සැබෑ ගුරුවරයා යනු ප‍්‍රඥාව සහ හදවතේ එකතුවකි

අද වන විට ඉගෙනුම් සහ ඉගැන්වීම් ක‍්‍රියාවලිය වඩාත් ගුණාත්මක සංවර්ධනයක් උදෙසා වූ ගුරුවරයාගේ කාර්යභාරය පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව ඇත. එනම් ශිල්ප ක‍්‍රමයක් සාර්ථක වත් ඵලදායි ලෙසත් සිදු කිරීමට නම් යම් විද්‍යාත්මක පදනමක සිට ඉගැන්වීමේ ක‍්‍රියාවලිය සිදු කළ යුතුය. ඉගෙනුම යනු ස්ථාවර වූ දිගු කල් පවත්නා වූ චර්යාත්මක වෙනසක් වේ. ඉගෙන්වීම යන්නෙත් එවැනි චර්යාත්මක වෙනසක් ඇති කර ගැනීම සඳහා උචිත පරිදි අදාළ ක‍්‍රියාවලිය මෙහෙයවීමයි.

මෙම සියවසේ අධ්‍යාපනඥයන්ගේ මතය වී ඇත්තේ අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රගතව ක‍්‍රියාත්මක විය යුතු බවයි. නැතහොත් ඉගෙනීම සඳහා ශිෂ්‍යයා තුළ අභිරුචියක් ඇති නොවේ. දැනුම යන්න බලෙන් පැටවිය හැක්කක් නොවේ. එසේ කිරීමට යෑමෙන් ශිෂ්‍යයා ඉගෙනීම ප‍්‍රතික්ෂේප කරයි. එනම් වැඩිකල් යෑමට මත්තෙන් ශිෂ්‍යයා අතෘප්තිකර බවට පත්වන අතර ඊට එරෙහිව සිය විරෝධතාවද දක්වයි. අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රගතව සිදු වුවද අධ්‍යාපන ක‍්‍රියාවලිය ගුරුවරයා කේන්ද්‍රගතව සිදුවේ. එනම් ඉගෙන්වීම සිදුකරනුයේ ගුරුවරයාය. ඒ සඳහා සැලසුම් සකස් කරනුයේ ද ගුරුවරයාය.

මුල්කාලීනව පෙරදිග මෙන්ම අපරදිග ද ගුරුවරයා කේන්ද්‍ර කොටගත් අධ්‍යාපන ක‍්‍රමවේදයක් පැවතුණි. ගුරුවරයා සියලූ දේ දන්නා තැනැත්තෙකු බවට වන මතයක් විය. එහිදී නව දැනුම සොයා යනු වෙනුවට සිදුවනුයේ දැනුම සංරක්ෂණය කිරීම ය. මෙහිදී න්‍යායාත්මක කරුණු කෙරෙහි පමණක් අවධානය යොමුවිය. තමන් උගත් කරුණු අන්ධ භක්තියෙන් විශ්වාස කිරීමට ඔවුන් පුරුදු වී සිටියේය. එමගින් නිර්මාණශීලී දරුවන් බිහි නොවුන බවට වැඩිකල් යෑමට මත්තෙන්ම අධ්‍යාපනඥයෝ තේරුම් ගත්හ. එනම් අද වන විට ගුරුවරයාගේ භූමිකාව බොහෝ සෙයින් වෙනස් වී ඇත. එහිදී ශිෂ්‍යයන්ට දැනුම ලබා ගැනීමට බල නොකෙරේ. එකිනෙක ශිෂ්‍යාගේ දක්ෂතා, හැකියා, ආකල්ප තේරුම් ගෙන ඊට සරිලන ලෙස ඉගැන්වීමේ ක‍්‍රියාවලියේ නිරත වීමට ගුරුවරයා උත්සාහ දරයි.

