සයිබර් ආරක්ෂාව කොහෙට යයිද?

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම, සයිබර් ආරක්ෂණ නියෝජිතායතනයක් පිහිටුවීම සහ ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයන් සඳහා විධිවිධාන සැලැස්වීම“ අරමුණු කළ බව පෙන්වාදෙමින් හඳුන්වාදෙනු ලැබූ ‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතක්“ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය විසින් මේ වන විට ඉදිරිපත් කර තිබේ. පිළිබඳ මහජන අදහස් හා යෝජනා එළඹෙන ජූනි මස 06 දිනට පෙර ලබාදිය යුතු බව රජය විසින් නිවේදනය කර ඇතත් මෙම කෙටි ලිපිය පළවන අද (07) දිනය වන විටත් මෙම පනත් කෙටුම්පත බව කියන ලියවිල්ලට අදාළ සිංහල හෝ ද්‍රවිඩ පිටපත් ප්‍රකාශයට පත් කිරීමට රජයට හැකියාවක් ලැබී නැත.

රටේ සෑම සියලු ජන කොටසකටම අදාළව බලපවත්වන ඉතාම වැදගත් නීතියක් ලෙස ස්ථාපිත කිරීමට සැලසුම් කර පවත්නා පසුබිමක රටේ අතිශය බහුතර ජනතාවකගේ සන්නිවේදන භාෂාවන් මෙන්ම රාජ්‍ය භාෂාවන්ද වන සිංහල හෝ ද්‍රවිඩ භාෂාවන්ගෙන් මෙම නීති කෙටුම්පත ප්‍රකාශයට පත් නොකිරීම බලවත් අඩුපාඩුවකි. අනෙක් අතට නීතිමය ප්‍රකාශනයක්/කෙටුම්පතක් යනු හුදෙක් මතු පිට කියවීමකින් පමණක් වටහා ගත හැකි යමක් නොව එය අනෙකුත් නීතිමය ප්‍රතිපාදනයන්, වරප්‍රසාද, මානව හිමිකම්, ආදී බොහෝ දේ සමග සන්සන්දනාත්මකව හා විශ්ලේෂණාත්මකව ගැඹුරින් කියවා වටහා ගත යුතු දෙයකි. එබැවින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදීමද අත්‍යවශ්‍යය. ඉංග්‍රීසි පිටපත පවා ප්‍රකාශයට පත් කොට ගෙවී ඇත්තේ දෙසතියකටත් අඩු කාලයකි. ඒ නිසාම මෙවන් කඩිමුඩියක මෙවන් තීරණාත්මක නීතියක් පැනවීමට සැලසුම් කිරීම පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේත්, උගත් බුද්ධිමත් ක්‍රියාධරයින්ගේත්, පොදු ජනයාගේත් පවත්නා සැකසංකා සුළුපටු නොවේ.

‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’ සම්බන්ධව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය (IMA) විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ පවා දැක්වෙන්නේ සිංහල පිටපතක් ප්‍රකාශයට පත්නොවීම, මහජන අදහස් විමසීම සඳහා ඉතාමත් සීමා සහිත කාලයක් ලබාදීම උචිත නොවන බවයි.

එම නිවේදනයේ මෙසේද දැක්වෙයි.

ලෝකය පුරා සන්නිවේදන කටයුතු වල මේ වන විට ප්‍රමුඛස්ථානය ගෙන ඇත්තේ අන්තර්ජාලය මත පදනම් වූ සන්නිවේදන වේදිකාවන්ය. එම නිසාම එම අන්තර්ජාල වේදිකාවල ආරක්ෂාව, එම වේදිකාවල අන්තර්ගතයන්, ඒවායේ දත්ත සහ තොරතුරුවල ආරක්ෂාව මෙන්ම පුද්ගලිකත්වය (Privacy) පිළිබඳවත් ලෝකය පුරා අවධානය යොමුව ඇත්තේ බොහෝ කලක සිට බව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය(IMA) අවධාරණය කරමු.

