ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය

(ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්)

කාන්තාව කළ යුත්තේ ගෙදර සිට දරුවන් රැකබලා ගැනීමද? නැතිනම් පිරිමියාට ලිංගික තෘප්තිය ලබාදීමද? කාන්තාවට දේශපාලනය අකැපද? කාන්තාවට අයිතිවාසිකම් අවශ්‍යද? මෙවන් සංවාද අප කොතෙකුත් අසා ඇත. මේ සමඟම බැඳෙන සමහරු කැමති සමහරු දරුණුව ප‍්‍රතික්ෂේප කරන ප‍්‍රමුඛතම සංකල්පයක් ලෙස ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පෙන්වාදිය හැකිය. මෙම සංකල්පය ගැන සාකච්ඡා කරන බොහෝ දෙනා හුදෙක් මෙය කාන්තාවන්ගේ අයිතිවාසිකම් නගා සිටුවීම සඳහා ගෙන ආ සංකල්පයක් ලෙස නැත්නම් කාන්තාවන්ට පමණක් අදාල වූවක් ලෙස ඒකපාර්ශවිකව අර්ථ ගන්වයි.

අතීත කාන්තාව හා වර්තමාන කාන්තාව සැසඳීමේදී ඇගේ කාර්යභාර්ය කුටුම්භය තුළ දරුවන් වැදීම හැදීම හා ගෙදරදොර වැඩකටයුතු බලා කියා ගැනීම ආදී සීමාසහිත එකක් විය. එවන් සමාජ වටපිටාවක් තුළ ඇයට ස්වාධීන වීමටත් සමාජශීලී වීමටත් අවස්ථාව නොලැබිණි. නමුත් විවෘත ආර්ථිකයේ ආගමනය හා නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රතිඵලයක් ලෙස කාන්තාව අධ්‍යාපනයට නැඹුරු වූ අතර එහිදී ඇය වෘත්තීය පුහුණුවීම් වලටද යොමු විය. මේ නිසා ඇයට රැකියා ක්ෂේත‍්‍රයේ නව මංපෙත් විවර වූ අතර වර්තමාන ධනවාදී ආර්ථිකය තුළ ඇය තවදුරටත් පවුල තුළට කොටු නොවී දේශීය ආර්ථිකයේ ප‍්‍රධාන උපයන්නා බවට පත්වී ඇත. මේ ඇර්ථික සාධකය නිසාවෙන් කාන්තාව පිළිබඳ නවමු කතිකාවතක් ගොඩනැගෙමින් වර්ධනය විය. අතීතයේ උගත් කාන්තාවකට කළ හැකි ඉහලම රැකියාව වූයේ ගුරු වෘත්තියයි. දෑඟුල් නුවණක් පමණකි කියා බමුණු සමාජය උදම් වැනූ අවධියක සිට වත්මන් අධ්‍යාපනයේ මංපෙත් විවර කරමින් ඇය වෛද්‍ය, කලාව, ඉංජිනේරු, වෙළඳ, පරිපාලන, නීතිය යන සෑම ක්ෂේත‍්‍රයකම පෙරමුණේ සිටියි.

වර්තමානයේ ධනවාදී ආර්ථිකයේ කාන්තාව වඩ වඩාත් සමාජකරණය වීම හේතුවෙන් ඇයට ආයතන පරිසරය තුළ, පවුල තුළ, ඇයගේ වෘත්තිය තුළ තම කාර්යභාරය නිසි ලෙස ඉටුකර ගැනීමට යාමේදී උද්ගත වන ගැටළු පවතී. එම ගැටළු කෙරෙහි යම්කිසි සංවේදීභාවයකින් බැලීමට ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය උපකාරීවේ. සරලව දක්වන්නේ නම් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය යන්නෙන් අදහස් කරන්නේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අන්තගාමී මත දරන කාන්තාවන්ට තෝතැන්නක් ලෙස මෙම ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය සංකල්පය ඇති කිරීම නොවේ. එලෙසම මෙහි අරමුණ ස්ත‍්‍රිය පුරුෂයා වීමත් පුරුෂයා ස්ත‍්‍රිය වීමත් නොවේ. කාන්තාව පුරුෂයාට යටත් වීම හෝ පුරුෂයා පරයා කාන්තාව ඉහලට ඒමද නොවේ. ඇයට අවශ්‍ය වන්නේ සම තැන ලබාදීමයි. ඇය පිළිබඳ සමාජය තුළ යම් ධනාත්මක සංවේදීභාවයක් ඇති කිරීමයි.

රටක සංවර්ධනයේ එක් මිනුම් දණ්ඩක් වන්නේ සියල්ලන්ටම සමානාත්මතාවයෙන් සැලකීමයි. ඒ තුළ පිරිමියා මෙන්ම ළමයා හා කාන්තාවද සිටිති. එවැන් පරමාදර්ශි සමාජයක් බිහි කිරීම තුළ කාන්තාවට සුවදායක හා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම කාගේත් වගකීමයි.