ඉගෙන්වීමේ ක‍්‍රියාවලිය තුළදී ගුරුවරයාට විෂය දැනුමට පමණක් සීමාවී කළ නොහැකිය. ඇතැම් විට ගුරුවරයාට විවිධ අත්දැකීම් වලටද මුහුණ දීමට සිදුවේ. එනම් විවිධ පවුල් පරිසර වලින් එන දරුවෝ ඔවුනට මුණ ගැසෙති. මේ එවන් අත්දැකීමකි. කසුන් පාසලේ හය වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙකි. ඔහු පන්තිය තුළ ජීවත් වන්නේ තනිවමය. තරමක දැඩි මුරණ්ඩු හැසිරීම් රටාවක් පෙන්නුම් කළේය. විටක තම යහළුවන් සපා කෑමටත් විටක තම යහළුවන්ට පහර දීමටත් ක‍්‍රියා කළේය. මේ සම්බන්ධයෙන් පන්තියේ අනිත් සිසු දරුවන්ගෙන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් ද නිතර දෙවේලේ මැසිවිලි නැගුණි. පන්තිභාර ගුරුවරිය කසුන්ට තරවටු කළද ඉන් පලක් නොවීය. මෙම අවනඩුව පාසලේ මුල් ගුරුවරයාට යොමු විය. විදුහල්පතිවරයා එම දරුවාව තම නිල කාමරයට කැඳවිය. ඔහු දරුවාට බැන වැදීමට හෝ තරවටු කිරීමට කටයුතු කළේ නැත. ඒ වෙනුවට ඔහු සිදුකෙළේ දරුවාට ආදරෙන් කතා කොට සංග‍්‍රහ කිරීමය. දින කිහිපයක් ගතවෙද්දී කසුන් මුල් ගුරුපියාගේ සමීපතම ඥාතියෙකු බවට පත් විය. දරුවා ඔහුට සිය පවුලේ තොරතුරු නොසඟවා පැවසීය. කසුන්ගේ පියා ඔහු කුඩා කලම සිය මව අතහැර ගොසිණි. ඔහුට කිසිදිනක සිය පියාගේ සෙනෙහස හිමිවී නොතිබුණි. එම දරුවා තම හැඟුම් පිට කරනු ලැබුවේ එවන් හිතුවක්කාරකම් හරහාය. පාසලේ මුල් ගුරුපියාණන් දරුවාට තරවටු කරනු වෙනුවට සෙනෙහස ලබා දුනි. ටික කලක් යෑමට මත්තෙන් කසුන් පන්තියේ අන් දරුවන්ටද ආදර්ශවත් සිසු දරුවෙක් බවට පත්විය. මෙය එක් සිදුවීමක් පමණි. මේ ආකාරයේ අත්දැකීමකදී ගුරුවරයා හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව විෂය මූලික දැනුමෙන් පමණක් තීරණය නොවේ. එ් සඳහා ගුරුවරයාට අධ්‍යාපන දර්ශනය, මූලධර්ම, ළමා මනෝවිද්‍යාව, සමාජ විද්‍යා ඇතුළු විෂයන් කෙරෙහි පුළුල් අවබෝධයක් පැවතිය යුතුය. එය විෂය දැනුමෙන් එහා ගිය පුළුල් දැනුම් සම්භාරයකි.

