ස්ත්‍රීන්ට දුම්රිය මැදිරියක් දීමෙන් සියලු ප්‍රශ්න විසඳෙයිද?

ලොව පුරා කාන්තාවන් පිළිබඳ යම් කතිකාවක් නිර්මාණය වී පවත්නා ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 (අද) ට යෙදී තිබේ. මෙවර

2019 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තාවගේ ඉදිරි උන්නතිය සඳහා සමතුලිත අවස්ථා උදාකිරීම විෂය කොටගනිමින්  “සුහුරු කතක් – සොඳුරු ලොවක්” තේමාව යටතේ අනුරාධපුරයේදී කාන්තා දින ජාතික සැමරුම් උත්සවයක් ද පවැත්වේ.

කාන්තාවන් 8000ගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන බව කියන මෙම වැඩසටහනට සමගාමී තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බව කියැවෙයි. මෙවර කාන්තා දිනයට සමගාමීව ajenda 14,ජාතික චිත්‍රපට සංස්ථාව සහ තවත් සංවිධාන කිහිපයක සහයෝගයෙන් පළමු වරට ‘කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල‘ පැවැත්වුණු අතර එය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරික වන සුමිත්‍රා පීරිස් ගේ ‘‘වෙෂ්ණාවී“ චිත්‍රපටයෙන් ඊයේ දිනයේ නිමාවට පත්විය. අද දිනයේ සිට පොදු ප්‍රවාහනයේ දුම්රිය තුළ ‘ස්ත්‍රීන්ට වෙන් කළ මැදිරි‘ ස්ථාපිත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව එකී හිංසනයන් පිටුදැකීමේ මෙන්ම කාන්තා ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම අරමුණු කොටගත් සැලසුමක් එළි දැක්වීම හා ප්‍රදර්ශනයක් ද අද රාත්‍රීයේ කොළඹ මහ නගර සභා පිටිය තුළ සංවිධානය කර තිබේ. කොළඹ මහ නගර සභාව, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙවර කාන්තා දිනය තුළ වඩාත් කතා බහට ලක්ව ඇත්තේ පොදු ප්‍රවාහනය තුළ කාන්තාවන්ට මුහුණදීමට සිදුව පවත්නා ලිංගික හිංසනයයි. ලිංගික සබඳතාවක් පැවැත්විය නොහැකි වුවද, අනවශ්‍ය ස්පර්ශයන්, නොහොබිනා තදබදයන්, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම්, වාචික හා අභිනයන්ගෙන් විකෘති ලිංගික  ආශාවන් සංතර්පනය කර ගැනීමට දරන උත්සාහයන් සුළුපටු නොවේ. මෙහිදී කායිකව හා මානසිකව ස්ත්‍රීන් මුහුණදෙන පීඩනය මෙතැකැයි කිව නොහැක්කේ ඇය කාර්යාලයේදී, නිවසේදී අධික වැඩ කන්දරාවක් හිස දරාගෙන කටයුතු කරන්නියක මෙන්ම දැඩි වගකීමක් උර මත පැටවී ඇති අයෙකු නිසා පමණක් නොව ප්‍රවාහන මාධ්‍ය තුළ දී සිදුවන ගැහැට කෙරෙන් ඇයගේ මානසික පීඩාව විසින්  නිවස තුළ, කාර්යාලය තුළ දාමයක් ලෙස අවුල් වියවුල් තත්ත්වයක් වර්ධනය වන නිසාමය. අවාසනාවට මෙම ඛේදජනක තත්ත්වයන් මැනිය හැකි මිනුම් දඬු සොයාගත නොහැකි නිසාම එය ‘ස්ත්‍රීන් විසින් වැඩ අවුල් කරනවා‘යන සරල නිගමනයකින් කෙලවර කරන්නට පුරුෂ කතිකාවට හැකිය.

