්වීමට අදාළ පහත සඳහන් අංග නොහොත් මූලධර්ම සමිතිය තුළ අන්තර්ගත කර ගැනීම කෙරෙහි වෘත්තීය සමිති බැරැරුම් අවධානයක් යොමු කළ යුතු වේ.

 

–              තොරතුරු වෙත ප‍්‍රවේශය

–              අන්තර්ග‍්‍රහණය සහ සහභාගිත්වය

–              වග වීම

–              ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාව

 –              තොරතුරු වෙත ප‍්‍රවේශය

 

තොරතුරු බලය වේ. තමන් කරා එන අවස්ථාවන්ගේන ඵල නෙලාගැනීමට, සිය අයිතිවාසිකම් ක්‍රියාවේ යෙදවීමට, ඵලදායක ලෙස සාකච්චා මාර්ගයන්හි නියැලීමට සහ සමිති සාමාජිකයන් සහ නිලධාරීන් වග වන තත්ත්වයෙහි තබා ගැනීමට දැනුවත් සමිති සාමාජිකයෝ වඩා සන්නද්ධව සිටිති. අදාළ, කාලීන සහ අවබෝධ කර ගත හැකි ස්වරූපවලින් ඉදිරිපත් වන තොරතුරු නොමැති නම් සමිති සාමාජිකයන්ට ඵලදායක පියවරයන් ගත නොහැකි ය. තොරතුරු විසුරුවාහැරීම  ලිඛිත වචනයන්ට පමණක් සීමා නොවේ. කණ්ඩායම් ලෙස, විවාද, මුද්‍රිත සහ විද්‍යුත් ප‍්‍රකාශන සහ සංවාද ස්වරූපයෙන් සහ වෙනත් සුදුසු ස්වරූපවලින් සාකච්චා කිරීම සඳහා වන අවකාශයක් ද ඊට ඇතුළත් ය.

 

 

–              අන්තර්ග‍්‍රහණය සහ සහභාගිත්වය

 

අන්තර්ග‍්‍රහණය අවධානය යොමු කරන්නේ කවුරුන් ද යන ප‍්‍රශ්නය පිළිබඳව ය: එනම්, අන්තර්ග‍්‍රහණය කර ගත යුත්තේ කවුරුන් ද යන්න ගැන ය. සහභාගිත්වය අවධානය යොමු කරන්නේ ඔවුන් අන්තර්ග‍්‍රහණය කර ගන්නේ කෙසේ ද යන ප‍්‍රශ්නය සහ එසේ අන්තර්ග‍්‍රහණය කර ගත් විට ඔවුන් ඉටු කරන කාර්ය භාරය පිළිබඳව ය. ප‍්‍රමුඛතා සැකසීම් තුළ දී සහ තීරණ ගැනීමේ දී සාමාන්‍ය සාමාජිකත්වය සහ අදාළ අන් සියලූ කොටස් අන්තර්ග‍්‍රහණය කර ගැනීම වෘත්තීය සමිතියේ ඵලදායක ක‍්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහාත්, එලෙස වෘත්තීය සමිතිය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කිරීම සඳහාත් තීරණාත්මක වේ. කෙසේ වුව ද, අන්තර්ග‍්‍රහණය සහ දැනුවත් සහභාගිත්වය තිරසර කිරීම සඳහා පරිශ‍්‍රමයක් දරන්නේ නම්, එකී අවකාශය ගොඩනගනු පිණිස ගැටලූ පිළිබඳව විවාදයේ යෙදීමට, සංවාදයේ යෙදීමට සහ ප‍්‍රමුඛතා සැකසීම, අයවැය සකස් කිරීම, ප‍්‍රතිපත්ති සකස් කිරීම සහ මූලික සමිති සේවාවන් සම්පාදනය කිරීම පිළිබඳ ගැටලූ සාකච්චා කිරීමට පරිධියේ දී සහ කේන්ද්‍රයේ දී අවස්ථාවෝචිත පරිදි ඍජුව හෝ වක‍්‍රව සහභාගි වීමට හැකි වන පරිදි, නීතිරීති වෙනස් කිරීම ක් නිතැතින්ම අවශ්‍යවේ.