මෙතෙක් කලක් සමාජය සිතා සිටියේ සංවර්ධන ක‍්‍රියාවලිය තුළ සැමටම සමානව සලකන බවයි. නමුත් එහි බලපෑම ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී (Gender Neutral) අර්ථයෙන් උදාසීන බව වර්තමානය වන විට පැහැදිලිය. ස්ත‍්‍රීන් හා පුරුෂයින් අතර පවතින ජීව විද්‍යාත්මක වෙනස්කම් හා සමාජය විසින් ගොඩනංවන ලද වෙනස්කම් නිසා පවුල තුළ සමාජයේ සම්පත් පරිහරණය කිරීම තුළ පීතෘ මූලික සමාජය විසින් ගොඩනංවා ඇති යම් යම් සීමා බන්ධන වේ. මේ නිසාම ස්ත‍්‍රීන්ට වෙනස්කොට සැලකීමටත් සියලූ ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ටත් තවදුරටත් ඇය ගොදුරු වෙයි.

මෑත කාලීන වර්ෂවලදී කාන්තාවන්ගේ ඉහල අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකිය යුතු සංවර්ධනයක් සිදුවුවද එම සංවර්ධනය වර්ගය හා ජනවාර්ගිකත්වය සම්බන්ධයෙන් සමානව සිදුවී නැත. National Center for Educational Statistics විසින් 2011දී ඉදිරිපත් කළ වාර්තාවක් මගින් ඉහල පවුල්වල දරුවන් 82%ක් ඉහල පාසල්වලට ලියාපදිංචි වන විට පහල පවුල්වල දරුවන්ට ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ලැබෙන්නේ 52%ක් වැනි අඩු ප‍්‍රමාණයකට බව සොයාගෙන ඇත. ඒ අනුව පහල පවුල්වල ගැහැණු දරුවන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් එවන් අමතර අභියෝගයකටද මුහුණ දීමට සිදුවී ඇත.

අධ්‍යාපනය සම්බන්ධ අනෙක් විෂමතාවය වන්නේ සේවායෝජකයින් විසින් කාන්තා හා පිරිමි උපාධි වෙනස් ලෙස දැකීමයි. American Center for Progress හි වාර්තාවන්ට අනුව කාන්තාවන් පිරිමින් හා සමාන උපාධිධාරීන් වීමට නම් අතිරේක උපාධියක් අත්‍යවශ්‍ය බව සොයාගෙන ඇත. නිදසුනක් ලෙස කාන්තාවකට වෛද්‍ය උපාධියක් හිමි නම් එය පිරිමියෙක්ගේ සාමාන්‍ය උපාධියකට සමාන බව මෙමගින් කියැවේ. මෙය අධ්‍යාපනය සම්බන්ධයෙන් පැහැදිලිවම කාන්තාව වෙනස් කොට සැලකීමකි.

එක්සත් ජාතීන්ගේ තතු විමසුම්වලට අනුව ලෝකයේ සෑම තැන්හිම ගැහැණු ළමුන් අඩු සැලකිලිවලට මුහුණ දෙති. බොහෝ විට ඔවුන්ට ආහාරපාන ලැබෙන්නේද පිරිමි දරුවන්ට වඩා අඩුවෙනි. මේ අනුව  එක්සත් ජාතීන් සම්මත කොට ගත් ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය (1989) ගැහැණු දරුවනට ඉගැන්වීම සඳහා වැඩිපුර මුදල් වියදම් කරන ලෙස ආණ්ඩුවලින් ඉල්ලා සිටියි.  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1979 දී සම්මත කොට ගන්නා ලද ස්ත‍්‍රීන් හට එරෙහි සියලූ ආකාර වෙනස්කම් පිටු දැකීමේ සම්මුතිය (CEDAW) ස්ත‍්‍රීන් පිළිබඳ අන්තර්ජාතික අයිතිවාසිකම් පනතක් ලෙස දැක්විය හැක.

