වෙළඳ කළාප සේවක සේවිකාවන් හට ආහාර හා නවාතැන් වහාම සපයන්න (ඡායාරූප)

කොරෝනා වෛරසය පාලනය වෙනුවෙන් ඇඳිරි නීතිය පැනවීම නිසා අතරමංව සිටින නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් සඳහා ආරක්ෂාවත්, නවාතැන් පහසුකම් හා ආහාර පාන ලබාදීමට පියවර ගන්නා ලෙස කොවීඩ් 19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් කමිටවේ සභාපති, ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලිපියක් යොමුකරමින් නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොරෝනා වෛරසය (කෝවිඞ්-19) පැතිරීම පාලනය කිරීමේ උත්සාහ ලෙස රජය විසින්  විටින් විට රාජ්‍ය අංශය සඳහා නිවාඩු දින ප‍්‍රකාශයට පත් කළ අතර, එම නිවාඩු දින පුද්ගලික අංශයට ද ලබා දෙන මෙන් ඉල්ලීම් කෙරුණි. ඒ අතර පසුගිය 19 වන දින ජනාධිපති ලේකම් විසින් ආයෝජන මණ්ඩලයේ සහ තේ මණ්ඩලයේ සභාපතිවරුන්ටත් කම්කරු කොමසාරිස් ජනරාල්ටත් පිටපත් සහිතව ඔබ ඇමතු ලිපියෙන් ආර්ථිකය පවත්වාගෙන යාම වෙනුවෙන් අත්‍යාවශ්‍ය අපනයන සඳහා නිෂ්පාදනය කරගෙන යාමට හාම්පුතුන්ට අවසර ලබා දෙන මෙන් හා ඒ වෙනුවෙන් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර ගැනීමටද දන්වා යවන මෙන් ඉල්ලීමක් කර තිබිණ.

එය නියාමනය කිරීමට යාන්ත‍්‍රණයක් නොවූයෙන් නිදහස් වෙඳ කලාප සහ අනෙක් කාර්මික උද්‍යාන වල කර්මාන්ත ශාලා බොහෝමයක් සේවක සේවිකාවන් සේවයේ යොදවනු ලැබිණ. පසුගිය 20 වන දින සවස 06 සිට ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කරන ලද අතර, ඒ වන විටද එම කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු සිදුකරමින් තිබිණ. එයට හේතු ලෙස සමාගම් හිමියන් සේවක සේවිකාවන්ට පවසා තිබූයේ අපනයන කර්මාන්ත ශාලා අඛණ්ඩව නිෂ්පාදන කටයුතු වල නියැලිය යුතු බවට අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම් ඔබ වෙත යොමු කර තිබූ ඉහතින් සඳහන් ලිපිය වේ.

එදින ඇදිරි නීතිය ප‍්‍රකාශයට පත් කළ පසු කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු අත්හිටුවනු ලැබූයේ සේවක සේවිකාවන්ට ඔවුන්ගේ ගම් බලා යාමට අවශ්‍ය කාලය ඇතිව නොවේ. එනිසා විශේෂයෙන් කටුනායක, බියගම සහ සීතාවක නිදහස් වෙළඳ කලාපවල බොහෝ සේවක සේවිකාවන්ට සිය ගම් බලා පිටත්ව යාමට නොහැකි විය. ඒ හේතුවෙන් අති විශාල සේවක සේවිකාවන් පිරිසක් එම ප‍්‍රදේශවල ඔවුන්ගේ නේවාසිකාගාරවල කොටු වී සිටිති.

මේ සේවකයින්ගේ ප‍්‍රශ්නද ඇතුලූව අප සංගමය ගරු කම්කරු සහ විදේශ සේවා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත 2020 මාර්තු මස 24 වන දින ලිපියක් යොමු කරනු ලැබූ අතර, එහි ඡායා පිටපතක් මේ සමග අමුණා ඇත. එහි සඳහන් පරිදිම මෙම ගැටලූව වඩාත් බරපතල වන්නේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ටය. කි‍්‍රයාත්මකව පවතින ඇඳිරි නීතිය සමග ආහාර සපයා ගැනීමේ කිසිදු අවකාශයක් ඔවුන්ට නොමැති හෙයින් ඊට විසඳුමක් ලෙස අප සංගමය විසින් කටුනායක පොලිසියේ අවසරය ඇතිව වියළි ආහාර ඇතුලත් පාර්සල් අද දින ඔවුන්ට බෙදා දීමට කටයුතු කළේය.

මෙසේ වියළි ආහාර පාර්සල් බෙදා දීම සඳහා කටුනායක ප‍්‍රදේශයේ අමන්දොළුව, ජයවර්ධනපුර සහ තවත් එවැනි ප‍්‍රදේශ කිහිපයකට ගිය අප සංගමයේ නියෝජිතයින්ට දැක ගැනීමට ලැබුණේ සමහර නේවාසිකාගාර වල 50-100 ප‍්‍රමාණය සේවක සේවිකාවන් පොදී ගැසී සිටින හැටිය. මෙවැනි බොහෝ නේවාසිකාගාර එම ප‍්‍රදේශවල පිහිටා ඇත. ඒවායේ පවතින අවම පහසුකම් සහ සීමිත ඉඩකඩ අනුව රජය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති සහ වෛද්‍ය උපදෙස් කිසිවක් අනුගමනය කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත. එදිනෙදා ආහාර සපයා ගැනීමට වත් නොහැකිව සිර වී සිටින මෙම සේවක සේවිකාවන්ගේ තත්ත්වය එබැවින් ඉතාමත් අවදානම් බැව් ඔබද පිළිගන්නවා නොඅනුමානය. අද දින අප නියෝජිතයින් විසින් එහිදී ලබාගත් ඡයාරූප කිහිපයක් මෙහි අමුණා ඇත.

මේ වනවිට කටුනායක පොලීසිය විසින් ඇතැම් ස්ථානවල අතරමංව ඉන්නා සේවක පිරිස් සඳහා පිසින ලද ආහාර පාර්සල තාවකාලිකව බෙදා හැරිම ආරම්භකර ඇත. එහෙත් මේ තත්ත්වයට මුහුණ දීම සඳහා යම් ස්ථාවර විසඳුමක් අවශ්‍ය බැව් අපගේ තේරුම් ගැනීම වේ. එබැවින් මේ පිළිබඳව ඔබගේ ක්ෂණික අවධානය යොමුකර එම සේවක සේවිකාවන්ට ඉදිරි දිනක නැවත සේවා වාර්තා කරන තෙක්  ඔවුන්ගේ සේවා ස්ථාන ආසන්නයේ කෝවිඞ්-19 වෛරසයෙන් ආරක්ෂාවීමට රජයේ උපදෙස් ක‍්‍රියාත්මක කළ හැකි අයුරු නේවාසික පහසුකම් සැපයීමටත් එතෙක් ඔවුන්ට අවශ්‍ය ආහාරපාන අඛණ්ඩව ලබා දීමටත් අවශ්‍ය පියවර ගන්නා මෙන් මෙමගින් කාරුණිකව ඉල්ලා සිටිමු.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435