කාන්තාවකට මනස නිදහසේ තබාගෙන ජනාකීර්ණ ප්‍රවාහන සේවාවක් භාවිතා කිරීමට කිසිසේත් නොහැකි තත්ත්වයක් අද උදාවී ඇත. නිරන්තරයෙන් තම ශරීරය හා තම සතු දේ පිළිබඳ විශේෂ අවධානයකින් සිටීමට සිදුවේ. ඒ තරමටම පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට සිදුවන හිරිහැර සුලබය. පොදු ප්‍රවාහන සේවාවන්හි කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්තිය හා එයට හිමි දඬුවම ද පැහැදිලිව ප්‍රදර්ශනය කර තිබියදී පවා සිදුවන ලිංගික හිංසනයන්හි අඩුවක් නොමැත.

පිරිමින් විසිනි මෙලෙස කාන්තාවන්ට පීඩා කිරීම සිදුවන්නේ ඇයි? එයට සරල සෘජු පිළිතුරක් නැති බව සැබෑය. එසේ වුවද, මෙවැනි අපහසුතාවන්ට කාන්තාවන් පත් කරන පිරිමි, පාර්ශ්වය විවිධ සමාජ මට්ටම්වල විවිධ මානසික තත්ත්වයන්ගෙන් යුත් තැනැත්තන් වශයෙන් හඳුනාගත හැකිය. සමහරු කාන්තාවන් අපහසුතාවට පත් කිරීමෙන් ආශ්වාදයක් ලැබීමට එය විනෝදාංශයක් වශයෙන් සිදුකරති. තවත් සමහරුන් සමාජයේ පවතින මත්කුඩු, මත්ද්‍රව්‍ය වැනි දැයට ගොදුරු වී මනස විකෘති වූවන් ය. මේ අතර ඉතා උසස් සමාජ පැලැන්තියකින් පැවත එන්නාක් මෙන් ඇඳ පැළඳ කාන්තාවන්ට ලිංගික හිංසන කිරීමේ චේතනාවෙන්ම ‍පොදු ප්‍රවාහන මාර්ගයන් වෙත ගොඩවන්නෝ ද සිටිති. එමෙන්ම එදිනෙදා රාජකාරි කටයුතු සඳහා යන එන අතර කාන්තාවකට හිංසනයක් කර තෘප්තියක් ලැබීමට කටයුතු කරන පුද්ගලයන් ද නැතිවා නොවේ.

මෙවැනි ක්‍රියාවකින් කාන්තාවන්ට සිදුවන ශාරීරික මෙන්ම මානසික පීඩනය ද ඉමහත් ය. සමහර සිදුවීම් දින ගණනාවක් යන තෙක් මතකයේ රැඳෙමින් බිය හා අපුල ඇති කරයි. රාජකාරියක යෙදෙන කාන්තාවක නම් රාජකාරී කටයුතුවලට ද, ගෘහණියක, මවක නම් එදිනෙදා කටයුතුවලට ද හරිහැටි නොයෙදිය හැකි පරිදි මනස අවුල්වන බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.  බොහොමයක් කාන්තාවන් මෙබඳු හිරිහැර සිය සැමියාට පවා නොකියා නිහඬවම විඳ දරා ගැනීමට පුරුදුවී සිටිනුයේ එයින් අනවශ්‍ය ගැටලු ඇතිවේය යන බිය හේතුවෙනි.

