වෛද්‍යවරුන්ගේ සංගමය නව රජයට සහයෝගය පළකරයි

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නිලධාරීන් අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී නව රජය යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ  අමාත්‍යවරිය ලෙස  පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පත්වීම පිළිබද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින් විසින් සිය ප්‍රසාදය පළ කරන ලදි.

මෙම සුහද හමුවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු සංගමයේ නිලධාරින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ පෙරදැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සෞඛ්‍ය සේවාවට අදාලව සදහන් කායික, මානසික, සාමාජීය යන ප්‍රධාන කරුණු 03 සහ ඊට අමතරව ඇතුලත් කොට ඇති අධ්‍යාත්මික නිරෝගීකම යන කරුණ පිළිබදවත්, එහි සදහන් තවත් ප්‍රධාන කරුණු 20 ක් පිළිබදවත් සාකච්ඡා කරන ලදි. එමෙන්ම අතීතයේ සෞඛ්‍ය නිර්ණායක ඉදිරිපත් කිරීමේ දී මරණ අනුපාතිය ප්‍රධාන සාධකය ලෙස යොදා ගත් බවත්, වර්තමානයේ නිරෝගීකම නිර්ණායක් වශයෙන් යොදාගෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසිය යුතු බවත්, වසවිසෙන් සහ මත්ද්‍රව්‍ය වලින් තොර සමාජයක් බිහි කිරීමට සෞඛ්‍ය සේවාවේ අවධානය යොමු විය යුතු බවත් අවධාරණය කරන ලදි. නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් ගන්නා වූ සියලු ක්‍රියාමාර්ග සදහා සිය සංගමයේ සහයෝගය ලබාදෙමින් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සෞඛ්‍ය සේවාවට අදාල එක් එක් කරුණු සම්බන්ධයෙන් වෙන වෙනම සාකච්ඡා කොට විසදුම් ලබාදීමට සිය සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කරන ලදි.

එමෙන්ම ගුණාත්මක හා කඩිනම් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා සහ තීන්දු තීරණ පිළිබදව ද අමාත්‍යවරිය දැනුවත් කිරිමට පියවර ගන්නා ලදි. දිවයිනේ සියලු රෝහල්වලට හිඟයකින් තොරව ඖෂධ ලබාදීම සදහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට තමන් සතු ක්‍රමෝපායන්, දත්ත හා තොරතුරු ලබාදීමට  පියවර ගන්නා බව ද පැවැසීය.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණය උදෙසා ගරු අමාත්‍යවරිය ගෙන යන වැඩපිළිවෙලට සිය සහයෝගය ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටි අතර සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ අහිංසක දුගී දුප්පත් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක ප්‍රතිලාභ ලබාදීමට අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ තමන් ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය දැක්වීම අගය කොට සළකන බවයි.

ඉදිරියේ දී ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වා‌‌ගෙනයාම සදහා සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීය සමිති සමග ද සාකච්ඡා පවත්වා එම වෘත්තිය සමිතිවල අදහස් හා යෝජනා ද ලබාගන්නා බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවැසිය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435