ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කොට ශිෂ්ටත්වය වෙනුවෙන් පෙළගැසෙමු!

ස්ත්‍රීන්ට එරෙහි සකලවිධ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම ශිෂ්ට සම්පන්න සමාජයක ප්‍රමුඛතම සාධකය බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. එහිදී යුරෝ කේන්ද්‍රීය ශිෂ්ටත්වයේ සිහිනය තුළ එවන් රටවල් තබා ඇති ඉදිරි පියවර සාධනීය ලෙස බාරගත යුතුව ඇතත්, එකී කලාපය තුළ වුවද, ස්ත්‍රී හිංසනය තුරන්ව ඇතැයි කිව නොහැකිය. ලංකාවට සාපේක්ෂව ස්ත්‍රීවාදී ව්‍යාපාර, සිවිල් සංවිධාන, බුද්ධිමය මැදිහත්වීම් මෙන්ම සංවර්ධනයේ දර්ශක හේතුවෙන් යුරෝපීය රටවල් ඉදිරි පෙළ පසුවන බැව් සැබෑය. පවත්නා සමාජ යථාර්ථය තුළ පවා ශිෂ්ටත්වයේ ඉදිරි පිම්මක් පැනීම වෙනුවෙන් කළ හැකි මැදිහත්වීම කවරේදැයි ගැඹුරින් විමසා බැලිය යුතුය. ඊට ප්‍රථම පවත්නා තත්ත්වය නිවරදිව කියවා ගැනීම අත්‍යවශ්‍යය.

පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිකුත් කෙරුණු වාර්තාවන්ට අනුව 30%-40% අතර ලාංකීය ස්ත්‍රීන් කුමන අන්දමේ හෝ ප‍්‍රචණ්ඩත්වයකින් පීඩා විඳින බවත්, ශ්‍රී ලංකාව පුරාම ස්ත්‍රීන්ගෙන් 60% ක් ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්ව ඇති බවත් දැක්වෙයි.

“නිරෝගී පවුලක් ගොඩනැඟීමට පවුල තුළ බිරිඳ හිංසනයට ලක් නොවීම, ප්‍රධානතම සාධකයක් වනු ලැබේ. එසේම පවුල සමස්තයක් වශයෙන් ගෙන සැලකිය යුතු වේ. සේවාදායකයා පවුලේ ක්‍රියාකාරිත්වය සඳහා අරමුණක් එකතු කරනු ලැබේ. පවුල තුළ ගැටළුවක් යනු සංක්‍රාන්ති අවධියකි. ඒ තුළින් ඵලදායි ලෙස ක්‍රියාත්මකවීමට නොහැකි වේ. පවුල පද්ධතිය තුළ සංවිධානය හා පූර්ණතාව වැදගත්‍ වේ. ඒ තුළ ඒකක පවතී. මෙම ඒකකයක වෙනස අනෙක් කොටස්වල වෙනසටද, හේතුවේ. එම නිසා ගෘහය තුළ හිංසනයට ලක්වීම හිංසනයට ලක්වන තැනැත්තියට සේම මුළු පවුල් පද්ධතියේම පැවැත්මට හානියක් සිදුකරන්නකි” (නිවේදනී-2008 දෙසැම්බර්-පිටුව 70).

ගෘහය තුළ ආධිපත්‍ය දරන පිරිමින් විසින් තමාගේ නිවස තුළ තම සහකාරිය හිංසනයට හෝ පීඩාවට ලක්කිරීම හුදෙක් තමාගේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස දැකීම සුලබ සංසිද්ධියකි. “ඒක එයයි මායි අතර ප්‍රශ්නයක්. පිට මිනිස්සුන්ට අපේ ගෙදර පවුල් ප්‍රශ්න අදාළ නෑ” තමාගේ පහරකෑමට ලක්වන ස්ත්‍රීය සම්බන්ධයෙන් බොහෝ පිරිමින්ගේ ස්ථාවරය එවැනිය. ‘ගෙයි ගින්දර පිට දෙන්න හොඳ නෑ’ එවන් අවස්ථාවල ස්ත්‍රීන්ද, නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට එවන් ආප්තෝපදේශයක් ගුරු කොට ගැනීම සාමාන්‍යකරණය වී තිබේ. එහෙත් මේ දෙපාර්ශවයම සිතිය යුතු කාරණය වන්නේ ඉහතින් දැක්වු පරිදි එය හුදෙක් පවුල් ඒකකයේ හෝ ගෘහයට පමණක් අදාළ ස්වයංසිද්ධ ප්‍රශ්නයක් නොව මුළු සමාජ පද්ධතියේම පැවැත්මට හානි කර තත්ත්වයක් වන බවය.

