ස්ත්‍රි නියෝජනය – සරල විවරණයක්

ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ   මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 වගන්තිය  ප්‍රකාර පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රි පුරුෂ භේදය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ වෙනත් එබඳු හේතු මත වෙනස් කමකට හෝ සීමා කිරීමකට භාජනය නොවිය යුතුය. එසේම ශ්‍රි ලංකාවේ පරමාධිපත්‍ය බලය රටේ මහජනයා සතු බව ද ඉතා පැහැදිලිව සඳහන්ය. එකී පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහාය. එනිසා පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන යන ව්‍යුහයන් ත්‍රිත්වයම තුල රටේ ජනගහන සංයුතියේ සියළු පැතිකඩ නියෝජනය විය යුතුය. ඒ අනුව ජාති, ආගම්, කුල පමණක් නොව ලිංගික වැනි වෙනත් ආකාර වල වෙනස් කම් ඇත්තවුන්ගේද තර්කාණුකූල වූ නියෝජනයක් මෙරටේ පාලන ව්‍යුහයන් තුල පවතී.

එහෙත් රටේ ජනගහනයෙන් මේ වන විට 52% ඉක්මවා සිටින ස්ත්‍රිහු පසුගිය 2018 පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන තෙක් කිසිඳු රාජ්‍ය පාලන ව්‍යුහයක 6% ඉක්මවා ගොස් නොතිබුණි.වර්තමාන  පාර්ලිමේන්තුව තුලත් ඊයේ පෙරේදා විසුරුවන ලද පළාත් සභා තුලත් තත්ත්වය එසේය.  2017 ජනවාරි වන විට ලෝකයේ ස්ත්‍රි නියෝජනය සම්භන්ධ දර්ශකයේ අප සිටියේ ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය යන රටවල් වලටද පහලින් එනම් 179 වන ස්ථානයේය. ස්ත්‍රි පුරුෂ සමානාත්තාමතා ලෝක දර්ශකයේද අප සිටිනුයේ පහතින්මය.

තිරසර සංවර්ධන ඉලක්කයන්හි පස් වැන්න සමාජයීය වශයෙන් ස්ත්‍රි පුරුෂ සමානත්වය හා සමසාධාරණත්වය ඇති කිරීම වන අතර අනෙකුත් මූලික ඉලක්කයන් සපුරා ගැනීම උදෙසාද එය අත්‍යාවශ්‍යය. අප රටද එක්සත් ජාතීන් වෙත ඒ වෙනුවෙන් බැඳී සිටින අතර තිරසර සංවර්ධනය වෙනුවෙන් අමාත්‍යාංශයක්ද ස්ථාපිත කර ඇත්තේ එනිසාය. එම කරුණත් ජාතික හා ජාත්‍යන්තර ව දශක කීපයක් තිස්සේ  කරණු ලැබූ ඉ ල්ලීම් හා බලපෑමත් නිසා නොකරම බැරි තැන නීති සංශෝධනය කර පළාත් පාලන ආයතන තුල ස්ත්‍රි නියෝජනය ස්ථාපිත කිරීමට බලධාරීන් කටයුතු කලා මිස එය නියෝජිත ප්‍රජාතත්‍රවාදයේ මූලිකාංගයක්ය යන අවබෝධයකින් යුතුව කළා දැයි සැක සහිතය. කෙසේ වුවද ඉදිරි ගාමී පියවරක් වන මෙය ආරම්භයක් හැටියට ඉතා හොඳය.

පළාත් සභා මැතිවරණයක්ද ඉදිරියේදී පැවැත්වීමට නියමිත හෙයින් පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිථලය එහි ඇති අඩුපාඩුකම් පිළිබඳවද කල්පනා කල හැකි වන සේ සරලව විග්‍රහ කර ගැනීම කාලෝචිතය.  මීට පෙර අවස්ථාවේදී එනම් 2011 පළාත් පාලන මැතිවරණයේදී තේරී පත් වූ සභික සංඛ්‍යාව 4486ක් වූ අතර ඉන් 82ක් පමණක් ස්ත්‍රින් විය. එනම් ස්ත්‍රිහු 1.8% කි.  2018 දී තේරී පත්වූ මුළු සභික ප්‍රමාණය 8721 කි. 2011 වසරේදී 4404ක් වු පිරිමි සභික ප්‍රමාණය 2018 වසරේදී 6702ක් බවටද 82ක් වූ ස්ත්‍රි සභික ප්‍රමාණය 1919ක් බවටද පත් විය. එය වෙනත් අයුරකින් 2011 වසරට අනුරූප කලහොත් ගැහැණු 1919 – 82 =1837 ක්ද පිරිමි 6702 – 4404 =2298 ක්ද ලෙස වැඩි වී ඇත. මුළු සභික සංඛ්‍යාවද දෙගුණයකට කිට්ටු වන ලෙස වැඩි වී ඇත.

