ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සුරක්ෂි ද ?

සෑම වසරකම දෙසැම්බර් 18 දා අන්තර්ජාතික සංක්‍රමණික දිනයයි. ශ්‍රී ලාංකිකයෝ ගණනාවක්, රැකියාව, පදිංචිය, මානුෂීය සහ වෙනත් හේතු නිසා විවිධ රටවලට සංක්‍රමණය වී තිබෙනවා. මැද පෙරදිග සහ වෙනත් රටවල සේවය කරන විදේශ ශ්‍රමිකයන් මෙන්ම, සරණාගතයන් ද, ස්ථිර ලෙස වෙනත් රටවල පදිංචි වී සිටින අය ද මීට අයිති වෙනවා. ඔවුන් විශාල ලෙස මැදපෙරදිග රටවලත්, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව ආදී ආසියාවේ අනෙකුත් විවිධ රටවලත්, ඇමෙරිකාවේ සහ කැනඩාවේත්, යුරෝපයේ විවිධ රටවලත්, අප්‍රිකාවේ සීෂෙල්ස් සහ දකුණු අප්‍රිකාව වැනි රටවලත්, ඕස්ට්‍රේලියාව ආදී ලෙස විවිධ රටවලට ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණය වී තිබෙනවා.

ලොව පුරා සංක්‍රමණය මානව සංස්කෘතීන්වල ප්‍රගමනයට සහ ශිෂ්ටාචාර ගොඩ නැගීමට බොහෝ සෙයින් දායක වී තිබෙනවා. අතීතයේ සිටම අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ ලංකාවට විවිධ රටවලින් පුද්ගලයන් සංක්‍රමය වී තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ වංශ කතා දෙස බැලූ කල පෙනෙන අනිත් කාරණය වන්නේ වැදි ජනතාව හැරුණු විට අනෙකුත් ජනවර්ග සියල්ලම සංක්‍රමණිකයන් ලෙස ලංකාවට පැමිණ තිබීමයි. වැදි ප්‍රජාව පවා සංක්‍රමණිකයන් සමග මිශ්‍ර වී තිබෙනවා. එසේම ලංකාවට විවිධ සංස්කෘතීන් ආභාෂයෙන් විවිධ දැනුම් පද්ධති, ඇදහිලි, සහ සම්පත් ලැබී තිබෙනවා. මේ ආකාරයෙන් ගත් කල සංක්‍රමණය මානව ශිෂ්ටාචාරවල ප්‍රගමනයේ අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. අතීතයේ නව භූමි සහ සම්පත් සොයාගෙන දුෂ්කර චාරිකාවල යෙදෙමින් වික්‍රමයන්හි යෙදීමට මිනිසුන් පෙළඹුනේ ඒ නිසයි. වෙළෙඳාම සඳහා, රැකියා සඳහා, අර්බුද තත්වවලින් ගැලවීම සඳහා, ආදී මිනිසුන් අදත් සංක්‍රමණය වෙනවා.

සංක්‍රමණයන්ට යන්නට ආ කල ශ්‍රී ලංකාව විශේෂයෙන්ම කතා කළ යුත්තේ සංක්‍රමණික ශ්‍රමිකයන් ගැනයි. මැද පෙරදිග සහ අනෙකුත් සංක්‍රමණික ශ්‍රමිකයන් විසින් ලංකාවේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් සපයනවා. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව විදේශ ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට අධික වෙනවා. 2018 දී ලංකාවට එවූ රුපියල් ප්‍රමාණය දළ වශයෙන් 1,271,015,095,000 පමණ වෙනවා. ඒ ගැන අගය කිරීම සිදු කරනවා මෙන්, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සඳහා තවදුරටත් කටයුතු කිරීමත්, ඔවුනට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමත්, නොපුහුණු ශ්‍රමිකයන්ට වඩා පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යැවීමට අවස්ථා පුළුල් කිරීමත්, පහසුම් සැලසීමත් කළ යුතු වෙනවා. එසේම සංක්‍රමණික ශ්‍රමිකයන් රැවටීම්වලට, කුට්ටනයට, ලිංගික හිංසනවලට ලක්වීමෙන් වලක්වා ආරක්ෂා කර ගැනීමට රජය මෙන්ම, දේශීය විදේශීය ආයතන ද, අදාළ විදේශ රැකියා ආයතන ද, අනෙකුත් පාර්ශ්ව ද එකතු වී කටයුතු කිරීම වැදගත් වෙනවා.

