වෙනස මාරයි – කම්කරු නීති හමාරයි

වැඩ කරන ජනතාවගේ සහයෝගයෙන් බලයට පැමිණි යහපාලන දෙමුහුන් ආණ්ඩුව අපිට සිය පක්‍ෂාත්භාගය හරවා ඇත. ධනපති හාම්පුතුන්ට ඇති ලෙන්ගතුභාවය ප‍්‍රදර්ශණය කරමින් වැඩ කරන පන්තිය සුසානය කරා රැගෙන යාමට ලහි ලහියේ පිඹුරුපත් සකසා අවසන්ය. යටත් විජිත යුගයේ සිට ජාතික හා ජාත්‍යන්තර වැඩ කරන පන්තියේ අරගලයන් මතින් දිනා ගත් කම්කරුවන්ගේ නීතිමය සුරක්‍ෂිතභාවය අවසන් කිරීමට ILO කොළඹ කාර්යාලය පහසුකම් සපයන්නාගේ චරිතයට පණ දීම කිසි ලෙසකින් සමාව නොදිය යුතු අපරාධයකි. වැඩ කරන පන්තියේ නායකයින්යැයි කියා ගන්නා සත්‍ය ලෙසට ආණ්ඩුවේ හා හාම්පුතුන්ගේ බැලයන්ගේ භූමිකාවට පණ පොවන ඊනියා සමිති නායකයින් කිහිප දෙනෙකු මෙම අපකීර්තිමත් ක‍්‍රියාවලියට ස්ව කැමැත්තෙන්ම දායක වී ඩොලර්වාදීන් බවට පත්ව ඇති බව සුප‍්‍රසිද්ධ රහසකි.

කාර්මික ආරවුල් පනත, සාප්පු හා කාර්යාල පනත, සේවය අවසන් කිරීමේ පනත ඇතුළු අණපනත් ගණනාවක් සංශෝධනය කරනුයේ හාම්පුතාගේ ඉල්ලීම හා උවමනාව වෙනුවෙනි.

කම්කරු නීති සංශෝධනය තුලින් මතුවන හාම්පුතුන්ගේ හා ආණ්ඩුවේ උවමනාව

  • වැඩ කරන පන්තියේ උත්තරීතර වර්ජන අයිතිය නීත්‍යානුකූලව සීමා කර අඩපණ කිරීම සඳහා දින 14 ක පුර්ව දැනුම් දීමේ ක‍්‍රමයක් නීති ගත කිරීම හා වැඩපල තුල වර්ජනය සඳහා ජනමත විචාරණ මගඩියක් ඇටවීම, වර්ජන අයිතියට අත පෙවීම තුලින් සාමුහික කේවල් කිරීමට ස්වභාවික මරණය ලඟා කිරීම
  • අත්තනෝමතික ලෙස සේවය අවසන් කිරීම සඳහා හාම්පුතාට ඇති අපහසුතාවය මඟ හැරවීම සඳහා සේවකයින්ට වන්දි ගෙවා දොට්ට දමන ක‍්‍රමයක් ඇති කිරීම වෘත්තිය සමිති ක‍්‍රියාදරයන් දඩයම් කිරීමට පහසු මඟක් සැකසීම
  • රැකියාවෙන් දොට්ට දැමු සේවකයෙකුට රැකවරණය සැලසු කම්කරු විනිශ්චය සභාවේ තීරණ නිශේදනය කිරීම සඳහා එම සභාව දුන් තීරණ මත සේවකයාට නැවත රැකියාව ලැබුණාද එම රැකියාව ලබාදීම පිළිබඳ අභිමතය හාම්පුතාට පවරා ලොව කුමන මට්ටමේ සමාජයක වුවද පිලි ගනු නොලබන විත්තිකරු විනිශ්චයකරු බවට පත් කරන නිර්ලජ්ජිත වෑයමක නිරතව ඇත.
  • සාමුහික ගිවිසුමකින් සේවක සංවිධාන වලට ඉවත්වීමට ඇති අයිතිය හා නිදහස සීමා කිරීම සඳහා වසරක අනිවාර්ය කාලසීමාවකට යටත් කිරීමට යෝජිතය.
  • ස්ත‍්‍රින්ට සම තැන දීම දඩමීමා කර ගනිමින් රාත‍්‍රි කාලය තුල ස්ත‍්‍රී ශ‍්‍රමය පහසුවෙන් ලබා ගැනීමේ කූට වැඩ පිළිවෙල එලි දක්වා ඇත. කාන්තාවන්ගේ සෞඛ්‍යය යනු අනාගත පරපුරේ නිරෝගී භාවයයි. මෙම තත්වය අම්මාවරුන් දරුවන්ගෙන් උදුරා ගනු ලබන අනාගත සමාජ ඛේදවාචකයකට මුල පිරීමකි.
  • අඩසිය වසකටත් වඩා වැඩි කාලයක් වැඩ කරන පන්තිය භක්ති විදි EPFඅරමුදල මහ බැංකුවෙන් ඉවත් කර ETF අරමුදල හා ඒකාබද්ධ කර මහජන වස්තුභාරය නම් මණ්ඩලයකට යටත් කර අනතුරේ හෙලීමට කටයුතු කර තිබේ. අගමැතිවරයාගේ ආර්ථික උපායමාර්ග පසුගියදා පාර්ලිමේන්තුවේදී එලි දැක්වීමේදී මෙම යෝජනාවද ඉදිරිපත් කෙරිණි. සත්‍යලෙසම මෙය වැඩ කරන පන්තියට නම් ර්‍ණඅපාය මාර්ගයක්” මිස අන් යමක් නොවන බව පැහැදිලිය. අඩසියවසක් සුරක්‍ෂිතව පැවති මෙම අරමුදලේ අයිතිය අප සතුය. හාම්පුතුන්ට හෝ ආණ්ඩුවට අප මුදල් පිළිබ`දව තීරණ ගැනීමට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැත. මීපැණි තවරමින් ගෙන එන විශ‍්‍රාම මරඋගුල නිසැකවම වස මුසු කර ඇති බව නොරහසකි. පෞද්ගලක අරමුදල් කළමනාකරුවන් හරහා කොටස් වෙළඳ පොල තුල මෙම දැවැන්ත රුපියල් ට්‍රිලියන 4 ක මුදල ආයෝජනය කර පීඩිතයින්ගේ මුදල් මතින් මහ ධනපතියන්ගේ ව්‍යපාර ලෝකය ගොඩ නගනු ඇති අතර අරමුදලේ අයිතිකරුවන් වූ අපිට  “වත්ත බද්දට දී ඇස්සට දත නියවන යුගයක්” නිර්මාණය වනු ඇත.