ස්ත්‍රීන්ට එරෙහි ප්‍ර‍්‍රචණ්ඩත්වය එක් රටකට හෝ කලාපයකට පමණක් සීමා නොවේ. එය විවිධ සමාජ-දේශපාලන, ආර්ථික, සංස්කෘතික, ආගමික, ගෝත‍්‍රික සහ වාර්ගික චර්යාවන් මත සහසම්බන්ධ වන බැව් පෙනෙන්නට තිබේ. ස්ත්‍රීන්ට වෙනස් කොට සැලකීම සාමාන්‍යකරණය වී ඇත්තේත්, ඇතැම්විට සංස්කෘතික හා සම්ප්‍රදායික කාරණාවන් තුළ එය නොතකා හැරෙන්නේත් ඒ නිසාමය. මේ තත්ත්වයය නිසාම ස්ත්‍රී ආරක්ෂණ නීතිමය කරුණු පිළිබඳව පවා බොහෝ දෙනෙකු ‍නොදැනුවත්ය. ඒ නිසාම ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දෙන ස්ත්‍රීන්, වින්දිතයින් බවට පත්ව අනේකවිධ දුක් වේදනාවන් සඟවාගෙන සිටිනු දකින්නට ලැබෙයි. ස්ත්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව දැනුවත්ව සිටීම අද දවසේ බොහෝ වැදගත් වන්නේ ඒ නිසාය.

වයස, සමාජ පන්තිය, වර්ගය, ආගම, කුලය, හා ස්ථානය යන මේ ආදීන්ගේ කිසිම විශේෂත්වයකින් තොරව කාන්තාවන් හා ගැහැනු ළමුන් හිංසනයන්ට ගොදුරු වීම දක්නට ලැබෙයි. ස්ත්‍රීන්ට බහුලව සිදුවන එවන් ප‍්‍රචණ්ඩ ක්‍රියා බොහෝය.සහකරුගෙන් එල්ල වන ප්‍ර‍්‍රචණ්ඩත්වය, භීෂණය, වෛවාහික ලිංගික අතවර, ලිංගික අපචාර හා ප්‍රචණ්ඩත්වය සහ/හෝ හිංසනය, දෑවැදි සම්බන්ධ හිංසනය, සහකරු නොවන අයගෙන් එල්ල වන හිංසනය, ගෘහ සේවිකාවන්ට එල්ල වන හිංසන හා අඩන්තේට්ටම්, මානව පුද්ගල ජාවාරම් හා කාමෝද්දීපන ප්‍ර‍්‍රබන්ධ වැනි වෙනත් ආකාර අපයෝජන, සමාජ සිරිත් විරිත්, සංස්කෘතිය, සම්ප‍්‍රදාය සහ/හෝ ආගම මුවාවෙන් කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට සිදු කෙරෙන හිංසාකාරී වත් පිළිවෙත් ද ඇතුළුව කාන්තාවන්ට එරෙහිව සිදුවන ප්‍ර‍්‍රචණ්ඩත්වයන් ආදී වශයෙන් එකී ලැයිස්තුව බොහෝ දිගුය. ඉහත සඳහන් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අමතරව ගැහැනු ළදරු ඝාතන, බාලවයස්කාර විවාහ හා බලෙන් විවාහ කිරීම් ද ගැහැනු ළමුන්ට එරෙහිව සිදු කෙරෙන ප්‍ර‍්‍රචණ්ඩ ක්‍රියා ගණයටම ඇතුළත්ය.