 

සහභාගිත්ව තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය හැම විට ම ගැටුමෙන් තොර වන්නේ නැත. ප‍්‍රමුඛතාවන් පිළිබඳව වාද විවාද ඇති විය හැකි ය. එම නිසා, නොඑකඟතාවන් කළමනාකරණය කිරීමට ගැටුම් නිරාකරණ යන්ත‍්‍රණයන් පැවතිය යුතු ය.

 

 

–              වග වීම

 

වෘත්තීය සමිති ව්‍යුහය තුළ වග වීම යනු වෘත්තීය සමිති නායකයන්ගෙන්, තීරණ ගන්නා මණ්ඩලවල සාමාජිකයන්ගෙන් සහ අදාළ පුද්ගලයන්ගෙන් වග වන ලෙස ඉල්ලා සිටීමට තිබෙන හැකියාව යි. එනම්, ඔවුන් සිය ක‍්‍රියාවන්, කල්ක‍්‍රියාව සහ අරමුදල් භාවිතය සම්බන්ධයෙන් වගකිව යුතු යැයි ඉල්ලා සිටීමට තිබෙන හැකියාව යි. සමිතියේ ක‍්‍රියාවන් සහ ඒවායේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් සාමාජිකයන් කෙරෙහි ඇති වග වීම වැඩි කරන බව සහතික කළ හැකි මෙවලම් ගණනාවක් පවතී. සමිති සාමාජිකයන් තොරතුරු වෙත ප‍්‍රවේශ වීමෙන් සමිති සහ වග වීම ඵලදායක ලෙස ක‍්‍රියාත්මක කරන ලෙස එල්ල වන පීඩනය වැඩි වේ ය යන්න ඉන් එකකි.

 

සාමාජිකත්වයට සමිතියේ වගකීම් දරන පුද්ගලයන් වග වන තත්ත්වයකට පත් කළ හැකි විට පාලනය සහ බලය බොහො විට සාමාජිකත්වය අතට මාරු වී සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩා අර්ථාන්විත ව්‍යායාමයක් බවට පත් වේ.

 

 

–              ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාව

 

සමිති තුළ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාව වූකලි පිරිමින් සහ කාන්තාවන් උදෙසා සමාන ප‍්‍රතිඵල සහ සමාන පංගු සහතික කිරීම යි. එවිට, සියලූ පුද්ගලයන්ට  නිසි ගරුත්වයෙන්  යුක්තව සලකනු ලබන අතර, ඔවුන්ට සිය පූර්ණ හැකියාවන් වර්ධනය කර ගැනීමට ඉඩ සැලසේ. මින් අදහස් වන්නේ පුරුෂ සහ ස්ත‍්‍රී වෘත්තීය සමිති සාමාජිකයන් සර්වසම තත්ත්වයට පත් වන බවක් නො වේ. කාන්තාවන් සහ පිරිමින් එකිනෙකට වෙනස් සහ වෙනස් විය හැකි නමුත් ඔවුන්ට සමාන අයිතිවාසිකම්, වගකීම් සහ අවස්ථාවන් තිබිය යුතු ය. තමන් ක‍්‍රියා කරන ආකාරය සකස් කර ගැනීමට සහ ගතානුගතික අදහස්වලින්, ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවයේ අනම්‍ය කාර්ය භාරයන්ගෙන් සහ අගතීන්ගෙන් පැනවෙන සීමා මායිම්වලින් තොරව තෝරා ගැනීම් කිරීමට සියලූ පිරිමි සහ කාන්තා සාමාජිකයන්ට නිදහස තිබිය යුතු ය. සමිති තුළ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාව යන්නෙන් අදහස් විය යුත්තේ, කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ වෙනස් චර්යාවන්, අපේක්ෂාවන්  සහ අවශ්‍යතාවන් එක සමානව සලකා බලන බව, අගය කරන බව සහ අනුබල ලබන බවත්, කාන්තාවන්ට සහ පිරිමින්ට සලකන ආකාරය සහ ඔවුන් සපයන දායකත්වය අගය කරන ක‍්‍රමය ඔවුන් උපත ලැබ තිබෙන්නේ පුරුෂයන් ලෙස ද ස්ත‍්‍රීන් ලෙස ද යන්න මත රඳා නොපවතින බවත් ය.