මෙම තත්වය උදා වූයේ  70% ක් සෘජු හා 30%ක් සමානුපාතික ලෙස තෝරා ගැනීම සඳහා වූ මුල් යෝජනාව විශේෂයෙන් කුඩා දේශපාලන පක්ෂ වල උවමනාව මත පාර්ලිමේන්තුවේදී පිළිවෙලින් 60% හා 40%  ලෙස වෙනස් කර සම්මත කර ගත් නිසාය. මුල් යෝජනාව ක්‍රියාත්මක වූවා නම් මුළු සභික සංඛ්‍යාව 6000 නොඉක්මවන්නට තිබූ අවස්ථාව එම හේතුව නිසා ගිලිහී ගියේය. එනිසා 2011 වසරේ තිබූ ප‍ළාත් පාලන නියෝජිත වරියන් සංඛ්‍යාව වූ 82 කට  තවත් 1886ක් එකතු වී ඇත. එසේම එම වසරේ 4404 ක් වූ පිරිමි අගයට 2298ක් එකතු වී ඇත.  ස්ත්‍රි නියොජනය වැඩි කිරීමේ ප්‍රවේශය හරහා වැඩි වී ඇති පිරිමි නියෝජනය ස්ත්‍රි නියෝජනයට වඩා වැඩිය.

මෙම ඡන්ද ක්‍රමය තුල නිරීක්ෂණය කල හැකි තවත් විශේෂ දුර්වලතාවයක් ඇත. ස්ත්‍රි නියෝජනයේ අපේෂිත 25% වෙනුවට ඇත්තේ 22%කි. එයට එක් හේතුවක් ලෙස ස්ත්‍රි නියෝජනය නොමැතිවම සභා ගණනාවක් පිහිටුවීමට සිදු වීම ගත හැක. අනෙක් කරුණ වන්නේ  ජයග්‍රාහි පාලක පක්ෂය නියෝජනය කරන ස්ත්‍රි සභික ප්‍රතිශතය රටේ පොදු අගයට වඩා සෑහෙන පම‍ණකින් අඩුව  තිබීමයි. පසුගිය පළාත් පාලන මැතිවරණය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාය යාමක් වැනි ජයග්‍රහණයක් ලබා ගති. ඔවුන් සථාපිත කර ගත් පළාත් පාලන ආයතන වල කුඩා කොට්ඨාශ වලින් අති බහුතරය ජයග්‍රහණය කර තිබීම හා එනයින් එල්ලන ලද සභිකධූර ලැබීමත් නිසා ඔවුන්ට ලැයිස්තු මංත්‍රි ධූර නොලැබුණි. එහෙයින්  එම සභා වල ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියොජනය කරන ස්ත්‍රි  සභික ප්‍රමාණය එම පක්ෂයේ පිරිමි සභිකයන් ප්‍රමාණයෙන් 15% ඉක්මවා ඇත්තේ කළාතුරකිනි.

උදාහරණයක් ලෙස කඩුවෙල මහ නගර සභාව ගතහොත් එහි මුළු සභික සංඛ්‍යාව 48කි. ඉන් 26ක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ් වන අතර එජාප 11 ක්ද ජවිපෙ හා ශ්‍රිලනිප 5 බැගින්ද ස්වාධීන 1ක් ද  වේ. එහි කොට්ඨාශ 28ක් වන අතර ඉන් 26ක්ම ශ්‍රි ල පොදුජන පෙරමුණ දිනා ඇති අතර ශ්‍රිලනිප හා එජාප 1 බැගින් දිනා ඇත. එල්ලන ලද සභික ධූරද 2කි. ශ්‍රිලපොපෙ 26න් 3ස්ත්‍රි වන අතර එජාප 11න් 4ක්හා ශ්‍රිලනිප හා ජවිපෙ 5න් 2 බැගින්ද ස්ත්‍රිහු වෙති. මුළු ස්ත්‍රි සභික ප්‍රමාණය 48න් 11කි(23%). එහි එය එජාප සභික සංඛ්‍යාවෙන්  37% ක් හා ශ්‍රි ලනිප හා ජවිපෙ සභික සංඛ්‍යාවෙන් 40%  බැගින් වන අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු සභික සංඛ්‍යාවෙන් 11% කි.  එනිසා මුළු නියෝජනය 23%ක් ගැහැණු වුවද බලය ඇති ශ්‍රි ලපොපෙ හි ගැහැණු සිටිනුයේ තම පිරිසෙන් 11% කි. කෝට්ටේ මහා නගර සභාව ගතහොත් එහිද බලය ඇති ශ්‍රිලපොපෙ සභිකයන් 18න් ගැහැණු දෙදෙනෙක් පමණි. මුළු ස්ත්‍රි නියෝජනය වන 8න් 4ක්ම එනම් 50%ක් එජාප අයය. සමස්ථ මැතිවරණ ප්‍රතිඑලය අනුව පළාත් පාලන  ආයතන අති බහුතරයක එජාප දෙවැනි තැනට පත් වූ අතර ස්ත්‍රි නියෝජනයේ බර වැඩිපුරම දරා ගැනීමට සිදු වූයේ ඔවුන්ටය.

මේ අනුව බලන විට  ස්ත්‍රි නියෝජනයේ ව්‍යාප්තිය විෂම බව අවබෝධ කර ගත හැකිය.

