වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගෙන් රතු එළි

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරී කාර්යය මණ්ඩලයේ අවශ්‍යතාවයන් ඉටු නොවන්නේ නම් හා ඒ පිළිබඳව සාකච්ඡා නොකරන්නේ නම් සියළු රාජකාරී වලින් ඉවත් වීමට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන්ටද සිදු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්, භද්‍රාණි ජයතිලක මහත්මිය වෙත රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ලිපියක් මගින් දන්වා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොවිඩ් 19 ලෝක වසංගත තත්ත්වය පාලනය කිරීමේදී එම රෝගීන් හඳුනා ගැනීම සඳහා දැනට සිදු කෙරෙන RT-PCR පරීක්ෂණය සහ කොරෝනා ආසාධිතයන් ජීවිත තර්ජනයකින් තොරව බේරා ගැනීම සඳහා ඔවුන්ගේ විවිධ සංකූලතා හඳුනා ගැනීමටත් ප්‍රතිකාර වල සාර්ථකත්වය තහවුරු කිරීමටත් අදාල සියළු වෛද්‍ය පරීක්ෂණ සිදු කරනු ලබන්නේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් විසිනි. එසේම ඉදිරියේදී මෙම රසායනාගාර පරීක්ෂණ රසායනාගාර තුලට පමණක් සීමා කරමින් සිදු කිරීම ප්‍රායෝගික විය නොහැකි බව අප විශ්වාස කරන අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවක ක්ෂේත්‍රගතව එම පරීක්ෂණ සිදු කිරීමට පවා අප නිළධාරීන් සූදානමින් සිටී.

මෙම පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී උක්ත නිළධාරීන්ට අත්‍යාවශය වන මූලික ආරක්ෂිත උපකරණ සහ රෝගය බෝ කර ගැනීමකින් තොරව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය මූලික උපකරණ පද්ධති සහ අවම පහසුකම් සකසා දෙන ලෙසත් එය රෝග ව්‍යාප්තියට සාපේක්ෂව කල් තියා ගොඩනගන ආකාරයත් පිළිබඳව ලිපි ගණනාවකින් කරුණු දක්වා ඇත.

නමුත්  සාමාන්‍ය තත්ත්වයන් යටතේ එම කරුණු කෙරෙහි නිසි සැලකිල්ලක් සෞඛ්‍ය අමාත්‍යාංශය නොදක්වා ඇති අතර අද වන තුරුත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පවා අවස්ථාවක් ලබා දී නොමැත. මෙය වනාහී වර්ජන තර්ජනයක් නොමැතිව වැඩ නොකරන සෞඛ්‍ය අමාත්‍යාංශ පිළිවෙත බව තහවුරු කර ඇති අතර වර්ජන තර්ජන සිදු කරන පාර්ශ්වයන් සඳහා පමණක් විසඳුම් ලබා දීමේ පිළිවෙතද කරලියට පැමිණ ඇති බැවින් අකමැත්තෙන් වුවද එම තත්ත්වයට පත් වීමට අප වෘත්තිකයන්ටද සිදුවී ඇත.

ඒ අනූව ඉදිරි කාලය තුල අප කාර්යය මණ්ඩලයේ අවශ්‍යතාවයන් ඉටු නොවන්නේ නම් හා ඒ පිළිබඳව සාකච්ඡා නොකරන්නේ නම් සියළු රාජකාරී වලින් ඉවත් වීමට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන්ටද සිදු වන බව කණගාටුවෙන් දැනුම් දෙමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435