 

රටේ ශ‍්‍රම බලකායෙන් අඩක් සමන්විත වන්නේ කාන්තාවන්ගෙන් බව කිසිවෙකු නො දන්නවා විය නොහැකි ය. ඔවුන්ගේ වෘත්තීය වුවමනා එපාකම් නියෝජනය කළ හැකි හොඳ ම පෙරමුණ වෘත්තීය සමිතිය බව නිසැක ය. කෙසේ වුව ද, ප‍්‍රධාන තීරණ ගන්නා සමිති ව්‍යුහයන් තුළ කාන්තාවන්ගේ ක‍්‍රියාකාරී දායකත්වය තිබෙන්නේ ශෝකජනක ලෙස පහළ මට්ටමක ය. එම දායකත්වය තවමත් ජාත්‍යන්තර සංවිධාන සතුටු කරනු පිණිස සකසා ඇති   සංදර්ශනාත්මක කොටාවන්ගෙන් ඔබ්බට  ඉක්මවා ගොස් නැත.

 

 

සමාප්ති සැඳහුම්

 

විශාලතම සිවිල් සමාජීය කණ්ඩායම වන වෘත්තීය සමිති වත්මන් සන්දර්බය තුළ දී ඉටු කළ යුතු වැදගත් කාර්ය භාරයක් පවතියි. මෙම වගකීම අත් හැරීමට ඒවාට ඉඩ දිය නොහැකි ය. මෙම කර්තව්‍යය ඉටු කිරීමේ දී, ඒවා වර්තමානයේ දී මුහුණ දෙන විශ්වසනීයත්වය පිළිබඳ ගැටලූව කෙරෙහි වෘත්තීය සමිති වලට තව දුරටත් නුදුටසේ ඇස් වසාගෙන සිටිය නොහැක. සමිතිවලට තම මුලික අරමුණු සක්‍රීය ලෙස නියෝජනය සක්‍රීය ලෙස නියෝජනය කිරීමේ හැකියාවක් ඇතැයි වත්මන් සමාජය තුල එතරම් පිරිසක් විශ්වාස නොකරති. එළඹෙමින් සිටින යෞවන  පරම්පරාව තුළ පවත්නා අතෘප්තිය බෙහෙවින් ඉහළ ය. බොහෝ වෘත්තීය සමිති මතු වෙමින් පවත්නා මෙම යථාර්ථයන් නොපිළිගැනීම අවාසනාවකි. පිළිගත යුතු, අවබෝධ කර ගත යුතු සහ අවධානය යොමු කළ යුතු බරපතළ ගැටලූවක් ප‍්‍රතිරූපය සම්බන්ධයෙන් පවත්නා බව ප‍්‍රතික්ෂේප කළ නොහැකි ය. තම සමිති තම අපේක්ෂාවන් අනුව ක‍්‍රියා කරති යි, තම රැකියාව සුරක්ෂිත කර ගැනීමට එය උදව් වෙති යි විශ්වාස කරන සේවකයෝ ඉතා බොහෝ නො වෙති. සමාජීය කෝණයකින් මෙය  විමසා බලන විට, රැකියාවට ආරක්ෂාව සහ ගරුත්වය ලබා දෙන ක‍්‍රමයක් ලෙස සලකා සමිතියකට බැඳීමට තම පුතුන්ට හෝ දියණියන්ට උපදෙස් දෙන දෙමාපියන් බෙහෙවින් සිටින්නට ඉඩක් නැත. වත්මන් සමාජීය චින්තනය නම් සමිතිවලින් හැකි තාක් ඈත්ව සිටීම වඩා යහපත් බව යි.