1883 අංක 2 දරන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ලිංගික හිංසනය සම්බන්ධව දක්වා තිබූ අර්ථ කථනය වඩා පුළුල් කිරීම 1995 අංක 22 දරන සංශෝධනයෙන් සිදු කර ඇත. ස්ත්‍රියකට පමණක් නොව ඕනෑම පුද්ගලයකුට ඕනෑම ස්ථානයකදී වචනයෙන් හෝ වෙනත් ඕනෑම ක්‍රියාවකින් සිදුවන ලිංගික හිංසනය ආවරණය කර තිබේ. මෙසේ ලිංගික හිංසනය සාපරාධී වරදක් ලෙස දක්වා අපරාධමය වගකීම උද්ගත කළ හැකි අයුරින් නීතිමය රැකවරණය පුරවැසියාට ලබා දී තිබීම ලංකා නීතියේ සුවිශේෂී ලක්ෂණයකි. සංශෝධිත වගන්තීන්ට අනුව ලිංගික හිංසනයට වැරදිකරු වූ තැනැත්තකු වසර පහ දක්වා වන සිර දඬුවමකට හෝ දඩයකට නැතිනම් ඒ දෙකටම යටත් කළ හැකිය. ඊට අමතරව වින්දිත පාර්ශ්වයට වන්දි අධිකරණය විසින් නියම කළ හැක. ඒ අනුව බලන කල නීතිය ප්‍රමාණාත්මක අයුරින් සංගෘහිත කර ඇත. එහෙත් හිංසනයේ අඩුවක් නොවන්නේ මන්ද?නීති පැවතීම පමණක් ප්‍රමාණවත් නොවේ. නීති ක්‍රියාත්මක විය යුතුය. එපමණක් ද නොව නීති රීති බලාත්මක වන බව හුදු මහජනතාවට පෙනී යා යුතුය. එවිටය මහජනතාව තුළ අපරාධ සිදුකිරීමට බියක් ඇති වන්නේය. එසේ නම් කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවන් හිදී සිදුවන ලිංගික හිංසනය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ද?

ප්‍රධාන ගැටලුව නීතිය ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණයේ පවතින යම් යම් ගැටලු හේතුවෙන් කාන්තාවන් නීතිය ඉදිරියට යාමට මැළිවීමය. එපමණක් නොව තමාට සිදුවන හිරිහැරයට ප්‍රසිද්ධියේ විරුද්ධත්වය පෑමෙන් පවා කාන්තාවෝ වැලකී සිටිති. පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කිරීමට ගිය විට රස්තියාදු වීමට සිදුවෙයි. රැකියාවට යන කාන්තාවක නම් අනිවාර්යයෙන් අර්ධ නිවාඩු හෝ සම්පූර්ණ නිවාඩු දැමීමට සිදුවේ.

සේවය නිමකර යන කාන්තාවක නම් නිවසේ වැඩකටයුතු පසෙක දමා, දරුවන් සිටීනම් දරුවන් හඬව හඬවා නීතිය ඉටුකරවා ගැනීමට කටයුතු කළ යුතුය. සමහර පොලිස් ස්ථානවලදී ලිංගික හිංසනය සම්බන්ධව ලැබෙන පැමිණිලිවලට ලැබෙන ප්‍රතිචාර ද කාන්තාවන් නීතිය ඉදිරියට යාමට පසුබට කර ඇත. බොහොමයක් නිලධාරීන් මානුෂවාදී ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන නමුත් සමහර නිලධාරින් “ඕවා ගණන් ගන්නට එපා”, “ඇයි තමුන් ටිකක් ඈත්වෙලා හිටියෙ නැත්තෙ?” ආදී අනවශ්‍ය දෑ ප්‍රකාශ කරමින් තත්ත්වය සමථයකට පත් කරන්නට කටයුතු කරන්නේ කාන්තාව අපහසුතාවට පත් කරමිනි.

තවත් ගැටලුවක් වන්නේ පොදු ප්‍රවාහන සේවාවල දී හිංසනය සිදුකරන පුද්ගලයා පොලිස් ස්ථානයට රැගෙන යාම හෝ පැමිණිල්ලක් සිදුකිරීම සඳහා එම පුද්ගලයාගේ අනන්‍යතාව අනාවරණය කරගැනීමට කාන්තාවකට පවතින අපහසුතාවයි. ආසියාතික සන්දර්භය තුළ කාන්තාව නිහඬ, නිවුණු තැනැත්තියක විය යුතු බව සාමාන්‍ය පිළිගැනීමයි. ලිංගික හිංසනයකට එරෙහිව පොදු ප්‍රවාහන මාධ්‍යයක් තුළ ප්‍රසිද්ධියේ විරෝධය ප්‍රකාශ කරනවිට ඇය නැහැදිච්ච කාන්තාවක ලෙස සිතීමට සමහරවිට අවට සිටින්නන් පෙළඹේ.

