සමාගම් හිමියන් පොරොන්දු කඩ කරයි

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ආණ්ඩුව විසින් පනවන ලද ඇඳිරි නීතිය හේතු කොට ගෙන රටේ ආයතන වසා දැමීම නිසා සේවකයන් සේවයෙන් ඉවත් නොකරන බවට සහ ඔවුන්ට වැටුප් ගෙවන බවට සමාගම් හිමියන් වෘත්තීය සමිතිවලට සහ කම්කරු ඇමතිවරයාට දුන් පොරොන්දු සමහර සමාගම් විසින් කඩකර ඇත.

මෙසේ ඇඳිරි නීතිය පැනවීම නිසා බරපතලම අර්බුදයට මුහුණ  දී ඇත්තේ හෝටල්, සංචාරක සහ ඇඟළුම් ක්‍ෂෙත‍්‍රයන්වල සේවකයන්ය. ඒවායින් ද වැඩිම සේවක සංඛ්‍යාවක් සිටින්නේ ඇඟළුම් අංශයේ ය. කොරෝනා වසංගතය පැතිර යාම නිසා 2020 මාර්තු 20 දා සිට ඇඳිරි නීතිය පැනවීමට ආණ්ඩුව කටයුතු කළේය. මාර්තු 19 වන දා සවස් වන තුරු සමාගම් හිමියන් සේවකයන්ගෙන් වැඩ ගැනීම හේතුවෙන් ගම් බිම් බලා යාමට බස් නොමැති වීම නිසා ඔවුන්ට නිවෙස් කරා යාමට ද නොහැකි වී කලාපයේ බෝඩිං වල සිර විය. ඔවුන්ට වැටුප් නිසි වේලාවට නොලැබුණු අතර ආහාර පාන ආදිය ලබා ගැනීමට ද විධි ක‍්‍රමයක් නොමැති විය.

එම සේවකයන් උත්සව සමය සඳහා හිලව්වට නිවාඩු දිනවල ද වැඩ කළ ද බොහෝ සමාගම් ඒ සඳහා ඔවුන්ට ලබාදිය යුතු මුදල් ද, පසුගිය වසරේ වැඩ කිරීම වෙනුවෙන් උපයාගත් බෝනස් ආදිය ද ලබා නොදී ඒවා තම ලාභ ගොඩට ම දමා ගත්තේය.

සමහර සමාගම් තම සේවකයන්ට ලබා දුන්නේ මාර්තු 19 දක්වා වැටුප් පමණි. මේ අතරවාරයේ වසංගතය නිසා සමාගම් හිමියන්ට සහ සේවකයන්ට මුහුණ දීමට සිදුවන ප‍්‍රශ්ණ පිළිබඳව සොයා බැලීම සඳහා කම්කරු අමාත්‍යාංශය මගින් කාර්ය සාධක බලකායක් පත් කරන ලදී.

එය කම්කරු ඇමතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හාම්පුතුන්, වෘත්තීය සමිති සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගෙන් සමන්විත විය. වැඩ පොලවල් වසා දැමීමත් සමග මෙම බලකාය වෙත පැමිණි සමාගම් හිමියන් සහ ඔවුන්ගේ ඒජන්තයන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ වන්දි නොදී සේවකයන් ඉවත් කරන්නට අවසරයයි.

රටේ සාමාන්‍ය ජනතාවට පමණක් නොව නායකයන්ටද පාරවල්වල ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් තිබිය දී හාම්පුතුන් උත්සාහ කළේ කම්කරුවන්ගේ විරෝධය නිසා වසර කිහිපයක සිට කර ගන්නට නොහැකිව තිබුණු කම්කරු නීති සංශෝධන ක‍්‍රියාත්මක කරවා ගැනීමටය. වෘත්තීය සමිතිවලට සිය සාමාජිකයන් කැඳවා රැස්වීම් පැවැත්වීමට තිබුණු තහංචිය හාම්පුතුන් තම වාසියට හරවා ගත්තේය. මේ සඳහා හාම්පුතුන්ට කම්කරු කොමසාරිස්වරයාගේ නොමද සහාය ද ලැබුණි.

මෙම යෝජනාවලට විරුද්ධව කාර්ය සාධක බලකායට සහභාගි වූ වෘත්තීය සමිති කළ මැදිහත්වීමෙන් වසංගත තත්වය නිසා සේවකයන් ඉවත් නොකිරීමටත් මැයි සහ ජුනි මාස සඳහා සේවක වැටුප් ලෙස රු. 14500 ක් හෝ මූලික වැටුපෙන් භාගයක් යන දෙකින් වැඩි මුදල ගෙවීමටත් පාලකයන් එකඟතාවයකට පැමිණියේය.

