ස්ත්‍රීයට එරෙහි හිංසනය නීතියේ හිල් නිසාම නෙවෙයි!

‘‘මේක මගේ ගෑනිත් එක්ක තියෙන ප්‍රශ්නයක්. එයාට ගහනවද, බණිනවද කියන එක මගේ වැඩක්“ බොහෝ නරුම පුරුෂයින් හිතන්නෙත්, ක්‍රියා කරන්නේත් එහෙමය. ඒත් ඔවුන්ට වැරදී තිබේ. නීත්‍යනුකූලව බිරිඳ වීම යනු පහරදීමට හෝ ශාරීරිකව හෝ මානසිකව පීඩා කිරීමට ලබාදෙන බලපත්‍රයක් නොවේ.

“අපේ ගෑනු අඳින්නෙ පළඳින්නේ කොහොමද කියලා ජනාධිපති කොහොමද තීරණය කරන්නේ?“ මේවන විට ආන්දෝලනයට තුඩුදී ඇති තවුහිද් ජමාද් සංවිධානයක ඉදිරිපෙළ නායකයෙකු කාලෙකට ඉහතදී මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කර තිබුණේ මුහුණ ආවරණය වන සේ ඇඳුම් ඇඳීමට තමන්ගේ ස්ත්‍රීන්ට අයිතියක් පවත්නා බව හා එය තීරණය කරනු ලබන්නේ තමන් බවයි. බොහෝ දෙනෙකු එම ප්‍රකාශය වැරදි තැනකින් අල්ලා ගෙන මත පළ කරනු දැකිය හැකි වුවද, ප්‍රශ්න කළ යුතුව තිබුණේ ‘අපේ ගෑනු“ හෝ ‘නුඹලාගේ ගෑනු“ යනුවෙන් ජීවින් වර්ගයක් නොමැති බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ස්ත්‍රීන් යනු පිරිමින් හා සමානවම අයිතිවාසිකම් හිමි පුරවැසියන් පමණක් බව නොවේද? ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණාව නොතකා හැරියහොත් තමන් අඳින්නේ පළඳින්නේ කෙසේද යන්න පිළිබඳ තීරණය කිරීමේ අයිතිය හිමිවිය යුත්තේ තමන්ටමය. සිංහල සමාජයේ හෝ වේවා මුස්ලිම් සමාජයේ හෝ වේවා ස්ත්‍රීන්ගේ ඇඳුම පැළඳුම තීරණය කිරීමේ අයිතිය හිමිවිය යුත්තේ ස්ත්‍රීන්ටම මිස පිරිමින්ට නොවේ.

අප විසින් ප්‍රශ්න කළ යුත්තේ මෙම පිරිමි මානසිකත්වයයි. පුරුෂෝත්තම භාවිතයයි. ‘ස්ත්‍රී දූෂණය‘ යන්නෙන් ස්ත්‍රීයට එරෙහි ප්‍රචණ්ඩත්වය, අපරාධය පිළිබඳ බොහෝ දෙනෙකුට සාමාන්‍ය වැටහීමක් හෝ ඇති නමුත් ‘විවාහක දූෂණය‘ පිළිබඳ අවබෝධයක් හෝ විශ්වාසයක් ඇත්තේ ඉතාමත් සුළු පිරිසකටය. තමන්ගේ විවාහක ස්ත්‍රීය බැවින් තමන්ට රිසි ලෙස ඇය පීඩාවට පත් කළ හැකි යයි විශ්වාස කරන පරිද්දෙන්ම විවාහක සහකරුවාගේ අකැමැත්තෙන්, බලහත්කාරයෙන් වුව ලිංගික ක්‍රියා සිදුකළ හැකි යයි බොහෝ පිරිමි විශ්වාස කරති. එහෙත් එය සාපරාධී අපරාධයකි. ‘විවාහක දූෂණය‘ යනු එයයි.

මීට අමතරව ස්ත්‍රීන්ට හා ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන් බොහෝය. එනම් හුදු ස්ත්‍රී-පුරුෂ සමාජභාවය නිසාම සිදුවන ගැහැට පහත පරිදි සටහන් කළ හැකිය.