වෙනත් කාන්තාවක පවා හිංසනයට පත්වූ කාන්තාව සමඟ ඇයට සිදුවූ හිංසනයට එරෙහිව ඇය හා සිට ගැනීමට එබඳු අවස්ථාවක පැකිලෙන්නේ එම නිසාය. මෙබඳු සිදුවීමක් අධිකරණයක නඩු කටයුත්තක් දක්වා දීර්ඝ වුවහොත් ඇයට දින ගණනක් අධිකරණයේ රස්තියාදු වීමට සිදුවෙයි. නීතිඥයන්ගේ ප්‍රශ්න, හරස් ප්‍රශ්නවලට මුහුණදී අපහසුතාවට පත්වීමට සිදුවේ. නීතිඥයන්ගේ කෙස් පැලෙන තර්ක ඉදිරියේ යුක්තිය ඉටුකරගත නොහැකි වන අවස්ථා ද ඇති වේ. එවැනි අවස්ථා වින්දිතයාගේ පවුල් ආරවුල්වලට පවා මගපාදන අවස්ථා තිබේ.

එසේ වුව මෙම ගැටලුවලට විසඳුම නිහඬව විඳ දරා ගැනීම නොවේ. කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවන්හිදී සිදුවන ලිංගික හිංසනයට විරුද්ධව කටයුතු කිරීම සඳහා සාමූහික හැඟීම් වර්ධනය කිරීමට දැනුවත් කිරීම් කළ යුතුය. මෙවැනි අපරාධකරුවන් කිහිපදෙනකුවත් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබා දී නීතිය ක්‍රියාත්මක වන බව මහජනයාට පෙනී යන ආකාරයේ කටයුතු සිදු කළ යුතුය. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මෙහිදී පැවරෙනුයේ මහඟු වගකීමකි. එනම් රාජකාරිය නිවැරදිව ඉටු කිරීම ය. පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පිරිමි පාර්ශවයට ද මේ සම්බන්ධව වගකීමක් පැවරිය යුතුය. තමා අවට එවැනි දෙයක් සිදුවුවහොත් එයට එරෙහි වීමට ඔවුන්ට පුළුවන. එමෙන්ම එබදු දෙයකට මුහුණ පෑ කාන්තාවකට නීතිය කරා යාමට අවශ්‍ය පසුබිම සකසා දීමෙන් පිරිමි පාර්ශ්වයට මේ සම්බන්ධයෙන් සක්‍රීයව දායක විය හැක. තම බිරිඳට දියණියට සොයුරියට මෙබඳු සිදුවීමකට මුහුණදෙන්නට සිදු වුවහොත් ඇය දිරිමත් කිරීම පවුලේ සියල්ලන්ගේ වගකීමකි.