නිවස, පවුල තුළ, ජන සමූහ, වැඩපොළ හා සේවා ස්ථාන, පොදු ගොඩනැගිලි හා ස්ථාන, ගමනාගමනය කෙරෙන වාහන, බස් නැවතුම්පොළවල් ආදී මගී සේවා ස්ථාන, යන මේ ආදී ඕනෑම තැනකදී ද එසේම ස්වභාවික ව්‍යසන, රටවල් අභ්‍යන්තර අවුල් වියවුල් හා ගැටුම්, යුද්ධ හෝ පොදු කලකෝලාහාල යනාදී විවිධ අවස්ථා හා ඒ හේතුවෙන් අභ්‍යන්තර අවතැන් වීම් බහුලව වන විට දී ද කාන්තාවන්ට හා ගැහැනු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී තත්වයන් හා සිදුවීම් උද්ගත විය හැකිය.

ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විධිමත් නිර්වචන කිහිපයක් තිබේ. ස්ත්‍රීන්ට එරෙහි සියලු ආකාර වෙනස්කම් පිටුදැකීමේ සම්මුතිය (සීඩෝ සම්මුතිය) මගින් වෙනස්කම් පිළිබද ප්‍රශ්නය ඉස්මතු කිරීම තුළින් කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මග පෙන්වීමක් කර තිබේ.
එහි කාන්තාවන්ට එරෙහි වෙනස්කම්, නිර්වචනය කර ඇත්තේ මෙපරිදිය.

” ස්ත්‍රීන් විසින්, ඔවුන්ගේ විවාහක / අවිවාහක බව නොතකා, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මත පදනම්ව මානව හිමිකම් සහ දේශපාලන ආර්ථික, සමාජීය, සංස්කෘතික, සිවිල් හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක මූලික නිදහස හඳුනාගැනීම, භුක්ති විඳිම හෝ භාවිත කිරීමේ හැකියාව හානි කිරීමේ හෝ අහෝසි කිරීමේ අරමුණ හෝ අභිප්‍රාය ඇතිව, ලිංගිකත්වය මත පදනම්ව සිදුකරන යම් වෙනස්කම, බැහැර කිරීම හෝ සීමා කිරීම” යනුවෙනි. පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳව හඳුනාගෙන, එය නිර්වචනය කළ ප්‍රථම ජාත්‍යන්තර ලේඛනය වන්නේ 1993 වසරේ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියයි. (මෙය වියානා ප්‍රඥප්තිය ලෙසද හැඳින්වේ).

එහි පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය මෙසේ නිර්වචනය කොට ඇත

1 වන වගන්තිය
ශාරීරික, ලිංගික හෝ මානසික අනතුරක් හෝ දුක් පීඩාවක් හෝ ඇති කරන හෝ ඇති කිරීමට හැකියාවක් ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කොට ගත් ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එවැනි ක්‍රියා සිදු කරන බවට බිය ගැන්වීම පෙළඹවීම හෝ පොදු හෝ පෞද්ගලික ජීවිතයේ නිදහස හිතුමතේ අහිමි කිරීමද මෙයට ඇතුළත්ය.

2 වන වගන්තිය
ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට මෙහි දැක්වෙන සියලුම දෑ අඩංගු වන අතර ඒවාට පමණක් සීමා නොවේ.
පහරදීම, නිවසේ ගැහැනු දරුවන් අපයොජනයට ලක් කිරීම, දෑවැදි සම්බන්ධ ප්‍රචණ්ඩත්වය, වෛහික දූෂණය, ස්ත්‍රී ලිංග අවයව ඡේදනය හා කාන්තාවන්ට හානිකර එවැනි සම්ප්‍රදායික සිරිත්, සැමියා නොවන අයගෙන් සිදු වන ප්‍රචණ්ඩත්වය මෙන්ම සූරාකෑමට අදාළ ප්‍රචණ්ඩත්වය ඇතුළත් පවුල තුළදී හෝ අධ්‍යාපනික ආයතනයකදී හෝ වෙනත් ස්ථානයකදී සිදුවන ශාරීරික, ලිංගික සහ මානසික ප්‍රචණ්ඩත්වය.

