වෛද්‍ය වර්ජනය දිග්ගැස්සෙයි

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට විරෝධය පලකරමින් පසුගිය 21 වෙනි දින සරසවි සිසුන් දියත් කළ විරෝධතා ව්‍යාපාරයේදී සිසුන්ට කළ පහර දීම් හෙළා දකිමින් ඊයේ දිනයේ පෙරවරු 08.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

බලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීමත් වගකීම් විරහිත ක්‍රියාකලාපයත් හෙලා දකිමින් ආරම්භකළ මෙම වර්ජනය සයිටම් ජනසතු කරන තෙක් අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරන බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා  පවසා සිටින්නේ ඊයේ දහවල් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී අඛණ්ඩ වර්ජනයක් බවට පත්කිරීමේ තීරණය සංගමය විසින් ගත් බවයි.

රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වෙන කාලය තුළ හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වෙන බවත් මාතෘ රෝහල්, ළමා රෝහල, පිළිකා රෝහල මෙන්ම වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවල සේවාවන් වලට කිසිදු බාධාවක් නොවෙන බව හෙතෙම අවධාරණය කරයි.

තවද, ඩෙංගු රෝගය විශේෂිත හදිසි තත්ත්වයක්‌ සේ සලකා සියලු ඩෙංගු ප්‍රතිකාර කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්‌ඩව පවත්වාගෙන යාමටත්, බාහිර රෝගී අංශවල සහ උණ රෝගීන් හඳුනා ගැනීම සඳහා විශේෂිත වැඩපිළිවෙලක්‌ද සකස්‌ කර ඇති බවත් සංගමය පෙන්වා දේ.

කෙසේ වෙතත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගය නිසා රෝගීන්ට සිදුවෙන අවම බලපෑම බලධාරීන් විසින් භාරගත යුතු බවත් මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා පම්පෝරි දොඩවන්නේ නම් සියලුම අංශවල වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435