වර්තමාන සමාජයේ ගැටලුව වී තිබෙන්නේ නිරන්තර ජීවන අරගලයක යෙදෙන ජනතාවට තවත් කෙනකුගේ විපතකදී කාලය කැප කිරීමටවත් ඉසුඹු නැතිවීමය. එසේ වුව ද මෙබදු ආකාරයේ ලිංගික හිංසන ඉවසා නිහඬව සිටීම සමාජයට සිදු කරන බලවත් හානියකි. එය අපරාධකරුවන් නිදැල්ලේ හරිමින් ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් වැනි දරුණු අපරාධ සඳහා පුද්ගලයන් මුදා හැරීමකි. මේ නිසා සිදුකළ යුත්තේ හැකිතාක් දැනුවත් වීම හා සංවිධානය වීමයි. මෙබඳු අපරාධ සඳහා නීතියේ පවතින පිහිට පිළිබඳ විශ්වාසය අප විසින් එකිනෙකා තුළ ගොඩනගාගත යුතුය. එමෙන්ම හිංසනයක් දුටු තැන පුද්ගලික අපහසුතා නොසලකා අනෙකාට පිහිට වීමේ ඇති වැදගත්කම ද ආදර්ශයෙන්ම පෙන්විය යුතුය. ඒ කාන්තාවන්ට සුවිශේෂී වූ දුර්වලතාවක් නිසා නොව ඇය මනුෂ්‍යෙයකු ලෙස සැලකිය යුතු නිසාය. ස්ත්‍රීන්ට පමණක් විශේෂ අයිතිවාසිකම් ඇයි? ඇය පිරිමින්ට සාපේක්ෂව දුර්වල නිසාද? ආදී බොහෝ ප්‍රශ්න මෙහිදී පැන නැඟෙනු ඇත. මේ සම්බන්ධයෙන් පසුගියදා ෆේස් බුක් මාධ්‍ය තුළ ‘දේදුනු සංවාද“ පිටුව විසින් අපූරු සටහන් යොදා තිබුණි. ඒ මෙසේය.

“ඔබ කාන්තාවකට ගරු කළ යුත්තේ ඇයි?“ එහි තේමාවයි. එහි අන්තර්ගතය මෙසේය.

“දස මසක් කුස දරා ඔබ මොලොවට බිහි කර ලේ කිරි කර පෙවූ ගෙදර බුදුන් සේ නිසා නොව,

එක බඩ වැල එකට කඩා ආ එක කුස උපන් ඔබේම සොයුරිය සේ නිසා නොව,

ඔබට දාව උපන් ඔබේ කිරිකැටියන් රැක බලා ගන්නා දයාබරිත බිරිඳක් සේ නිසා නොව,

ඔබේ ශුක්‍රානුවෙන් බිහිවුණ ඔබේ ලොව එළිය කරන රත්තරන් දියණියක් සේ නිසා නොව,

පෙම් ලොව රජ දහනේ ඔබේ ආදර කිරුළ දිනූ ඔබේ පෙම් රැජිණ සේ නිසා නොව,

ඔබ පිටුපසින් සිට පිරිමින් සාර්ථක කරනවා කියා ඔබ කියනා සේ නිසා නොව,

දයාවේ ප්‍රතිමුර්තිය ඇය යැයි කියා ඔබ කවි ලියූ සේ නිසා නොව,

ලංකා ද්වීපයේ ආර්ථිකය නංවන ශ්‍රමබලකායේ වැඩි පංගුව සේ නිසා නොව,

නමුත් සරලවම,

ඇයත් ඔබ සේ හුස්ම ගන්නා මනුෂ්‍යය ප්‍රාණයක් නිසාමය.

දේදුනු සංවාද (2019 මාර්තු 05“)

අද වන විට ලාංකේය ස්ත්‍රීන් මුහුණදෙන ප්‍රශ්න මෙසේ පොදු ප්‍රවාහනය තුළ ලිංගික හිංසනයට පමණක් ලඝු කළ නොහැකිය. පිරිමින් හා උරෙනුර ගැටී දෛනික ජීවිතය ගැට ගසා ගැනීමටත්, පුරවැසියෙකු ලෙසත් ඇය ඉදිරියට පැමිණ ඇති බවද අප විසින් පිළිගත යුතුය. එහෙත් සමාජ ප්‍රශ්නවල අඩුවක් නැති බව අප වටහා ගත යුතුය.