දූෂණය, ලිංගික අපයෝජනය, සේවා ස්ථානයකදී සිදු වන ලිංගික අතවර සහ බිය වැද්දීම්, නීති විරෝධී ලෙස ස්ත්‍රීන් ප්‍රවාහනය සහ බලයෙන් ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුළත්වූ සාමාන්‍ය ප්‍රජාව තුළදී සිදු වන ශාරීරික, ලිංගික සහ මානසික ප්‍රචණ්ඩත්වය, සිදු වන ස්ථානය කෙබඳු වුවද, රජය විසින් අනුමත කරනු ලබන හෝ ඉවසා සිටින ශාරීරික, ලිංගික සහ මානසික ප්‍රචණ්ඩත්වය ආදිය පිළිබඳව මෙම ප්‍රඥප්තිය මඟින් ප්‍රචණ්ඩත්වය පිළිබදව පුළුල් අර්ථකථනයක් ලබා දෙයි. සම්ප්‍රදායික හෝ ආගමික හේතූන් මත කාන්තාවන්ට මුහුණ පෑමට සිදු වන ප්‍රචණ්ඩත්වයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට රජයට ඇති වගකීම, මෙහිදී කිසිසේත්ම නොතකා හළ නොහැකිය.
ඒ අනුව ස්ත්‍රීන්ට, ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්විම සඳහා පුළුල් ප්‍රවේශයෙන් ව්‍යාප්ත කිරිම, ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සහ ජාත්‍යාන්තර සහයෝගීතා ජාල පිහිටු වීම වැනි දේ ඇතුළත් පුළුල් වගකීම් පරාසයක් රජය සතුවන බැව් කිව හැකිය.

ස්ත්‍රීන්ට හා ගැහැනු ළමුන්ට එරෙහිව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම වූ හිංසනයන් පහත පරිදි සාරාංශ ගත කළ හැකිය.

1.ශාරීරික හිංසනය

ශාරීරික හිංසනය යනුවෙන් හැඳින්වෙන්නේ ශාරීරික පීඩා, තුවාල හෝ මරණය පවා සිදු කළ හැකි ලෙස පුද්ලයෙකු වෙත එල්ල කරන අනිසි බලපෑමක් හෝ ප‍්‍රචණ්ඩත්වයකි. කම්මුලට ගැසීම, සිරුරට පහර දීම, අත් ඇඹරීම, පිහියෙන් ඇනීම, ගෙළ මිරිකීම, පිළිස්සීම, උගුර හිර කිරීම, පයින් ගැසීම, යම් වස්තුවකින් හෝ ආයුධයකින් පහර දීම, තර්ජනය කිරීම, ගැසීම, තල්ලූ කිරීම ආදී වශයෙන් පුද්ගලයෙකුට ශාරීරික ආපදාවක් සිදු වන ලෙස හිංසා කිරීම හා මිනී මැරීම ශාරීරික හිංසනයට ඇතුළත් වේ.

2. වාචික හිංසනය
වාචික හිංසනය චිත්තාවේගාත්මක හා මානසික හිංසනයෙහි තවත් අංශයකින් විය හැකි අතරම ඊට දායක වන්නක්ද විය හැකිය. චිත්තාවේග හා මානසික හිංසනය බාහිරින් එතරම් නොපෙනෙන දෙයක් හෙයින් එක්තරා දුරකට යටපත් කළ හැකිය. එහෙත් එමගින් කාන්තාවගේ ආත්ම ප‍්‍රතිබිම්බය මෙන්ම මානසික සුවය හානි වන අතර එය ශාරීරික හා ලිංගික හිංසනය සේම බරපතළ වූ හිංසනයකි. අයුතු ලෙස බලය පෙන්වීම හා හිරිහැර කිරීම කෑ ගැසීම, බැණ වැදීම, මදි පුංචිකම් කිරීම මීට අයත් වේ.

