සණස කුමන්ත්‍රණයට එරෙහිව සේවකයින් මහ පාරට

සණස සංවර්ධන බැංකුවේ ශාඛා සංගමය මර්දනය කිරීමේ චේතනාවෙන් යුතුව එහි සභාපති පී. ජී සුනිල් මහතා සේවයෙන් පහ කිරීමේ අරමුණෙන් කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවත්, සභාපතිවරයාට එරෙහිව ඊනියා චෝදනා පත‍්‍රයක් නිකුත් කිරීමට  විරුද්ධව එක්දින සංකේත වැඩ වර්ජනයක්  රන බවත් ලංකා බැංකු සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ  2020 ජනවාරි 17 වැනිදා (සිකුරාදා) මෙම වර්ජනය දියත් කරන බවයි.

එකී නිවේදනයේ මෙසේද දැක්වෙයි.

ලංකා බැංකු සේවක සංගමයේ සණස සංවර්ධන බැංකුව ශාඛාව මර්දනය කිරීමේ අරමුණෙන් යුතුව එහි සභාපති පී ජී සුනිල් මහතාට එරෙහිව ඊනියා චෝදනා පත‍්‍රයක් නිකුත් කොට විනය පරීක්‍ෂණයක් පවත්වා ඔහු සේවයෙන් පහ කිරීමට සණස සංවර්ධන බැංකුවේ කළමනාකාරිත්වය මේ වනවිට කටයුතු කරමින් සිටියි.

බැංකු කළමනාකාරිත්වය එලෙස කටයුතු කරමින් සිටින්නේ සුනිල් මහතාට එරෙහිව නිකුත් කොට ඇති ඊනියා චෝදනා පත‍්‍රය පිළිබඳව සංගමය විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කරනු ලැබීමෙන් පසු ඒ පිළිබඳව 2020 ජනවාරි 22 දින පරීක්‍ෂණයක් පැවැත්වීමට නියමිතව තිබියදීය. එබැවින් බැංකු කළමනාකාරිත්වයේ අරමුණ කුමක් ද යන්න එයින්ම පැහැදිලිවනු ඇත.

මේ වනවිට සණස සංවර්ධන බැංකුව ව්‍යාපාරික වශයෙන් බිඳ වට්ටවා බැංකුවේ ලාභය චේතනාන්විතවම අවම කොට කොටස් වෙළඳපොළේ බැංකුවේ කොටස් මිල පහත හෙළීමේ ක‍්‍රියාන්විතයක් දියත් වෙමින් පවතී. කොටස් මිල පහත වැටුණු පසු අඩු මිල යටතේ එම කොටස් මිලදී ගැනීමට අලූතින් බැංකුවට පැමිණි ඉහළ තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනෙකු සහ ඔවුන් වටා සිටින ව්‍යාපාරික මාෆියාවක් ක‍්‍රියාත්මක වෙමින් සිටී. ඔවුන්ගේ අවසන් අරමුණ වන්නේ වැඩි කොටස් ප‍්‍රමාණයකට හිමිකම් කියමින් බැංකුවේ හිමිකාරිත්වය තමන් සතුකර ගැනීමයි.

එහිදී බැංකුව පිහිටුවනු ලැබූ මූලික අරමුණෙන් බැහැර වී, ග‍්‍රාමීය දිළිඳු සමූපකාරික ප‍්‍රජාවගේ අයිතියෙහි තිබූ බැංකුව, එම බැංකුවට මෑතක දී පත්ව ආ ඉහළ තනතුරු දරන නිලධාරීන් ඇතුළු මුදලාලි මාෆියාවක් අතට පත්වේ. එය බැංකුවට මෑතක දී පත්ව ආ ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ අරමුණයි.

සණස සංවර්ධන බැංකුව පිහිටුවනු ලැබුවේ සණස සමිතිවල එක් රැස්වූ මුදල් බැංකුවේ ප‍්‍රාග්ධනය ලෙස යොදවමිනි. සණස සමිතිවල මුදල් එක්රැස්වූයේ දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ග‍්‍රාමීය දිළිඳු සමූපකාරික ප‍්‍රජාව තමන් දෛනිකව උපයන රුපියලෙන් රුපියල සණස සමිතිවල තැන්පත් කළ බැවිනි. පසු කලෙක  එම රුපියල, ව්‍යාප්තව වැඩුණු සණස සංවර්ධන බැංකුව නම් මහා මුල්‍ය ආයතනයේ ප‍්‍රාග්ධනය බවට පත්වුණි. එම නිසාම නිතැතින්ම බැංකුවේ සැබෑ උරුමකරුවන් වන්නේ ඉහත කී ග‍්‍රාමීය දිළිඳු සමූපකාරික ප‍්‍රජාවයි. මුලින් සඳහන් කළ මුදලාලි මාෆියාව විසින් ඩැහැ ගනු ලැබීමෙන් පසු බැංකුවට උත්පත්තිය දුන් සමූපකාර ව්‍යාපාරය ද අඩපණ වී බැංකුවේ සැබෑ උරුම කරුවන්ගෙන් බැංකුවේ අයිතිය විතැන්ව යෑමේ අවදානමක් දැඩිව පවතී.

බැංකුවට මෑතක දී පත්ව ආ ඉහළ තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු මුදලාලි පැලැන්තියට ඔවුන්ගේ දුෂ්ට අරමුණු ඉටුකර ගැනීම සඳහා එකම බාධාව වී ඇත්තේ ලංකා බැංකු සේවක සංගමයේ සණස සංවර්ධන බැංකුව ශාඛාවයි. එබැවින් ශාඛා සංගමයේ සභාපති සුනිල් මහතාට එරෙහිව ඊනියා චෝදනා පත‍්‍ර නිකුත් කොට අනීතික, අසාධාරණ විනය ක‍්‍රියාමාර්ග ගෙන ඔහු සේවයෙන් පහකොට ඒ තුළින් ඔවුන්ට ඇති එකම බාධාව වන ශාඛා සංගමය මර්දනය කිරිම ඔවුන්ගේ අරමුණයි.

කෙසේ වෙතත් මෙකී මුදලාලිකරණය තුලින් බැංකුවේ සමූපකාරික අරමුණු විනාශ වී සේවකයන්ගේ රැකියා ද අනාරක්‍ෂිත තත්වයට පත්වනු ඇත. එබැවින් සුනිල් සහෝදරයාට එරෙහිව බැංකුව විසින් ගනු ලබන විනය ක‍්‍රියාමාර්ගවල අවසන් වින්දිතයන් බවට පත්වන්නේ බැංකුවේ සමස්ත සේවක මණ්ඩලයයි. එම නිසා ඉහත සඳහන් කරුණුවලට එරෙහිව සංගමය විසින් 2020 ජනවාරි 17 (සිකුරාදා) එක්දින සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බව සඳහන් මෙම නිවේදනය ඔබ වෙත කාරුණිකව යොමු කරමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435