සංක‍්‍රාන්ත‍්‍රික සමාජභාවය ගැන වෙනස් වූ කථිකාවක්

පසුගිය මැයි මස 25 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංක්‍රාන්ති සමාජභාවය (Transgender) ‘මානසික අක්‍රමිකතා’ (Mental Disorder) ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. එමඟින් ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා අක්‍රමිකතාව’  (Gender Identity Disorder) අන්තර්ජාතික රෝග වර්ගීකරණය (ICD) තුළින් ඉවත් කරනු ලැබුවා. මෙය ලොව පුරා සිටින සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට විමුක්තිදායක උද්යෝගයක් වනු ඇතැයි හියුමන් රයිට්ස් වොච් ආයතයන පවසන බව “දේදුනු සංවාද” සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ,

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පළ කරන  ICD-11 යනුවෙන් හඳුන්වන අන්තර්ජාතික රෝග විනිශ්චය පිළිබඳ පොතේ  ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා අක්‍රමිකතාව වෙනුවට ස්ත්‍රී පුරුෂසමාජභාවී අනන්‍යතා නොගැලපීම යනුවෙන් වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා. තවද ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා නොගැලපීම පෙර පැවති ‘මානසික අක්‍රමිකතා’ ලැයිස්තුවෙන් ‘ලිංගික සෞඛ්‍ය’ පිලිබඳ පරිච්ඡේදයකට ඇතුලත් කරනවා. මෙම වෙනස්කම් ශ්‍රී ලංකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ රටවල් 194හි ඉදිරි වසර 3 ඇතුලත සිදුවීමට නියමිතයි.

වසර 1990 මැයි 17 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමලිංගිකත්වය මානසික අක්‍රමිකතා ලැයිස්තුවෙන් ඉවත් කළා. නමුත් ‍සංක්‍රාන්ති සමාජභාවය මානසික අක්‍රමිකතා ලැයිස්තුවෙන් ඉවත් කිරීම එතරම් පහසු වුනේ නැහැ. මෙතෙක් කල් එය එසේ තබා ගත්තේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාව සංක්‍රාන්තිය හා සම්බන්ධ සැත්කම්, හෝමෝන ප්‍රතිකාර ආදී කටයුතුවල දී මනෝ වෛද්‍යවරුන්ගේ සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගැනීමට එය රෝගයක් ලෙස හැඳින්වීම උදව් වුන නිසයි. නමුත් සංක්‍රාන්ති සමාජභාවය යනු රෝගයක් නොවේය යන අදහස වෛද්‍ය ක්ෂේත්‍රය පුරා දිගු කාලයක් තිස්සේ පැවතුනා.

ඒ අතරම සංක්‍රාන්ති සමාජභාවය රෝගයක් ලෙස හැඳින්වීම සංක්‍රාන්ති පුද්ගලයන් සමාජයේ කොන් කිරීමට, රෝගීන් ලෙස හංවඩු ගැසීමට ලක් වීමට හේතු වුනා. රෝග ලැයිස්තුවෙන් ඉවත් කිරීම එම තත්වය වෙනස් වීමට ලොකු රුකුලක් වනු ඇතැයි අපේ විශ්වාසයයි.

හැබැයි දිගු කාලීන ලෙස සමාජයට සහ වෛද්‍ය වෘත්තිකයන්ට කා වැදුනු වැරදි අදහස් එක වරම මෙවැනි වෙනස් වීම්වලින් ඉවත් වෙන්නේ නැහැ. 1990 සමලිංගිකත්වය මානසික අක්‍රමිකතා ලැයිස්තුවෙන් ඉවත් කළත්,  අදටද ශ්‍රී ලංකාව තුළ ඇතැම් මානසික වෛද්‍යවරු, සහ චිකිත්සකවරු සමලිංගිකත්වය රෝගයක් නොවන බව කියන අතරේම, සමලිංගිකත්වය වෙනස් කළ හැකි බව කියමින් යල් පැන ගිය, ඇතැම් විට කෘර වූ ප්‍රතිකාර ක්‍රම සමලිංගිකයන්ට ලබා දීමට කටයුතු කරනවා. මුදල් පදනම්ව පෞද්ගලික මට්ටමින් මෙය සිදුවෙනවා. ඇතැම් විට ඒ ගැන පුවත්වත්වල වෙළෙඳ දැන්වීම්  හා සමාජ ජාලාවල දැන්වීම් ද පළ කිරීමට මොවුන් පෙළඹෙනවා. සංක්‍රාන්ති සමාජභාවයටද එසේමයි. මෙතෙක් කල් ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා අක්‍රමිකතාව’ (Gender Identity Disorder) පෙන්වමින් කූට ප්‍රතිකාර ක්‍රම පවත්වා ගෙන පුද්ගලයින්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තීරණයෙන් පසු එය පැවසීමට නොහැකි වනු ඇතැයි අප සිතනවා. නමුත් අප දන්නා පරිදි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් තුළ සමලිංගිකත්වය හා සංක්‍රාන්ති සමාජභාවය පිලිබඳ සමාජ නොදැනුවත්කම හේතුකොටගෙන තවමත් නිසි ආචාරධර්මවලට, විද්‍යාත්මක දැනුම අනුව කටයුතු නොකරන ව්‍යාපාරයන් විවිධ පුද්ගලයින් පවත්වාගෙන යනවා. ‍මෙවැනි ප්‍රතිකාර ඇතැම් “දියුණු” යැයි කියවෙන රටවලත් සිදු වෙනවා. ඒ නිසා මෙම වෙනස් වීම දීර්ඝ කාලීන ලෙස විශාල ගෝලීය වෙනසකට හේතු වනු ඇති.

සංක්‍රාන්ති සමාජභාවය පිලිබඳ ආකල්ප හා ක්‍රියා මාර්ග ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ රෝහල්වල මේ වන විට ඉතා ධනාත්මක තලයක තිබුනත් ඒවා වැඩි දියුණු කිරීමට කළ යුතු බොහෝ දේ තිබෙනවා. නමුත් දැනට සිදුවන ක්‍රියා මාර්ග පිලිබඳ සතුටු විය හැකි අතර සංක්‍රාන්ති සමාජභාවය පිලිබඳ පමණක් නොව සමලිංගිකත්වය පිළිබඳව මානසික සෞඛ්‍ය මට්ටමින් සිදු කළ යුතු බොහෝ කරුණු තිබෙනවා. ශ්‍රී ලංකා මනෝචිකිත්සක විද්‍යාලය මඟින් සමලිංගිකත්වය රෝගයක් නොවන බවට ප්‍රසිද්ධ නිවේදනයක් 2018 වසරේදී නිකුත් කළා. එහිදී ඔවුන් කියා සිටියේ  “සමලිංගික ලිංගික හැසිරීම් අපරාධයක් ලෙස සලකන නීති ඉවත් කරන්න ශ්‍රී ලංකා මනෝචිකිත්සක විද්‍යාලය ඕනෑම නීතිසම්පාදක ක්‍රියාදාමයට සහයෝගය දෙන්න කැමැතියි” කියායි. එහෙත් තවමත් මෙම කූට ව්‍යාපාරිකයන් අවදානම් සහිත මෙම ප්‍රජාවන් තම ලාභ ප්‍රයෝජනය සඳහා බිල්ලට දෙනවා.

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිලිබඳ නීතිමය පියවරයකට නුදුරේම එළඹෙනු  ඇතැයි අපි අපේක්ෂා කරමු.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435