වර්තමානයේ කාන්තාවනට හා ගැහැණු ළමයින්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වසංගතයක මට්ටමින් පැතිර පවතී. එනිසාම එය විශ්ව ගැටලූවක් වන අතරම ඒ වෙනුවෙන් ගෙවන මානව පිරිවැයද අදෘශ්‍යමානය. යටත් පිරිසෙන් ලෝකයේ සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් කාන්තාවක් ඇගේ ජීවිතකාලය තුළ පහර කෑමට, ලිංගික හෝ වෙනත් අපයෝජනයකට ලක්වෙයි. ඒ අනුව වර්තමානයේ ලාංකික කාන්තාවටද ආර්ථික ක‍්‍රමයේ පවතින ආර්ථික සූරාකෑම, ලිංගික අපයෝජන, දේශපාලනික බැහැර කිරීම් හා නීතිමය වෙනස්කම්වලට මුහුණ දීමට සිදුව ඇත. මේ සියලූ හේතු නිසාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සමස්ත රටවල් 193 ද තවත් අන්තර්ජාතික සංවිධාන 23කට ආසන්න ප‍්‍රමාණයක්ද එකතුව වර්ෂ 2015දී ළඟා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක අතර ස්ත‍්‍රී පුරුෂ සමානත්වය ප‍්‍රධාන කරුණක් ලෙස දක්වා ඇත.

මේ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ සහශ‍්‍ර අරමුණු හරහා පසුගිය දශක කීපය තුළ ලෝක ආර්ථික හා දේශපාලනය තුළ සිදුවූ වෙනස්වීම් නිසා මෙම කාන්තාවන්ට සිදුවන වෙනස්කොට සැලකීම් යම්තාක් දුරකට යටපත් කිරීමට සමත් වී ඇත. උදාහරණයක් ලෙස බ‍්‍රසීලයේ 2011 ජනවාරි 1 වනදා ජනාධිපතිධූරයට පත් ඩිල්මා රුසෙව් එරට පළමු ජනාධිපතිවරිය වන අතර ඇය කාන්තා හිංසනය තදින්ම පිලිකුල් කරන්නියකි. ඇය විසින් බ‍්‍රසීලයේ පාර්ලිමේන්තුව තුළ කාන්තා හිංසනය කෙරෙහි දැඩි නීතිරීති මාලාවක් සම්මත කළාය. ඒ අතර කාන්තාවක හිංසනයට ලක්කරන පුද්ගලයෙකු හිරගෙදරට නොයවන නමුත් ඇයට වන්දි දිය යුතුය. ආබාධිත කාන්තාවක් හිංසනයට ලක්කරන්නෙකුට ඇය ජීවත්වන තාක් කල් ජීවත්වීමට සරිලන මුදලක් මාස් පතා ගෙවීමට සිදුවීම ආදිය දැක්විය හැකිය.

වර්තමානයේ කාන්තාව ආර්ථික හා සමාජ තත්ත්වය දියුණු වීම වැනි කාරණා තුළදී ඇයට මෙම ආර්ථික ක‍්‍රමයේ ආර්ථික සූරිකෑම, ලිංගික අපයෝජන හා දේශපාලනික බැහැර කිරීම් මඟ හරවා ගැනීමට නම් ආකල්පමය, ආර්ථික අතින් මෙන්ම දේශපාලනික හා නීතිමය වශයෙන්ද ඇය බලගැන්වීමක් කළ යුතුය. ඒ සඳහා වර්තමානය වන විට දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද රාජ්‍යයන් විවිධ පියවර ගෙන ඇත.

ශ‍්‍රී ලංකාවේ කාන්තා ප‍්‍රඥප්තියෙහි 1 වන වගන්තිය හරහා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම එහි අරමුණ බව දක්වා ඇත. එනම් රජය විසින් සෑම ක්ෂේත‍්‍රයක් කෙරෙහිම විශේෂයෙන් දේශපාලන, සමාජීය, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත‍්‍රයන් තුළ කාන්තාවන්ට උපරිම දියුණුවක් හා ප‍්‍රතිලාභයන් ලබාගැනීම උදෙසා මූතික අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස සුරක්ෂිත වන ආකාරයෙන් පිරිමියා හා සමාන අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව එහි සඳහන්ය. එසේම කාන්තා ප‍්‍රඥප්තියෙහි 14, 15, 16 වගන්ති හරහා සමාජ වෙනස්කම් වලින් ආරක්ෂා වීමේ අයිතිය මෙන්ම ලිංගභේද පරතරය මත ඇතිවන ප‍්‍රචණ්ඩත්වයන්ගෙන් ආරක්ෂා වීමේ අයිතියද කාන්තාවන් කෙරෙහි තහවුරු කර ඇත.

අන්තර්ජාතික වශයෙන් ගත් කල කාන්තාවන් වෙනස්කොට සැලකීම වලක්වාලීම සඳහා ගත් සාධනීය පියවරක් ලෙස ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ෆෙඩරල් කොන්ත‍්‍රාත්තු අනුකූලතා වැඩසටහන් කාර්යාලය ආරම්භ කිරීම පෙන්වාදිය හැක. එහි අරමුණ වන්නේ ෆෙඩරල් කොන්ත‍්‍රාත්කරුවන් හා උප කොන්ත‍්‍රාත්කරුවන් අතර වෙනස්කම් හා මැඩලීම් අවම කරමින් නිසි ගෙවීම් රටාවන් හඳුනාගැනීම, ධනාත්මක ක‍්‍රියාදාමයන් ලබාදීම හා ලිංගිකත්වය, ජාතිය, වර්ගය, ආගම් නොසලකා සමාන රැකියා අවස්ථා ලබාදීමයි. ඒ හරහා කාන්තාවන්ට යම්කිසි නියෝජනයක් ලබාදීම අරමුණු කොට ඇත.