නව මැතිවරණ නීතිය අනුව ඒ ඒ පළාත් පාලන ආයතනය සමන්විත වන මන්ත්‍රි  කොට්ඨාශ වලින් අවමය 10% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වන ලෙස කොටඨාශ තරඟ කිරීම සඳහා ස්ත්‍රින් යෙදවිය යුතුය. ඉන් පසු අපේක්ෂිකා  සංඛ්‍යාව 25% ක අවමය වන ලෙස ඉතිරිය ලැයිස්තුවට ඇතුලත් කල යුතුය. කළාතුරකින් හැර දේශපාලන පක්ෂ විසින් අවමය ඉක්මවා කොට්ඨාශ තරඟ කරන්නට හෝ ලැයිස්තුවට තරඟ කාරියන් ඉදිරිපත් කලේ නැත.  එම  නිසා ස්ත්‍රි නියොජනය පක්ෂ අතර අසමාන ව්‍යාප්තියක් ද සහිතව 22% ලෙස 2018 දී පිටවනු ලැබූ පළාත් පාලන වල ස්ථාපිත ව ඇත.

මේ අනුව බලන විට පාලක පක්ෂය තුල ස්ත්‍රි නියෝජනය ඉතාම සුළු නිසා තීන්දු තීරණ ගැනීමේදී ඔවුන්ට කල හැකි බලපෑම ඉතාම අල්ප බව අවබෝධ කර ගත හැකිය. එසේම සමස්ථ ස්ත්‍රි සභික සංඛ්‍යාවෙන් ඉතා වැඩි පිරිසක් බලය අහිමි දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන නිසා ඔවුන්ටද තීන්දු තීරණ ගැනීමේදී එතරම් සාධනීය දායකත්වයක් ලබා දිය නොහැකිය.

ස්ත්‍රි සභික 1919 න් අතිබහුතරය නවකය. එමෙන්ම පිරිමි සභිකයන් 6702 අතර ද නවකයෝ අතිවිශාල ප්‍රමාණයකි. සමහර පක්ෂ හා කණ්ඩායම් විසින් නාමයෝජනා දීමට එහෙන් මෙහෙන් සොයා ගන්නා ලද තමා ජයග්‍රහණය කරතැයි හීනෙකින් වත් නොසිතූ අයද මේ අතරය. විවිධ ලැදියාවන් මත පත් වූවෝද බොහෝය. දූශිතයෝද එමටය.

ස්ත්‍රි නියෝජනය රටට නවමු අද්දැකීමක් නිසා විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ඔවුන්ව ඉලක්ක කර ගනිමින් පුහුණු වැඩසටහන් සැසි යනාදිය සංවිධානය කලද සංඛ්‍යාත්මකව වැඩි පිරිසක් වන නවක පිරිමි අයට එවැනි ඒවා විරලය. තිබෙන ඒවාට පිරිමි පැමිණීමද අඩුය. ඉහතකී සන් දර්භය තුල කිසියම් හෝ පුහුණුවක් හා/හෝ දැණුමැති ස්ත්‍රි සභිකයන් සුළු පිරිසක්  සභාව තුල සිටියද ඔවුන්ව තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සැලකිය යුතු ලෙස දායක කර ගන්නේදැයි යන්න ප්‍රශ්නගතය.

මෙම කරුණු සලකා බලා ඉදිරි පළාත් පාලන  මැතිවරණ වලදී කොටඨාශ තරඟ කිරීමට ඉදිරිපත් කල යුතු අවම ප්‍රතිශතය වැඩි කල යුතුය. එසේම ජන අනුපාතය අනුව ස්ත්‍රින් 52 බව අමතක නොකල යුතුය. ස්ත්‍රින් පමණක් තරඟ කරන කොට්ඨාශ/ පිආසන මැතිවරණයෙන් මැතිවරණයට නම් කිරීම වැනි නීති සංශෝධන වලට යා හැකිය.පළාත් සභා වලටද නාමයෝජනා ලබාදීමේදී 25 % ක් ස්ත්‍රින්වෙනුවෙන් වෙන් කිරීම සඳහා වූ නීති සම්පාදනය කර ඇතත් එය ආපසු හරවා පැරණි ක්‍රමයටම හෝ වෙනත් පසුගාමී ක්‍රමවේදයකට යාමේ සූදානමක්ද ඇති බව පෙනේ. එසේ නම් එය වැලැක්විය යුතුය. පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද එවැනි ක්‍රමවේදයක් නීතිගත කල යුතුය. මන්ත්‍රි ආසන ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි නොවන ප්‍රතිපත්තියක්ද අනුගමනය කල යුතුය. පවතින අසීරු වාතාවණය මැද පවා දැනට පළාත් පාලන ආයතන තුල සාධනීය දායකත්වයක් කරනු ලබන ස්ත්‍රි සභිකයන් කිහිප දෙනෙකුව වත් පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා ඉදිරිපත් කරවීමට කටයුතු කිරීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සාරය පිළිබඳව හැඟීමක් දැනීමක් ඇති සියළු දෙනාගේම වගකීමය.

ප්‍රියදර්ශනී ආරියරත්න

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435