මානව සංක්‍රමණයට තවත් එක් වැදගත් සාධකයක් වන්නේ මනුෂ්‍යාට තම ජීවිතය රැකගෙන ආරක්ෂාකාරීව ජීවත් වීමට වටපිටාවක් නොමැති වීමයි. තවද තම ජීවිතය ගරුත්වයකින් යුතුව නිදහසේ භුක්ති විදීමට නොහැකි අවස්ථාවලත් මිනිසුන් සරණාගතයන් ලෙස සංක්‍රමණය වෙනවා. ඔබ ජීවත් වන නිවස ආරක්ෂාකාරී හෝ නිදහස් පරිසරයකින් යුතු නොවේ නම්, ඔබ වෙනත් ප්‍රදේශයකට ජීවත් වීමට යනවා. මෙසේ මානුෂීය කාරනා නිසා සංක්‍රමණිකයන් බෝහෝ ජීවිත තර්ජන මැද තම ජීවිතය සොයා වෙනත් රටකට යනවා. වැඩිවශයෙන් දිළිඳු සහ මධ්‍යම ආදායම් ලබන දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන් ඉතා අවදානම් ලෙස නීති විරෝධීව හෝ වෙන රටකට සංක්‍රමණය වෙනවා. විශේෂයෙන් මුහුදු මාර්ගයෙන්. මෙසේ ජීවිත අවදානමක් රැගෙන මිනිසුන් සංක්‍රමණයට හේතු වන්නේ කෙසේ හෝ තම ජීවිතය රැක ගන්නටයි. අන්ත්ර්රජාතික සංක්‍රමණ සංවිධානයේ (The International Organization of Migration (IOM)) දත්ත වාර්තාවලට අනුව 2014 ජනවාරි 01 සිට 2019 ඔක්තෝම්බර් 22 දක්වා සංක්‍රමණිකයන් 33,686 දෙනෙකු මියගොස් හෝ අතුරුදහන් වී තිබෙනවා. ජීවිත් ආරක්ෂාව පතා එන සරණාගතයන්ට මානුෂීයව සැළකීම අවශ්‍ය වන්නේ එය ජීවිතයත් මරණයත් අතර සටනක් නිසා.

එසේම අප තවදුරටත් සිතිය යුත්තේ අපේ රටට පැමිණෙන සංක්‍රමණිකයන්ට අපි සලකන්නේ කෙසේ ද යන්නයි. ලාංකික සංක්‍රමණිකයන්ට වෙනත් රටවල දී මානුෂීය ලෙස සලකන්නට ඉල්ලා සිටින අතරම, අපේ රටට පැමිණෙන සංක්‍රමණිකයන්ට මනුෂ්‍යත්වයේ දෑත දිගු කිරීම ද, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ද, ඔවුන් කුට්ටනයට, ලිංගික හිංසන ඇතුළු වෙනත් හිරිහැරවලට ලක් වීමෙන් වලක්වා ගැනීමට අප කටයුතු කළ යුතු වෙනවා.

සංක්‍රමණික ජනතාව ගැන කතා කරන විට සාකච්ඡාවට ගැනෙන තවත් වචනයක් නම් ‘ඩයස්පෝරා’ වචනයයි. ග්‍රීක වචනයක් වන එයින් ‘විසිරී පැවතීම’ යන අර්ථය ගෙන දෙනවා. ලංකාවේ ඩයස්පෝරා කියූ සැනින් සාමාන්‍ය ජනතාවට නිතැතින් සිහියට නැගෙන්නේ ඍණාත්මක ආකල්පයක්. මන්ද විවිධ දේශපාලඥයින් හා ජනමාධ්‍ය විසින් මෙම වචනය එක් ජනවාර්ගයකට අයත් ප්‍රජාවකට පමණක් ලඝු කර ඇති නිසා. එය අර්ධ සත්‍ය හා වැරදි ලෙස හුවා දැක්වීමක්. ‘ඩයස්පෝරා’ යනු තම මව්බිමෙන් මිනිසුන් පිටවීම හෝ තම මව්බිමෙන් පිටව ගිය හෝ ඉවත් කරන ලද සමාන අනන්‍යතාවයකින් යුත් පුද්ගල ප්‍රජාවක්. එබැවින් එය වෙනත් රටක ඕනෑම රටවැසියන්, ජනවර්ගයක්, සුළුතර ප්‍රජාවක් හෝ වෙනත් අනන්‍යතාවයක් සහිත ප්‍රජාවක් වන්නට පුළුවන්.

ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකීය සංක්‍රමණිකයන් මෙන්ම, ලංකාවේ සිටින විදෙස් සංක්‍රමණිකයන් ද ගෞරවයෙන් සිහිපත් කරන අතරම සැමට ආරක්ෂාකාරී ලොවක් ගොඩ නැගීමට ක්‍රියා කිරීම අප සැමගේ වගකීමක්.

(දෙදුන් සංවාද මුහුණ පොතෙන්)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435