3. මානසික හිංසනය
චිත්තාවේග සේම මානසික හිංසනය යනු කිසියම් පුද්ගලයෙකුව මානසිකව බිඳ දැමීම අරමුණු කරගත් හිංසනයයි. නිතර බැණ වැදීම, තර්ජනය කිරීම, මදි පුංචිකම් කීම හෝ කිරීම, කෑ ගැසීම, නිවසටම හිර කර තැබීම, අත්හැර දැමීම හෝ අපයෝජනය කරන බවට තර්ජණය කිරීම, බඩු බාහිරාදිය කඩා බිඳ විනාශ කිරීම, තනි කිරීම, කොන් කිරීම හෝ හෙළා දැකීමද මානසික හිංසනයට ඇතුළත් වේ.

4.ආර්ථික හිංසනය
ආර්ථික හිංසනය යනු මූල්‍ය සම්පත් ඉපයීමට ලාභ ලැබීමට හෝ භුක්ති විඳීමට පුුද්ගලයෙකු සතු නිදහස වැළැක්වීමට, අහිමි කිරීමට, අහිතකර බලපෑමක් ඇති වීම වැළැක්වීමට ක්‍රියා කිරීම හෝ එසේ තැත් කිරීමයි. ගෙදර දොර හෝ පෞද්ගලික විය පැහැදම් සඳහා මිල මුදල් නොසැපයීම, ආහාර පාන හා අනෙකුත් පහසුකම් නොසැපයීම, රැකියාවක නිරත වීම, පාලනය කිරීම හෝ වැළැක්වීම, ආර්ථික හිංසනයයි.

5. ලිංගික හිංසනය
ලිංගික හිංසනය යනු ඕනෑම වටපිටාවක් තුළ පීඩාවට පත් පුද්ගලයා සමඟ ඇති සම්බන්ධය නොතකා ඕනෑම අයෙකු තවත් අයෙකුගේ ලිංගිකත්වයට එරෙහිව බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවක් සිදු කිරීම හෝ එසේ කිරීමට තැත් කිරීමයි. එනම් තර්ජනය, බිය ගැන්වීම, බලහත්කාරයෙන් අතවර කිරීම සහ ලිංගික සංසර්ගයේ යෙදීම, ව්‍යභිචාරය, ලිංගික හිංසනය, නොරිසි ලිංගික කාර්යයන් බලෙන් කරවීම, හෝ අන් අය සමඟ ලිංගික සංසර්ගයෙහි යෙදීමට බල කිරීමයි.

6.අන්තර්ජාල තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ඔස්සේ ප‍්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම
අන්තර්ජාල තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ඔස්සේ සිදු කෙරෙන හිංසනය යනු ජංගම දුරකථනය හා අන්තර්ජාලය සහ සන්නිවේදන තාක්‍ෂණය ඔස්සේ සිදු කෙරෙන ප‍්‍රචණ්ඩත්වයයි. කාමෝද්දීපන රූප චිත‍්‍ර හා ප‍්‍රබන්ධ ආශි‍්‍රත හිංසන, රහසින් කාන්තාවන් පසුපස යාම, අන්තර්ජාලය අසභ්‍ය ලෙස ප‍්‍රයෝජනයට ගැනීම, කාන්තාවන්ගේ හෝ ගැහැනු ළමයින්ගේ ඡායාරූප/රූප අනවසරයෙන් ජාලගත කිරීම, හෝ ජංගම දුරකථනවලට බහාලීම, අන්තර්ජාල වෙබ් අඩවි හෝ ජංගම දුරකථන හෝ බහුලව සංසරණය වන විද්‍යුත් ජාල ඔස්සේ කාන්තාවන්ට හෝ ගැහැනු ළමුන්ට අවමාන තර්ජන එල්ල කිරීමද මීට ඇතුළත්ය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ බහුලවම සිදුවන ප්‍ර‍්‍රචණ්ඩත්වයන් ලෙස හැඳිනිය හැක්කේ ගෘහස්ථ ප්‍ර‍්‍රචණ්ඩත්වය, ලිංගික හිංසනය,ස්ත‍්‍රී දූෂණය,ව්‍යාභිචාරය,බරපතළ ලිංගික අපහරණය,මානව පුද්ගල ජාවාරම (කුට්ටනය) තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ප්‍ර‍්‍රචණ්ඩත්වය යනාදියයි.