එසේම නවීන අධ්‍යනයන්ට අනුව කාන්තාවන්ට අයත් ව්‍යාපාරවලින් ලාභ ලබන්නේ 2.7%ක් පමණි. Kickstarter වැනි සමූහ අරමුදල් හරහා එවැනි කාන්තාවන් නගා සිටුවීමේ හැකියාව ලබාදී ඇත. මෙහීදී කාන්තාවන්ට ඔවුන්ගේ දැක්මන් හා සැලසුම් අනෙකුත් සමාගම් සමග බෙදාගැනීමට මෙන්ම ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අරමුදල් ලබාගැනීමේ ඉඩ ප‍්‍රස්ථාවද හිමිවේ. එසේම එක්සත් ජාතීන්ගේ කාන්තාවන් විසින් ආරම්භ කළී ඇය වෙනුවෙන් ඔහු යන සංකල්පයද කාන්තාවන් වෙනස්කොට සැලකීම වලක්වාලීම සඳහා ගත් සාධනීය පියවරකි. එමගින් කාන්තාවන්ට වන අසාධාරණයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පිරිමි පක්ෂයේ සහභාගීත්වය වර්ධනය කිරීම අරමුණයි. 2015 දෙසැම්බර් වන විට මිලියන 1/2 ක පිරිමින් අදාල යෝජනාවට සහය පල කිරීම සඳහා ප‍්‍රතිඥා දෙන ලදී.

මෙවන් අන්තර්ජාතික පියවරයන් හරහා යම්තාක් දුරකට කාන්තාවන් වෙනස්කොට සැලකීම යටපත් වුවද ස්ත‍්‍රී පුරුෂ පරතරය තවමත් සම්පූර්ණයෙන් යටපත් වී නැත. මෙපමණක් නොව ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී කාන්තා දායකත්වය ඉහළ දැමීමට පියවර ගත යුතුය. ඒ හරහා ඇයගේ මානසික තත්ත්වය ශක්තිමත් වීමද සිදුවන අතර පවුල තුළ ඇයට අවශ්‍ය පිලිගැනීම, ගෞරවය, ආදරය, නිසි තැන ලැබේ. එමගින් ඇය සුරක්ෂිත කිරීමේ සාමූහික ප‍්‍රයත්නයට අඩිතාලම නිවස තුළම වර්ධනය කර ගත හැක. එසේම කාන්තාවගේ අයිතිවාසිකම්, පූර්ණ අයිතිවාසිකම්, ආරක්ෂාව හා සහභාගීත්වය තහවුරු කෙරෙන ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම, ඒවා ක‍්‍රියාත්මක කිරීම, පසු විපරම හා ඇගයීම තුළින් මෙම සංකල්පය නිවැරදිව සමාජගත කිරීමටද හැකි වනු ඇත. ස්වශක්තියෙන් අභියෝගයන්ට මුහුණ දෙමින් සිය ශක්තිය සහ බුද්ධිය උපරිම ලෙෂත් නිවැරදි ලෙෂත් යොදාගනිම්න් කාර්යයන්හි නිරතවීමට ඇයව පුරුදු පුහුණු කිරීම හා නිවැරදි සංවිධාන රාමුවක් තුළ සැලසුම් සහගත දැනුවත්භාවයක් ලබාදෙමින් සමාජීය හා ආර්ථික අතින් බලගැන්වීම තුළ ඇයගේ අභිවෘද්ධිය සාක්ෂාත් කර ගත හැක.

පිරිමියාට මෙන්ම කාන්තාවටද සුවදායක හා සුරක්ෂිත පරිසරය ලැබීමේ අයිතිය ඇත. කාන්තාව යනු තවත් මිනිස් වර්ගයක් මිස විශේෂ අනුකම්පාවක් හෝ ආරක්ෂාවක් තවත් කෙනෙකුගෙන් ඇයදිය යුතු තැනැත්තියක් නොවන බව අප සැම අවධාරණය කර ගත යුතු කරුණකි. අවසාන වශයෙන් මහත්මා ගාන්ධි කළ ප‍්‍රකාශය මෙසේ සටහන් කරමි.

“ගැහැණියගේ සේවය පිරිමියාගේ සේවය තරමට අගය නොකරන සමාජයේ සමබර දියුණුවක් ඇත්තේ නැත.“

ජේ.කේ.තුෂරි රාධා ජයසූරිය

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435