 

අද දින සේවා කොන්දේසි පරිපූර්ණ ය, පරමාදර්ශී ය හෝ ”පරාදීසයක් වැනි සේවා වාතාවරණයකි” යන හැඟීමක් වත්මන් සමාජීය චින්තනයෙන් පිළිබිඹු නො වේ. කීර්තිමත් යැයි කියමින් උදම් අනන ආයතන තුළ පවා බොහෝ විට සේවා කොන්දේසි ඇදහිය නොහැකි තරම් තැති ගන්වනසුලූ සහ නින්දා සහගත ය. සිය සේවා නියමයන් සහ කොන්දේසි වැඩි දියුණු කිරීමට පරිශ‍්‍රම දරන සංවිධාන ලෙස ලොව පුරා පිළිගත් වෘත්තීය සමිතිය කෙරෙහි විශ්වාසය නො තබා මෙම තත්ත්වයට තමන්ගේ ම විසඳුමක් සොයා ගැනීමට තවමත් සේවකයන්ගෙන් බහුතරයක් කැමති ය.

 

මෙම චින්තනය පහළ වන්නේ අහේතුකව නො වේ. ඇතැම් සේවා යෝජකයන්ගේ වෘත්තීය සමිති විරෝධී ප‍්‍රචාරක ව්‍යාපාර පමණක්ම නොව, – වෘත්තීය සමිති තම අභිප‍්‍රායයන් අව්‍යාජව පිළිගෙන නැතැයි සහ සමිතියේ අවසන් තීරණවල දී තමන්ට අදහස් දැක්වීමට එතරම් අවස්ථාවක් හෝ අවකාශයක්  නැතැයි යන හැඟීම බොහෝ සේවකයන් තුළ පොදුවේ බලපවත්වයි.

 

වෘත්තීය සමිතිවලට විකල්පයක් තිබෙන බවක් මින් කිසි සේත් අදහස් නො වේ. අද දින වුව, සේවකයන්ගේ වුවමනා එපාකම් නියෝජනය කිරීමට සහ සූරා කෑමට එරෙහි ස්වයං ආරක්ෂකයක් ලෙස සහ සිය වැඩි දියුණුව උදෙසා ස්වයං උපකාරකයක් ලෙස පවත්නා සංවිධානයක් ලෙස ක‍්‍රියා කළ හැකි හොඳ ම සංවිධානය වන්නේ වෘත්තීය සමිතිය යි. ඒවා වඩා සාකල්‍ය ආකාරයකින් සහ වත්මන් වේගවත් වෙනස් වීම්වලට සරිලන වේගයකින් වර්ධනය වීම බරපතළ අවශ්‍යතාවකි.

 

අපේක්ෂාබංගතවය සහ අවාසනාව ජනනය කරන වත්මන්  ඉරණම – ඉදිරිය පෙරදැරි කරගත් සැබෑ ප‍්‍රගතිශීලී වෘත්තීය සමිතිවාදී අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියක් බවට පරිවර්තනය කොට එමගින් තිරසර ආර්ථික, සමාජීය සහ දේශපාලනික අභිවෘද්ධියකට දායක  වන සේවක සවිබල ගැන්වීම සේවකයන් සහ සමාජය උදෙසා මග පෙන්විය හැකි ක‍්‍රියාවලියක් බවට පරිවර්තනය කිරීම කළ නොහැකි දෙයක් හෝ අයථාර්ථවාදී වන්නක් නො වේ. අද දින අභියෝගයන් ජය ගැනීමට නම් වෘත්තීය සමිති ව්‍යුහයන් තුළ අර්ථාන්විත සහ තිරසර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආධිපත්‍යය දැරීම අත්‍යවශ්‍ය ය. අන් කෙනෙකුගේ වුවමනාවන්ට හෝ තමන්ගේ යැයි සැබවින් නොහැඟෙන යම් දෙයකට ප‍්‍රධාන වශයෙන් සේවය කරන සමාජීය සංවිධානයක හවුල්කරුවෙකු වීමට කැමති වන සේවකයෝ වත්මන් සන්දර්බය තුල සොයාගැනීම උගහටය.

 

සේවකයන්ගේ වුවමනාවන් ආරක්ෂා කිරීමට වෘත්තීය සමිතිය අත්‍යවශ්‍ය වන තරමට ම වෘත්තීය සමිති අඛණ්ඩව පැවතීමට සහ සේවකයන්ගේ පිළිගැනීම ඒවාට ලැබීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද අත්‍යවශ්‍ය ය. කවර වාතාවරණයක් යටතේ වුව මීට ආදේශකයක් තිබිය නොහැකි ය.

