ස්මාට් ෂර්ට් සමාගමේ සේවක රැකියා අනතුරේ?

කටුනායක ස්මාට් ෂර්ට් සමාගමේ වැඩ කරන සේවකයන් ක‍්‍රම ක‍්‍රමයෙන් දොට්ට දමන වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව වමේ හඬට වාර්තාවී තිබේ. දැඩි මර්ධනකාරී පාලනයක් ගෙනයන ආයතනයක් වන මෙම සමාගමේ පාලකයන් සේවකයන් සංවිධානයට වීමට දැඩි විරෝධයද පලකරයි.

මේ දිනවල සමාගමේ සේවකයන්ගේ අතිකාල කප්පාදු කර ඇති අතර එම හේතුවෙන් සේවක ආදායම්ද පහල වැටී ඇත. කලාපවල සේවකයන්ට ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබෙන නිසා අතිකාලවලින් ලැබෙන ආදායමින් ඔවුන්ගේ වියදම්වලින් හරි අඩකටත් වැඩි ප‍්‍රමාණයක් පිරිමැසෙනමුත් සමාගමේ මෙම අතිකාල කප්පාදුව නිසා සේවකයන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

මේ අතර සේවකයන්ට රැකියාවෙන් ඉවත්ව යන ලෙසට කරන බලපෑම් නිසා විශාල පිරිසක් සේවයෙන් ඉවත්ව ගොස් තිබෙන අතර ඔවුන්ට ප‍්‍රමාණවත් වන්දියක්ද ලබා දී නොමැත. එමෙන්ම සමාගමේ විවිධ පෙදෙස්වල පිහිටා ඇති ෆැක්ටරිවල සේවකයන් හේතුවක් රහිතව එහාට මෙහාට මාරු කිරීම නිසා සේවකයන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති අතර ඔවුන්ට වැඩිපුර වියදමක් දරන්නටද සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් සේවකයින්ගේ පාර්ශවයෙන් ප්‍රකාශකරනු ලබන්නේ ඔවුන්ට රැකියා එපා කරවීමට මෙසේ සිදුකරන බවයි. මෙසේ සේවයෙන් ඉවත් කළ සමහර සුපවයිසර්වරුන් මෑන්පවර් සමාගම් මගින් මුට්ට කර ගැසීමේ රාජකාරිවලට යොදවනු දැකිය හැකි බවද සේවකයෝ කියති. මෙම සුපවයිසර්වරුන් සමහරෙක් ඉහල කළමණාකාරිත්වයේ බලපෑම පිට පසුගිය කාලයේ වෘත්තීය සමිතියෙන් සාමාජිකත්වය අස් කරවා ගැනීමට යොදවා ගත් අය වෙති. තමන්ගේ රැකියාව අහිමි වීමේ තර්ජනයක් යමෙකුට ඇත්නම් සාමාජිකත්වය ඇතත් නැතත් වහාම සමිතියේ උපදෙස් ලබා ගන්නා ලෙස සමිති නායකයෝ පවසති.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435