එම තත්වය තුළ ශ්‍රී ලංකාවේ එම කතිකාව එතරම් පළල් මට්ටමක නොවුණත්, අන්තර්ජාල නිදහස, පුද්ගලිකත්වය, ආචාරධර්ම සහ මානව හිමිකම් මත පදනම් වූ අන්තර්ජාල භාවිතාවක් පිළිබද සාකච්ඡාවක් මේවන විටත් ආරම්භ වී ඇත. එහි එක් ක්‍රියාකාරීත්වයක් ‘සමාජ මාධ්‍යය ප්‍රකාශනය: කොළඹ 2019’ නමින් පසුගිය මාර්තුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිවිල් සංවිධාන 16 කගේ කොළඹ දී එළිදැක්වීය.

එවැනි සංදර්භයක් තුළ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති ‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’ පිළිබඳව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ දැඩි අවධානය යොමු කරමු.

එහි දී මෙවැනි සංවේදී මෙන්ම ඉතාමත් ගැඹුරින් අධ්‍යනය කලයුතු මෙන්ම සැලකිය යුතු විෂයක් සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතක් මහජන අවකාශයේ සාකච්ඡාවට, සංවාදයට ලක්කිරීම සදහා ලබා දී ඇති කාලය පිලිබඳ අපි කිසිසේත්ම සතුටු නොවෙමු.

විශේෂයෙන් ලංකාවේ එතරම් ගැඹුරින් සාකච්ඡා නොවන එහෙත් සාකච්ඡා විය යුතු කලාපයක් වන අන්තර්ජාලය/ සයිබර් අවකාශය පිළිබඳ වන ‘පනත් කෙටුම්පතක්’ පිළිබඳ මහජන සාකච්ඡාව සදහා දින 13කට ආසන්න කාලයක් පමණක් ලබා දී තිබීම පිලිබඳ අප ක්‍රියාකාරීත්වය පුදුමයට පත් වෙමු.

එබැවින් එම කෙටුම්පතේ අන්තර්ගතයන් පිළිබඳව සාකච්ඡා කිරීමට සහ අදහස් ඉදිරිපත් කිරීමට පෙර, ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය භාර අමාත්‍ය, අජිත්. පී. පෙරේරා මහතාගෙන් අප ඉල්ලා සිටින්නේ අවම වශයෙන් එක් මසක් වත් මේ සදහා ලබා දිය යුතු බවයි.

එසේම, මෙම පනත් කෙටුම්පත බා ගත කර හැකි වෙබ් අඩවි වල (www.mdiit.gov.lk හා www.cert.gov.lk) දක්වා ඇත්තේ පනත් කෙටුම් පතෙහි ඉංග්‍රීසි පිටපත පමණි. එය තවත් ලෙසකින් සිංහල සහ දෙමළ භාෂාව පමණක් භාවිතා කරන මහජනතාවට මෙහි අන්තර්ගතය හොදින් ග්‍රහණය කර ගැනීමට ඇති ප්‍රමුඛ බාධකයකි. එයින් සිදුවන්නේ ඉතා සංවේදී විෂයක් සදහා ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පතට මහජන අදහස් ලබා දීම ගැටලුවක් ව ඇති බවයි. එසේම පනතේ ම 34වන වගන්තියේ දක්වා ඇති පරිදි, ‘සිංහල භාෂාවෙන් ඇති පනත බලාත්මක වන බව’ සඳහන් වුවත්, එහි සිංහල හෝ දෙමළ පනත් කෙටුම්පතක් තවමත් නොමැති වීම පනත් කෙටුම්පත පිළිබඳ ජනතාව තුළ සැකයක් මතු වීමට ඉඩ ඇති බව ද අප ක්‍රියාකාරීත්වයේ මතයයි.

තවද ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති නොසන්සුන්කාරී වාතාවරණයක් තුළ, සමාජ මාධ්‍ය වේදිකාවන් පසුගිය කාලය පුරා 3වරක් පමණ ලංකාව තුළින් පිවිසීම අවහිර කර තිබූ තත්වයක් තුළ සහ අන්තර්ජාලය හා බැඳී සමාජ මාධ්‍ය වේදිකාවන් පිළිබද සාවද්‍ය මතයන් වගකිවයුතු බලධාරීන්ගෙන් පවා ප්‍රකාශ වන සංදර්භයකදී මෙයට වඩා වැඩි වගකීමකින් සහ සංවේදී භාවයකින් මෙවැනි විෂයක් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ අදහසයි.