හාම්පුතුන් රකින වැඩපල එලිමහන් සිර කදවුරක් බවට පත් කරන මෙම කම්කරු නීති සංශෝධන යෝජනා ගෙන එන ඊනියා යහපාලන දෙමුහුන් ආණ්ඩුවේ යහපාලන සළුපිලි ගැලවී නිරුවත ප‍්‍රදර්ශණය වේ. එළඹෙමින් පවතින්නේ වැඩ කරන පන්තියේ සාමුහික ශක්තිය දෙගොඩ ගලා යන ආණ්ඩුවට විවේක නොදෙන මහා දුර දිග යන අරගලයකට සුදානම් වීමේ හෝරාවයි.

රහසිගතව ගොඩ නැගූ ආණ්ඩුවේ වැඩ පිළිවෙල ඔක්තෝබර් 26 ILO කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය හා නොවැම්බර් 02 ටාජ්සමුද්‍රා හෝටලේ වැඩමුළුව කඩාකප්පල් කිරීම තුලින්  කුමන්ත‍්‍රණ බළලා මල්ලෙන් එලියට පැන ඇත.” ස්වාධීන වෘත්තිය සමිති සන්ධානයේ ක‍්‍රියා මාර්ග අතිශය සාර්ථකවිනි. ආණ්ඩුවේ හා හාම්පුතුන්ගේ හතුරුකම් එලිපිටම ප‍්‍රදර්ශණය වන නමුදු නොපෙනෙන හතුරන් (ද්‍රෝහීන්) පන්තිය තුල හඳුනා ගැනීම ජයග‍්‍රහණයේ මාවත සකසා ගැනීම තීරණාත්මකය.

වැඩ කරන පන්තියට වාසිදායක යෝජනා වමතින් ලබාදී දකුණතින් එය නිශේධනය කරන යෝජනාද මෙම ඊනියා යෝජනාවලියේ ඇතුලත්ය. පන්තියේ නොපෙනෙන හතුරන් මෙම වාසි සහගතයැයි කියනු ලබන යෝජනා සිය වම්පස සංඥා ලාම්පු දීප්තිමත්ව අපගේ ඇස් නිලංකාර කරවන සේ නිසැකවම දල්වනු නියැතය. මක් නිසාද යත් ඔවුන්ගේ ගමනාන්තය දකුණු දිශාවට වන නිසාය. ඔබට ඔවුන් හඳුනා ගැනීමට අපහසු නොවන අතර ආණ්ඩුවේ හා අනෙකුත් මාධ්‍ය ඔවුන්ට නිසි පහසුකම් දැනටමත් සපයා දී අවසන්ය.

  • වැඩපල එලිමහන් සිර කඳවුරක් කරන කම්කරු නීති අකුලා ගනු !
  • EPF/ETF අරමුදල් වලට අත නොතබනු !
  • ප්‍රෝඩාකාරී විශ‍්‍රාම මර උගුල නවතා සැබෑ විශ‍්‍රාම අරමුදලක් සකසනු !
  • දරු පරපුර අනතුරේ හෙලන කාන්තා ශ‍්‍රම කොල්ලය නවතනු !
  • වැඩ කරන ජනතාව ඉල්ලා සිටින කම්කරු ප‍්‍රඥාප්තිය නීතිගත කරනු !
  • අභියෝගය පැරදවීමට සමස්ත වැඩ කරන පන්ති සහෘදයිනි එක්වව් !

චතුර සමරසිංහ – උප සභාපති, ලංකා වතු සේවා සංගමය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435