දකුණේ සහ උතුරේ ස්ත්‍රිය අද වනවිට ණය උගුලක පැටලී තිබේ. ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන්, සියදිවි නසා ගැනීම් හි ප්‍රබල වර්ධනයක් දැකගත හැකිය. උතුරේ මෙන්ම දකුණේ ස්ත්‍රීන් ද ජිවන වියදම දරාගැනීමට අපෝසත් වීමත්, දැඩි පිඩක දරිද්‍රතාවත් හේතුවෙන් කිසිදු නියාමනයක් නොමැතිව ක්‍රියාත්මක වන, ක්ෂුද්‍ර මුල්‍ය ආයතන මගින්, එදා වේල පිරිමසා ගැනීම වෙනුවෙන් ණය ලබා ගනී. කිසිදු ආයෝජනයක් නොමැති ලෙස, දෛනික වියදම වෙනුවෙන් ගනු ලබන එම ණය මුදල් සහ එහි පොලිය නැවත පියවීමට නොහැකි, දරිද්‍රතාවයෙන් පිඩිත ස්ත්‍රියට පවතින විසදුම ලෙස ඇය විසින් හදුනාගනු ලබන්නේ, සියදිවි නසාගැනීමය. යුද්ධය විසින් පිරිමින් විනාශ කර පවත්නා පවුල්වල තත්ත්වය වඩා බිහිසුණුය. මෙහිවන අනෙක් ශෝකාන්තය නම්, ණය පියවීමට අපොහොසත් ස්ත්‍රීන් වෙත, ණය එකතු කිරීමේ බලධාරීන් විසින්  බලහත්කාර ලිංගික යෝජනා ගෙන ඒමයි. ඔවුන් අන්ත දුක්ඛිත ඉරණමකට ගොදුරු වී ඇති බවට බොහෝ සාක්ෂි තිබේ. මෙහි වන ඉතාම ඛේදනීය තත්වය නම්, යුද්ධයේ වින්දිතයන් වූ ස්ත්‍රීන්, මෙම මෙකි ක්ෂුද්‍ර මුල්‍ය ණය හරහා තව දුරටත් වින්දිතයන් වීමය. මේ ඛේදවාචකය පිළිබඳ සමාජයේ නිසි අවධානයක් යොමුවී ඇති බවක් නොපෙනේ.

යුද්ධය විසින් අපට අහිමි කළ බොහෝ දේ අතර පළමුවැන්න නම් මනුෂ්‍යත්වයයි.   උතුරේ ස්ත්‍රීන් දින 700 කට වැඩි කාලයක් තිස්සේ , බලහත්කාරයෙන් අතුරුදහන් කළ තම ආදරණියයන් සොයා දෙන ලෙස ඉල්ලා විදියේ අරගලයක නිරත වෙමින් සිටිති.  වවුනියාවේ, තැපැල් කාර්යාල භුමිය ඉදිරිපිට, තනා ගෙන ඇති තාවකාලික සෙවණක සිට, ඔවුන්, බලහත්කාරයෙන් අතුරුදහන් කළ තම ආදරණියන්ට සිදු වුයේ කුමක්දැයි සොයා දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටි. එහෙත් ඒ ඉල්ලීම් කෙරෙහි රජයේ අවධානය යොමුවී නැත. ඒ වෙනුවට දුම්රිය පොදු ප්‍රවාහනය තුළ සිදුවන තාඩන පීඩන අවම කරනු පිණිස ස්ත්‍රීන්ට වෙන්වූ දුම්රිය මැදිරි පමණක් ලැබී තිබේ. එයද අලුත් දුම්රිය මැදිරි නොව පැවති මැදිරියක් වර්ණ ගන්වා බෝඩ් ලෑල්ලක් එල්ලීමක් පමණි. ස්ත්‍රීන් හෝ පුරුෂයින් බෙදා වෙන්කිරීමට නොව මේ සියලුදෙනාට ආදරණීයන් ලෙස එක්ව ගමන් බිමන් ගිය හැකි දියුණු පොදු  ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීම මිස පැලැස්තර විසඳුම් මගින් ස්ත්‍රීන්ට විමුක්තිය උදාකර දිය නොහැකි බැව් වගකිව යුත්තන් වටහා ගත යුතුය.

පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435