මෙම එකඟත්වයට පැමිණෙන විටත් සමහර සමාගම් කම්කරු කොමසාරිස්වරයාට කිසිදු දැනුම්දීමක් නොකර තමන්ගේ සේවක පිරිස් ඉවත් කර තිබුණි. ලංකාවේ සෑම සමාගමක්ම පාහේ නව තත්ත්වය තුල තම ආයතනවල සේවය කළ මෑන්පවර් සේවකයන් සහ පරිවාස පදනමේ සේවය කළ සේවකයන් ඉවත් කර ඇත. එස්ක්වෙල් සමාගම ඊනියා ස්වෙච්ඡා විශ‍්‍රාම යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දී එය පිළිගැනීමට සේවකයන්ට බල කරමින් ස්ථිර සේවකයන් විශාල ප‍්‍රමාණයක් ඉවත් කළේය.

මෙම තත්වය තුල තම රැකියා නොලැබීම නිසා සහ ආදායම් අහිමිවීම නිසා පීඩාවට පත් වූ සේවකයන් තමන්ගේ ගැටළු වෘත්තීය සමිතිවලට සහ කම්කරු කාර්යාලවලට ඉදිරිපත් කළෝය. නමුත් මේ සම්බන්ධව කම්කරු දෙපාර්තමේන්තුව ගන්නා ක‍්‍රියා මාර්ගයන් ඉබි ගමනේ පවතී. මේ හේතුව නිසා දසදහස් ගණන් සේවකයන් බලවත් අසීරුතාවයන්ට මුහුණ දෙමින් සිටිති.

නිදහස් වෙළඳ කලාප ආශ‍්‍රිතව තරුණ තරුණියන් එක් අතෙකින් කෑම බීම පවා නොමැතිව අසරණව සිටින අතර අනෙක් අතින් හිඟ බෝඩිම් කුලී සහ කඩවලට හිඟ ණය ඉල්ලන කඩ හිමියන්ගේ පීඩනයට හසුව සිටී. මෙම තත්වය උපයෝගී කර ගත් මෑන් පවර් කොන්ත‍්‍රාත්කරුවන් මෙම රැකියා අහිමි අසරණ තරුණ තරුණියන් අඩු වැටුපට සමාගම්වලට සපයමින් තම කොමිස් මුදල් තර කර ගනිති.

සංවර්ධනයේ එන්ජිමට ඇල්වතුර

ඉහත සඳහන් කළ තත්වයන් සියල්ලට මුහුණ දී ඇත්තේ යූඑන්පී, ශ‍්‍රී ලංකා සහ පොදු ජන පෙරමුණු ආණ්ඩු තම සංවර්ධන ක‍්‍රියාවලියේ එන්ජිම ලෙස සළකන පුද්ගලික අංශයේ සේවකයන් ය. එසේ වුවද ඇඳිරි නීතිය ආරම්භයේ සිටම අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය අංශයේ සියළුම සේවකයන්ට සේවයට නොපැමිණ සිටියදී ඔවුන්ගේ සියළුම වැටුප් අඩු නැතිව ලබා දුන් අතර මේ දක්වාම සමහර දෙපාර්තමේන්තුවල සේවකයන් කැඳවන්නේ කොටස් වශයෙනි.

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත්වීම සඳහා රු. 54000 ක් අවශ්‍ය බව පවසයි. එසේ තිබියදී පසුගිය ආණ්ඩුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රු. 13500 ක් කළ අතර රජයේ සේවකයන්ගේ අවම වැටුප රු. 34000 ක් කලේය. කොරෝනා සමය තුළ රාජ්‍ය සේවකයන් හැකි තරම් අඩු කාලයක් වැඩකර සම්පූණ වැටුප් සහ දීමනා ලබා ගන්නා අතරවාරයේ පුද්ගලික සේවකයන්ට සිදුව ඇත්තේ තමන් උපයා ගන්නා වැටුපත් පාලකයන්ටම පුද කරන්නට ය.

මේ සියල්ල සිදු වන්නේ පුද්ගලික අංශයේ සේවකයන්ට තලා පෙලා, බැණ වැදී විනාඩියක් ප‍්‍රමාද වන විට පඩි කපා සේවකයන්ගෙන් වැඩ ගැනීමට හාම්පුතුන්ට සම්පූණයෙන් ඉඩ ලබා දී තිබියදී ය. සමහර ඇඟළුම් ආයතනවල සේවකයන්ට විශාල පඩියක් දෙන බව පෙන්වීමට පැමිණීමේ දීමනා, නිෂ්පාදන දීමනා ආදිය ලෙස විශාල මුදලක් එකතු කලද එක් දිනක් සේවයට නොපැමිණියහොත් හෝ ඉලක්ක ලබා නොදුනහොත් එම දීමනා කපා හරියි. බොහෝ විට ඉතිරිවන්නේ මූලික වැටුප පමණි.

එහෙත් ඒවා ගැන කථා කිරීමට වෘත්තීය සමිති නොව සුභ සාධක සමිතියක් පවා හදා ගැනීමේ අයිතිය ඔවුන්ට අහිමිය. මේ අයිතීන් සුරැකීමට පිහිටුවා ඇති කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව නිදි වැද සිටිති.

චමින්ද ගල්හේන /වමේ හඩ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435