ශ්‍රී ලංකාව ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාව කරා යන ගමන තුළ වැදගත් පියවර කිහිපයක් ගෙන ඇති බවද, මෙහිලා සඳහන් කළ යුතුමය. රටවල් විසින් කාන්තා අයිතිවාසිකම් වැඩි දියුණු කිරීම සඳහා ජාතික සැලසුම් සකස් කළ යුතු යැයි නිර්දේශ කළ ‘ක්‍රියාකාරිත්වය සඳහා වූ බීජිං ප්‍ර‍්‍රකාශනය හා වේදිකාව’ (ඹේජින්ග් ඪෙශ්ලරටිඔන් අන්ඩ් ඵ්ලට්ෆොර්ම් ෆොර් ඇශ්ටිඔන්) සඳහා ගෝලීය එකඟතාව පළ වීමට දෙවසරකට පෙර එනම් 1993 දී එය කාන්තා ප්‍ර‍්‍රඥප්තියක් ලෙස සම්මත කරන ලදී. තවද ශ්‍රී ලංකාව 2005 දී සම්මත කළ ගෘහස්ත ප්‍ර‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සිවිල් පිළියමක් සම්පාදනය කරමින් පවුල තුළ ප්‍ර‍්‍රචණ්ඩත්වයට විසඳුම් සෙවීමට දැරූ උත්සාහයක් ලෙස අගය කළ යුතුය. අනෙක් අතට දණ්ඩ නීති සංග්‍ර‍්‍රහය සංශෝධනයන් සිදු කරමින් කාන්තාවන් උදෙසා පවත්නා නීතිමය රැකවරණයේ විෂය ක්ෂේත්‍රය පුළුල් කිරීම පිණිස දැනට පවතින නීති ශක්තිමත් කිරීම ද සිදු කර ඇත. ලිංගික දූෂණය, ව්‍යභිචාරය හා ලිංගික අපයෝජනය, අඩන්තේට්ටම් කිරීම හා සූරා කෑම සමන්විත වන්නේ කුමකින්දැයි නිර්වචනය කළ 1995 අංක 22 දරණ සංශෝධනය ද, මීට ඇතුළත් වේ. එසේම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ලිංගික සහ ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමේ ක්‍රියාවලියකට දායකවී සිටියි. වඩා වැදගත් වන්නේ ඉහළින් නීති සම්මත කර ගැනීමේ අවස්ථාවන්ට සරිලන පරිදි පහලින් සමාජ සංස්කෘතික වෙනසක් වෙනුවෙන් දක්වා ඇති දායකත්වය අවමවීමය. නීති සම්පාදනයෙන් පමණක් ස්ත්‍රීන්ට එරෙහි සකලවිධ ප්‍රචණ්ඩත්වය තුරන් කළ නොහැකි අතර ඒ පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය කිරීමත්, එය දෛනික ජීවිතයේ දෘෂ්ටිවාදයක් බවට පත්කිරීමත් කළ යුතුමය. එහෙත් එය පවසන තරමේ සරල කටයුත්තක් නොවන බවද, අප විසින් සිහියේ තබා ගත යුතුය.

මූලාශ‍්‍ර:

http://www.un.org/documents/ga/res/48/a48r104.htm
extraction:actnowsrilanka.org
Like | Share | Invite your friends to this Page |
https://www.facebook.com/pages/StandUp-SpeakUp-SayNo/927236477288074
"Alone We Can Do So Little;
Together We Can Do So Much" -Helen Keller
Get involved. Suggest this page to your friends. Report about violence against women. Together we can Stop Violence Against Women.
- Leo Club Of Negombo Orient 306 B1
https://www.facebook.com/LeoClubOfNegomboOrient
un.org
Saynotoviolence.org
actnowsrilanka.org
නිවේදනී, 2008-දෙසැම්බර්-සංස්කරණය, සුභංගි හේරත්-කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ කේන්ද්‍රය

සටහන - පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි 

වැඩබිම
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435