එමෙන්ම ගුරුවරයාට පාසල තුළදී මුණ ගැසෙනුයේ සිසුන් පමණක් නොවේ. එනම් පාසලේ විදුහල්පතිවරයා, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිලධාරීන්, දෙමව්පියන්, සහෝදර ගුරුවරු යනාදිය සමග ද ගනුදෙනු කිරීමට සිදුවෙයි. ඔහුන්ගේ කාර්යභාරය අණපනත්, චක‍්‍රලේඛන චක‍්‍රලේඛ, විධිවිධාන, රෙගුලාසි යනාදිය මගින්ද සීමා කරණයට යටත් වේ. නමුදු එය එතරම් සාධාරණ නොවේ. මන්දයත් ගුරුවරයාට අන් රජයේ සේවකයකුට මෙන් තම රාජකාරි විෂය ක්ෂේත‍්‍රය තුළ පමණක් කටයුතු කිරීමට නොහැකිය. ගුරු භූමිකාව ඉන් ඔබ්බට ගිය එකකි. නිදර්ශනයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය 2012/37 දරන චක‍්‍ර ලේඛනය මගින් සදාචාරාත්මක හැසිරීම පිළිබඳව ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දුන්නේ ය. එහිදී තමන් සඳහාම පනවා ගත යුතු අවංකත්වය, සෘජු බව, ආදර්ශවත් යනාදීය කරුණු දක්වා ඇත. සමාජ වගකීමක් ඇති පුද්ගලයන් වශයෙන් මෙන්ම සමාජය ගුරුවරයාගෙන් අපේක්ෂා කරන වගකීම, ආකල්ප, චාරිත‍්‍ර වාරිත‍්‍රයන්ද වන බව දක්වා ඇත. ගුරුවරයා ස්වයං විනය තුළ හික්මිය යුතුය යන්න මෙමගින් ද ගම්‍ය වේ.

අද්‍යතන සමාජය තුළ ගුරුවරයාගේ විනය පිරිහුනු අවස්ථා ද අපට අසන්ට දකින්ට ලැබුණි. එනම් සිසු ¥ දැරියෝ අපයෝජනයකට ලක් කිරීම, තුවාල සිදුවන ආකාරයේ දැඩි ප‍්‍රහාර දීම, බැන තර්ජනය කිරීම, නොසලකා හැරීම වැනි අකටයුතුකම් එ් අතර වේ. විශේෂයෙන්ම පාසල් වේලාවන්ගෙන් පසුව පැවැත්වෙන උපකාරක පංති සඳහා සහභාගි නොවන සිසුන් වෙත බලපෑම් කිරීමද ප‍්‍රබලව සිදුවන්නකි. මෙවන් සිදුවීම් හේතුවෙන් වර්තමානය තුළ ගුරුවරයා කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටී ඇත. ගුරු ගෞරවයද පරිහානියට පත්වෙමින් පවතී.

ගුරුවරයා නිසා ශිෂ්‍යයාද ශිෂ්‍යයා නිසා ගුරුවරයා ද බබළයි යන්න සැබෑවකි. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර පැවැතිය යුතු සම්බන්ධතාවය පිය, පුත‍්‍ර සම්බන්ධතාවක් විය යුතු බවට බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක. ”ආචාර්ය තෙමේ අතවැසි කෙරෙහි පුත‍්‍රයාය යන සිත උපදවන්නේය, අතවැසි තෙමේ ආචාර්ය කෙරෙහි සිත උපදවන්නේය” යනුවෙන් මහා වග්ග පාලියේ සඳහන් වන්නේ එලෙසිනි. නමුදු අද වන විට මෙම ගුරු ගෝල සම්බන්ධතාව බෙහෙවින්ම බිඳ වැටී ඇත. එ් සඳහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ පාසල් අධ්‍යාපනය විෂය ධාරාවට පමණක් සීමා වීම, උපකාරක පන්ති, වාර විභාග ඉලක්ක ගත කර ගෙන සිදු කෙරෙන ඉගෙන්වීමේ ක‍්‍රියාවලිය, ශිෂ්‍යයන්ට ද්වේශය සහගතව සිදු කෙරෙන දඬුවම්, එ් සම්බන්ධයෙන් දෙමාපියන් තුළ පවතින්නා වූ ආකල්ප යනාදිය වේ. පිරිස බිඳවැටෙමින් පවතින ගුරු ගෝල සම්බන්ධතාව වර්ධනය කිරීමට නම් ගුරුවරයා දැනුමින් පෝෂණය වූ අයෙකු විය යුතුය. එමෙන්ම ආදර්ශවත් චර්යාවන්, ඉගැන්වීමේ කෞශල්‍යය, අත්දැකීම් බෙදා ගැනීම සඳහා පවත්නා කැපකිරීම, ශිෂ්‍යයා කෙරෙහි වන ධාරක ස්නේහයද වැදගත් වේ. ගුරුවරයා පන්ති කාමරය තුළ සිය අණසක පතුරුවන භූමිකාවෙන් ඔබ්බට යා යුතුය. ශිෂ්‍යයන්ගේ වෙනස් හැකියාවන් ඔවුන් තේරුම් ගත යුතුය. ඉගෙන්වීමේ ක‍්‍රියාවලිය තුළ තාක්ෂණික මෙවලම් භාවිත කළ යුතුය. විෂය පරිබාහිර ක‍්‍රියාකාරකම් සඳහා වන පුළුල් සහභාගිත්වය ද වැදගත් වෙයි. ශිෂ්‍යයා පාසලින් පසු පිය නගන්නේ සමාජයටය. එ් සඳහා ඔවුන් පුරුදු පුහුණු කළ යුතු ය. අද වන විට මුළු මහත් ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. අතීතයේදී මාස ගණන් ගත කරමින් ලබා ගන්නා වූ තොරතුරු අන්තර්ජාල හරහා එක ක්ෂණයකින් ලබාගැනීමට ශිෂ්‍යයාට හැකියාව පවතී. එවන් දියුණු තාක්ෂණික වටපිටාවක් තුළ ශිෂ්‍ය ඉගැන්වීමේ ක‍්‍රියාවලියට ඇද බැඳ තබා ගැනීම සඳහා ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මෙවලම් භාවිත කළ හැකිය. එවිට ශිෂ්‍යයා ගුරුවරයා කියන දේ ප‍්‍රායෝගිකව

