ස්ත්‍රීන්ට එරෙහි හිංසනයක් නම්?

මේ දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රචලිතව පවත්නා එක් අපරාධයක් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙනි.

ඉන්දියාවේ පශුවෛද්‍යවරියක වන ප්‍රියංකා රෙඩ්ඩි මීට දින කිහිපයකට පෙර ඇගේ පශුවෛද්‍ය කාර්‍යාලයේ සිට නිවස බලා එමින් සිටියදී දූෂණය කර නිවසට ආසන්න පාළු ප්‍රදේශයක පුළුස්සා මරා දමා තිබිණි. 27 හැවිරිදි පශු වෛද්‍ය ප්‍රියංකා රෙඩ්ඩිගේ පිළිස්සුන සිරුර හද්‍රාබාද්හි පාළු මාවතකින් සොයා ගනු ලැබුණේ ඉකුත් නොවැම්බර් 26 වෙනිදාය. මෙය ඉතාමත් අමානුෂික, ම්ලේච්ඡ අපරාධයක් බැව් සැබෑය. ඒ වෙනුවෙන් හඬ නැඟිය යුතු බවද සැබෑය. මෙවන් අපරාධ කරුවන්ට  එරෙහිව එක් පසෙකින් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මත විය යුතුවා සේම අනෙක් පසින් මෙවන් ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සමාජයෙන් තුරන් කරනු පිණිස සමාජ සවිබල ගැන්වීම කළ යුතුය.

ප්‍රියංකා රෙඩ්ඩි ගැන විස්සෝප වන බොහෝ දෙනෙකු ලාංකේය සමාජය තුළද මෙවන් අපරාධ ගණනාවක් සිදුව ඇති බව අමතක කරයි. මේ හා සමාන කාන්තා හිංසනයන් , ඉතා  අමානුෂික ඉරණම් අත් වූ දැරියන් අප විසින් අමතක නොකළ යුතුය.  පුංකුඩතිව්හි විද්‍යා දැරිය, සේයා සදෙව්මිනි දැරිය, කහවත්ත මව හා දියණිය ඇතුළු හෙළි වුණු සහ හෙළි නොවුණු බොහෝ අපරාධයන් ලාංකේය මහ පොළොවටද උරුමව පැවතිණි. එහෙත් ඒ බොහෝ අවස්ථාවන්හිදී ඉතාම සීමිත කාලයකට පමණක් විස්සෝප වන අප එය පහසුවෙන් සිතින් මකා දමනු ලබයි. ඒ නිසාම අසල්වැසි රටක හෝ යළිදු එවන් අපරාධයක් සිදුවන තුරු ඒ ගැන යළිත් ස්මරණය කිරීමට හෝ කැමැත්තක් නොදක්වයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ස්වකීය ධූරයෙන් විශ්‍රාම ගන්නට ආසන්නව තිබියදී රෝයල් පාර්ක් ඝාතනයේ මරණීය දණ්ඩනය හිමිව සිටි අපරාධකරුවා ‘ජනාධිපති සමාව‘ යටතේ නිදහස් කරනු ලැබිණි. ප්‍රියංකා රෙඩ්ඩි ගැන වේදනාත්මක මතකය අවදි කරන බොහෝ දෙනා රෝයල් පාර්ක් සිද්ධියෙන් ඝාතනයට ලක්වූ තරුණියගේ මරණයට හෝ සාධාරණයක් ඉටුනොවීම පිළිබඳව හෝ ජනාධිපතිවරයා විසින් ඝාතකයා නිදහස් කරලීම පිළිබඳ දැඩි විරෝධයක් දක්වනු නොපෙනෙයි. අපරාධකරුවන්ට එරෙහිව අවි අමෝරා ගනු වෙනුවට ස්ත්‍රීන්ට එරෙහි මෙවන් සාපරාධි අපරාධ යළි යළිත් සිදුනොවීමට වගබලා ගැනීම අගනා බව එහිදී නොකියා බැරිය. සිද්ධියෙන් සිද්ධියට කතා කිරීම වෙනුවට ස්ත්‍රීය පහත් කොට සැලකීම, ඇය හුදෙක්  ලිංගික උපකරණයක් ලෙස භාවිතා කිරීම, ස්ත්‍රීන්ට එරෙහි සකලවිධ හිංසනයන්ට එරෙහිවීම සමාජය තුළ අඛණ්ඩව අභ්‍යාස කිරීම හෝ සමාජය බලමුළු ගැන්වීමකින් තොරව මෙවන් අපරාධ මුලිනුපුටා දැමිය නොහැකිය.