  • ලිංගික පහර දීම්
  • සමීප ඥාතීන් සමග ලිංගික චර්යා
  • ළමයින් දූෂණය කිරීම
  • ලිංගික සූරාකෑම
  • ලිංගික හිංසන
  • බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීම
  • ලිංගික වහල් සේවය

‘ලිංගික වහල් සේවය‘ වැනි පූර්ව නූතන අත්දැකීම් වත්මන් සමාජය තුළ අත්දැකිය නොහැකි වුවද, ඇතැම්විට පූර්ව නූතන මනෝභාවයන් හා නරුම ක්‍රියාකාරකම් නූතන සමාජ වටපිටාව තුළ වෙනත් සංදර්භයක අභ්‍යාසවී තිබිය හැකිය. අජිත් පැරකුම් ජයසිංහ විසින් සිය බ්ලොග් සටහනක ලංකාවේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී ප්‍රචණ්ඩත්වය ගැන දැක්වූ සංඛ්‍යා දත්ත කිහිපයක් පමණක් මෙසේ දැක්විය හැකිය.

එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලය (UNOPS) විසින් 2011දී දිස්ත්‍රික් 11ක ගෘහස්ථයන් 4004ක් ඇසුරින් කරන ලද ලද සමීක්ෂණයකදී ප්‍ර‍තිචාර දැක්වූවන්ගෙන් 51.2%ක් ම පැවසුවේ ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය ඇති බවයි.
මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරිත්ව සංසදය විසින් රට පුරා මුස්ලිම් පවුල් 357ක් අතර 2004දී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වූයේ මුස්ලිම් කාන්තාවන්ගෙන් 48%ක් ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන බවයි.
2009දී රට පුරා උපාධි අපේක්ෂකයන් 1322ක් ඇසුරෙන් (ප්‍ර‍නාන්දු සහ කරුණාසේකර,2009) කරන ලද සමීක්ෂණයකට අනුව, 44%ක් උපාධි අපේක්ෂකයන් ලිංගික හිංසනයට ද, 36%ක් ශාරීරික හිංසනයට ද මුහුණ දී ඇත.

2002දී බදුල්ල දිස්ත්‍රික්කයේ ගර්භණී කාන්තාවන් 1200ක් ඇසුරෙන් කරන ලද සමීක්ෂණයකට අනුව (මුණසිංහ, 2002), 18.3%ක් ගර්භණී කාන්තාවන් ශාරීරික හිංසනයන්ට මුහුණ දී ඇත. කොළඹ, හම්බන්තොට, නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පිරිමින් 1700ක් ඇසුරෙන් කරන ලද සමීක්ෂණයකදී (ඩි මෙල්, 2013), 14%ක් පිරිමි දූෂණයේ යෙදෙන බව පිළිගන්නා ලදී. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පොදු ප්‍ර‍වාහනයේ ලිංගික හිංසනය පිළිබඳ කරන ලද 2015දී කරන ලද ජාතික සමීක්ෂණයකට අනුව, 90%ක් කාන්තාවන් ජීවිතයේ කිසියම් අවස්ථාවක පොදු ප්‍ර‍වාහනයේදී ලිංගික හිංසනයට ලක් වී තිබේ. ඒ අනුව ලාංකේය සමාජ වටපිටාව ඉතාම දූෂිත හා පහත් තත්ත්වයක පවත්නා බැව් පිළිගැනීමට සිදුවේ.

ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතුව රටේ පවත්නා නීති රීති වල අඩුවක් නොවේ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන පද්ධතියේ දුර්වලතාවකි. අනෙක් අතට නීතියෙන් පමණක් සමාජ ශෝධනයක් සිදුකළ හැකි යයි කිස්සේත්ම අපේක්ෂා කළ නොහැකිය. ඒ සඳහා ආකල්පමය හා සමාජ-සංස්කෘතික වෙනසක් සිදුවිය යුතුමය.

සටහන – පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435