එම නිසා ඉදිරිපත්කර ඇති ‘සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත’ ලංකාවේ භාෂා ප්‍රතිපත්තියට ගරු කරමින් සිංහල සහ දෙමළ භාෂා වලින් ඉදිරිපත් කිරීමට ද, අවම ලෙස එක් මසක්වත් මෙය පොදු මහජන අවකාශයට මුදා හරිමින් විවෘත සංවාදයකට ලක් කිරීම, මෙවැනි විෂයක් සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් ගෙන ඒමේදී බලධාරීන්ගේ පූර්ණ වගකීමක් බව අප තරයේ අවධාරණය කරමු.“

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ‘වැඩබිම‘ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් නීතිඥ ජගත් ලියනාරච්චි විසින් පළ කරනු ලැබුවේ මෙවන් අදහසකි.

“සයිබර් ආරක්ෂණ පනත් කෙටුපත‘ කීවත් ඒක තාමත් ‘පනත් කෙටුම්පත්‘ අවස්ථාවටවත් ඇවිත් නෑ. තාම තියෙන්නේ ‘ග්‍රාෆ්ට් බිල්‘ කියන මට්ටමේ. කොහොම වුණත් තාක්ෂණික විෂයකට අදාළ දෙයක් නිසා සෑම ජනතාවකටම අදහස් ලබා ගැනීම ප්‍රයෝගික නෑ. නීතියක් සකස් කිරීමට ජනතාවගේ අදහස් විමසීම අත්‍යවශ්‍ය නෑ. නමුත් මෙහිදී ජනතාව සහභාගි කරවා ගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රීය වශයෙන් හොඳ දෙයක්. මේ සම්බන්ධයෙන් ප්‍රශංසා කළ යුතුයි. පනත් කෙටුම්පත දිහා බැලුවම මෙයින් උත්සාහ කරන්නේ සයිබර් ආරක්ෂණය හා රැකවරණය පිළිබඳ ප්‍රතිපාදන සැකසීම සඳහා මූලික රාමුව ස්ථාපිත කිරීමයි. ප්‍රධාන වශයෙන් ආයතන දෙකක් පිහිටුවීමට යෝජනා කරනවා. නියෝජිත ආයතනයක්(ඒජන්සියක්) හා මෙහෙයුම් ඒකකයක් ලෙස. ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කිරීම විෂය බාර ඇමතිවරයාට පැවරී තියෙනවා. වැදගත්ම දෙයක් නම් තීරණාත්මකව තොරතුරු සැපයීම සඳහා කරන ආයතන හඳුනාගෙන එම ආයතන සඳහා වෘත්තීය වගකීමක් පැවරීමයි. සයිබර් සන්නිවේදනය පාදක කරගත් ආයතන හඳුනා ගෙන ගැසට් කරලා වගකීම් පවරන්න නියමිතයි. තම තමන්ගේ පද්ධතිය තුළ තොරතුරු ආරක්ෂා කර ගැනීමේ වගකීම පවරනවා. ඒක ඉතාමත් වැදගත්. මොකද වානිජ කටයුතුවල සහ ආරක්ෂණ කටයුතුවලදී සයිබර් අවකාශය නැතිනම් අන්තර්ජාලය සමග පුද්ගලික අංශය පවා සම්බන්ධවෙනවා. ආරක්ෂණයක් ඇති කළොත් එයින් සේවය සලසා ගන්නා ජනතාවට සුරක්ෂිතභාවයක් ඇති වෙනවා. ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවලට කොයිතරම් දුරට අදාළ වෙනවද කියන කාරණය දැනගත හැක්කේ මෙම පනත මත අමාත්‍යවරයා විසින් පනවන රෙගුලාසි මතයි. “