 

වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදය වනාහි අන් කිසිවක් නො ව නායකයන්ට සේවකයන්ගේ ඇසින් සමිතිය දැකීමට හැකි වීම යි. සිය නායකයන්ගේ ඇසින් සමිතිය දැකීමට බල කරන ලද සාමාජිකයෝ සෙමෙන් නමුත් නිසැකයෙන් ම සංවිධානයේ අවසානය ඉක්මන් කරති. එමෙන් ම, සමිතිය තුළට නැවුම් ජවය කා වැද්දීම ස්ථිර වශයෙන් අවසන් කරති.

 

වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදයට රික්තයක් තුළ ක‍්‍රියාත්මක විය නොහැකි ය. සමිති සාමාජිකයන්:

 

x              වෘත්තීය සමිතිවාදය පිළිබඳව කිසි දා අත්හල නොයුතු මූලික මූලධර්ම මාලාවකට,

 

x              සාමූහිකත්වය පිළිබඳ හැඟීමක් සහිත දැනුවත්, සවිඤ්ඤාණක සහ ප‍්‍රතිචාර දැක්වීමට උත්සුක සාමාජිකත්වයකට,

 

x              ඵලදායක ලෙස සවීබල ගැන්වුණු වෘත්තීය සමිති සාමාජිකයන් නො වේ නම්,

 

එය නිෂ්ඵල ලෙස හිස් ගෙඩි ගණන් කරන නිරර්ථක වෘත්තීය සමිති  ව්‍යායාමයක් පමණක් වනු ඇත. වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු හුදු හිස් ගෙඩි ගණන් කිරීමක් නොවන්නේ නිශ්චිතව ම මේ නිසා ය. ආරම්භයේ දී සඳහන් කළ පරිදි එය අවශ්‍යයෙන් ම පූර්වාවශ්‍යතා කට්ටලයක් හා එකට පැවතිය යුතු ය. එය සපුරා ලීම අර්ථාන්විත සහ තිරසර වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සඳහා වන අතිමූලික අවශ්‍යතාවකි. එම නිසා, වෘත්තීය සමිති ප‍්‍රජාතන්ත‍්‍ර කිරීම නිසැකව ම ඉහත විස්තර කළ පූර්වාවශ්‍යතා මත රඳා පවතී.

 

අවසානයේ සියල්ල රඳා පවතිනු ඇත්තේ, අප වෙනසට කොතරම් විවෘත ද යන්නත් වෘත්තීය සමිති සම්බන්ධයෙන් ජනගහනයේ අතිමහත් කොටසක් තුළ පොදුවේ පැතිර පවත්නා ගැඹුරින් මුල් බැස ගත් අවිශ්වාසය සහ අතෘප්තිය පිළිබඳ හැඟීමට විසඳුමක් සොයා ගැනීමේ දී අප කොතරම් දක්ෂ ද යන්නත් මත ය. කිසිදු නීතියකට, රෙගුලාසියකට හෝ බලහත්කාරයෙන් පටවන අන් කිසිදු ක‍්‍රමයකට මෙම අභියෝගයට පිළිතුරු දිය නොහැකි ය. මෙම වෙනස ඇති කළ හැක්කේ වෘත්තීය සමිතිවලට ම පමණකි.

 

”නො නැසී පවතින්නේ ශක්තිමත් ම ජීව විශේෂයන් වත් වඩාත් ම බුද්ධිමත් ජීව විශේෂයන් වත් නොව වෙනසට වඩාත් ම හැඩ ගැසිය හැකි ජීව විශේෂයන් ය ” – චාල්ස් ඩාවින්

 

ඉහත සුප්‍රසිද්ද උපුටා ගැනීම වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රී කරණය  කිරීම පිළිබඳ අභියෝගයට මැනවින් ඔබිනු නිසැකය.

 

Workers Power1

 

 

මුල් පිටුව Home Page

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435