ඒ සඳහා ඉතා සුළුවෙන් හෝ තමාට හැකි පමණින් සංවාදයට දායකවීම අප සෑම සියලුදෙනාගේ යුතුකමක් හා වගකීමකි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය පිළිබඳ කරුණු 7ක් පසුගියදා සමාජ ජාලාවල සංසරණය විය. පහත පරිදි එකී කරුණු හත මෙහිදී උපුටා දක්වනු ලබන්නේ එකී සංවාදයට අබමල් රේණුවක තරමේ දායකත්වයක් දක්වනු පිණිසය.

01 මෙය කායික හිංසනය, ලිංගික හිංසනය, මානසික හිංසනය හා ආර්ථික හිංසනය වශයෙන් බෙදා වෙන් කරන අතර, එක් පුද්ගලයෙකු එක් ආකාරයකින් හෝ කිහිප ආකාරයකින් හිංසනයට ලක්විය හැකිය.

02 කාන්තාවන් මෙන්ම පුරුෂයන්ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට ලක්විය හැකි වුවත්, වැඩි වශයෙන්ම මෙම හිංසන ක්‍රියාවන්ට ලක්වන්නේ කාන්තාවන්ය.

03 ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙක්ම ජීවිතයේ කිසියම් අවස්ථාවක හෝ හිංසනයට ලක්වන බව සොයාගෙන ඇත. මෙය නිවසේ, කාර්යාලයේ හෝ පොදු ප්‍රවාහන රථයක වුවද සිදුවිය  හැකි නමුත්, වැඩි වශයෙන්ම කාන්තාවන් හිංසනයට ලක්වනුයේ තම නිවසේදී ඇගේ සහකරුගෙනි.

04 මෙලෙස හිංසනයට ලක්වන්නන් විවාහක / අවිවාහක, දුප්පත් / පොහොසත්, ජාති / ආගම් භේදයකින් තොරව ඕනෑම සමාජ ස්ථරයකට අයත් පුද්ගලයන් විය හැකිය.

05 හිංසනයට ලක්වන බොහෝ දෙනා ලජ්ජාව නිසා හෝ හිංසකයාට ඇති බිය වැනි දේ නිසා ඒ පිළිබඳ කිසිවෙකු සමග පවසන්නට පසුබට වෙති.

06 මෙවැනි හිංසනයක් රහසක් සේ තබා නොගෙන ඒ පිළිබඳ ඥාතියෙකුට, අසල්වාසියෙකුට, සෞඛ්‍ය නිලධාරියෙකුට,ප්‍රජා සේවකයෙකුට, ආගමික නායකයෙකුට, පොලීසියට හෝ අධිකරණයට දැනුම්දීමෙන් සහනයක් ලබාගැනීමේ හැකියාව ඇත.

07 ගෙදර හිංසන ක්‍රියාවන් දකින දරුවන්ට මානසික ආබාධ, ඉගෙනීමේ දුර්වලතා, හිංසාකාරී හැසිරීම් මෙන්ම පසුකාලීනව සමාජ සම්බන්ධතාවල ගැටලුද ඇති විය හැකිය.

මෙවන් හිංසන ක්‍රියාවකදී කිසිවෙකුට සහයක් අවශ්‍ය වන්නේ  නම් පහත දුරකථන අංක මගින් වගකිව යුතු හා සම්බන්ධීකරණ ආයතන හා සම්බන්ධ විය හැකිය.

මිතුරු පියස – පවුල් සෞඛ්‍ය කාර්යාංහය 011 3 040 541, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංහය 011 2 826 444, ජාතික ළමාරක්ෂණ අධිකාරිය 1926, කාන්තා පිහිට 011 4 718 585, ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම 011 5 335 329

පී.ඩබ් මුතුකුඩආරච්චි

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435