නීතිඥවරයා පෙන්වාදෙන අන්දමට මෙම ප්‍රයත්නය අගය කළ හැකි වුවද, ඔහුම අවසාන වශයෙන් අවධාරණය කරන පරිදි ‘ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවලට කොයිතරම් දුරට අදාළ වෙනවද කියන කාරණය දැනගත හැක්කේ මෙම පනත මත අමාත්‍යවරයා විසින් පනවන රෙගුලාසි මත‘ නම් ඒවා කෙරෙහි කෙතරම් විශ්වාසයක් තැබිය හැකිද? රටේ උද්ගතවන හදිසි ව්‍යසනයන්හිදී හිතු මනාපෙට සමාජජාලා වෙබ් අඩවි අවහිර කිරීමට කිසිදු මැලිකමක් නොදක්වන පාලකයින්ගෙන් වඩාත් සාධාරණ රෙගුලාසි බලාපොරොත්තු විය හැකිද?

සයිබර් ආරක්ෂණය ලෙස හුවාදක්වමින් අලුතින් ගෙන ඒමට සූදානම්වන පනත මගින් සමාජ මාධ්‍ය පාලනයට අවස්ථාව උදාවන බව ‘ශ්‍රී ලංකා පරිවර්තන සමූහය“ ද පෙන්වාදෙයි. ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ‘සයිබර් ආරක්ෂණ ආයතනයක්‘ පිහිටුවීමට යෝජනා කෙරෙන බවත්, එම ආයතනයේ අධ්‍යක්ෂවරුන්, ප්‍රධානීන් පත්කරනු ලබන්නේ දේශපාලන පාලනාධිකාරියෙන් බවත්, එම ආයතනයට රටේ පවත්නා සියලුම තොරතුරු පද්ධතීන් හා දත්ත ගබඩාවල දත්ත විවිධ අවශ්‍යතාවන් සඳහා ලබාගැනීමට බලතල හිමිවන බවත් ‘ශ්‍රී ලංකා පරිවර්තන සමූහය“ අවධාරණය කරයි. එසේම පුද්ගලික ගිණුම්වලට ප්‍රෙව්ශවීමට හැකිවන අතර එම දත්ත ආරක්ෂක අංශවලට හා වෙනත් පුද්ගලයින්ට ලබාදීමට හිමිකමක් ලැබීමද ඔවුන් අනතුරක පෙරනිමිත්තක් සේ දකියි.

කෙසේ වෙතත් සයිබර් ආරක්ෂාව, සයිබර් අපරාධ මර්දනය, බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම ආදී අවශ්‍යතා වෙනුවෙන් මීට පෙර අවස්ථාවන් ගණනාවකදී යම් යම් නීතිමය විධිවිධාන සකස්වී තිබේ.
‘2006 අංක 19 දරන ඉ‍ලෙක්ට්‍රොනික ගනුදෙනු පනත“ ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම මගින් ස්ථාපිත ප්‍රමිති ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය පිළිබඳ ආදර්ශ නීතිය (1996) සහ ඉලෙක්ට්‍රොනික අත්සන් පිළිබඳ ආදර්ශ නීතිය මත පාදක වී ඇත. 2007 අංක 24 දරණ ‘පරිගණක අපරාධ පනත“ පරිගණක අපරාධ හඳුනාගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැලැක්වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම පිණිස විධිවිධාන සපයයි. 2005 අගෝස්තු 23 වන දින පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාද කරනු ලැබූ අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ ‘බී’ ස්ථාවර කාරක සභාවේදී පුළුල් ලෙස ප්‍රතිශෝධනය කරන ලදී. 2007 මැයි මාසයේදී එය නීතියක් ලෙස පැනවූ අතර 2007 ජුලි 9 දින කථානායකතුමා විසින් සහතික කරන ලදී.

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ පදනම වනුයේ පරිගණකයක්, පරිගණක වැඩසටහනක්, දත්ත හෝ තොරතුරු වෙත නිත්‍යානුකූල නොවන අන්දමින් ප්‍රවේශ වීම අපරාධයක් ලෙස හඳුනා ගැනීමයි. එසේම පරිගණයක් වෙත ප්‍රවේශ වීමට වරදරකරුට අධිකාරි බලයක් තිබුණේද යන්න නොතකමින් නිත්‍යානුකූල නොවන අයුරින් පරිගණක භාවිතය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වූ විධිවිධානයක්ද එහි ඇතුළත්ය. අධිකාරි බලයක් නොමැතිව අනවසරයෙන් දත්ත වෙනස් කිරීම, වෙනස් කිරීම හෝ මකා දැමීම මෙම පනත අනුව වරදක් වන අතර අධිකාරි බලයක් සහිත පුද්ගලයෙකුට ප්‍රවේශය අත්කර ගැනීම වැළැක්වීම පිණිස පරිගණකයේ වඩ සටහන් සකස් කිරී‍මද වරදකි. පරිගණක වෛරස් වැඩසටහන්වල නිශ්චිත කාර්ය වෙනස් කිරීම සඳහා කේත ඇතුලත් කිරීම මගින් පරිගණකයට හානි හෝ අලාභ කිරීම, තොරතුරු අනවසරයෙන් පිටපත් කිරීම, පරිගණක සේවා අධිකාරී බලයක් නොමැතිව භාවිතා කිරීම සහ එක් පරිගණකයක සිට පරිගණකයකට පරිගණක වැඩ සටහන්, දත්ත හෝ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේදී ඒවා අත් කර ගැනීමද මෙම පනත යටතේ අපරාධ වේ. වැරදි වි‍මර්ශනය සඳහා පනත නව ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. පරිගණක අපරාධ වැරදි විමර්ශනය කිරීමේදී පොලිසියට සහාය වීමට විශේෂඥ මණ්ඩලය පත් කිරීමට පනතේ විධිවිධාන සලස්වා ඇත.

වර්තමානයේ, පුද්ගලික අංශයද ඇතුළත් කරගනිමින් දත්ත ආරක්ෂණ භාවිත සංග්‍රහයක් මත පදනම් වූ ප්‍රතිපත්තියක් රජය පවත්වාගෙන යන අතර 2003 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ පනවන ලද රෙගුලාසි හරහා ව්‍යවස්ථාපිත පදනමක් ඒ සඳහා ඇති කිරීමේ හැකියාව ද පවතී. එබැවින්, මෙම ප්‍රවේශය ස්වයං හෝ සම-නියාමන ප්‍රවේශයක් ලෙස දැකිය හැක.

බුද්ධිමය දේපල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගත් කළ, 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත මගින් 1979 අංක 52 දරන බුද්ධිමය දේපල සංග්‍රහ පනත ප්‍රතිස්ථාපනය කරන ලදි. 2003 බු.දේ. පනතෙහි මෘදුකාංග, වෙළඳ රහස් සහ අනුකලිත පරිපථ ආරක්ෂාවට අදාල නව වගන්ත කිහිපයක් ඇතුළත් වේ.

පහත පනත් ශ්‍රී ලංකා රජයේ ඉලෙක්ට්‍රොනික නීතිවලට අදාළ වේ.

2003 අංක 27 දරන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පනත

2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත (ප්‍රකාශන හිමිකම්වලට අදාළ කොටස්)

2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත

2005 අංක 28 දරණ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත

2006 අංක 30 දරණ ගෙවීම් උපක්‍රම වංචා පනත

ඒ අනුව සයිබර් ආරක්ෂාව ශක්තිමත් කරනු පිණිස පවත්නා නීති සංශෝධනය කිරීම හෝ නව නීති පැනවීම හෝ සිදුකිරීම ගැටළුවක් නොවේ. එහෙත් එමගින් භාෂණයේ හෝ ප්‍රකාශනයේ නිදහස අහිමි කරලීම, පුද්ගලිකත්වයට හානි පැමිණවීම ආදිය නොවන ලෙස වගබලාගත යුතුය. කඩිමුඩියේ ගෙන එමින් කඩිමුඩියේම සම්මත කරගන්නා නීතිවලින් නොව මහජනයා වඩාත් සහභාගිකරවා ගනිමින් මෙවන් නීති ගෙන ඒමට සැලසුම් කරන්නේනම් වඩාත් සාධනීය වනු ඇත.

සටහන – පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435