සිය දෑසින් බලා කනින් අසා දැන ගනි. ඔහුට එය අලූත් අත්දැකීමකි. එලෙස ඇතිවන්නා වූ කුතුහලය ඔහු සමාජ පර්යේෂකයකු බවට පත් කරයි.

ඉගෙන්වීමේ ක‍්‍රියාවලිය තුළ ගුරුවරයා දක්ෂ සන්නිවේදකයකු විය යුතුය. නැතහොත් ගුරුවරයා කොතරම් දැනුමින් සන්නද්ධ වූ අයෙකු වුවද ගුරුවරයා ප‍්‍රකාශ කරන දේ ශිෂ්‍යයන්ට නොතේරෙයි. එනම් සංනිවේදනය යනු එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට තොරතුරු යැවීමය. එනම් අදහස් හැඟීම්, ආකල්ප, හුවමාරු කරගැනීමද සන්නිවේදනයේ දී සිදු වෙයි. එහිදී වඩාත් වැදගත් වන්නේ භාෂාවයි. ලිවීම, කියවීම, සවන්දීම, කතාබහ කිරීම තුළින් ගුරුවරයාට දරුවා සමග සන්නිවේදනය කළ හැකි නමුදු එ් අතරින් සවන් දීම සහ කතාබහ කිරීම ඉතා වැදගත් වේ. එනම් දරුවාගේ මනස තේරුම් ගැනීමට නම් ඔහුට සවන් දිය යුතු ය. දරුවාට සවන් දෙන බවට එ්ත්තු ගැන්වීමද ඉතා වැදගත් ය. එනම් අද වන විට ගුරුවරයාගේ භූමිකාව සාම්ප‍්‍රදායික මතවාදයන්ගෙන් ඔබ්බට ගිය නව චින්තනයක් මත ගොඩ ගොඩ නැංවිය යුතුය.

ගුරුවරයා ගේ ඉගෙන්වීමේ ක‍්‍රියාවලිය වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම ලෙස සිදු කිරීමට නම් ඔහු වඩාත් තෘප්තිමත් තැනැත්තෙකු විය යුතුය. අද වන විට එ් සම්බන්ධයෙන් අප රටේ පවත්නා වූ තත්ත්වය කනගාටුදායකය. ගුරු මාරු කිරීම්, උසස් කිරීම්, වැටුප් වර්ධක ලබා නොදීම, දුෂ්කර පළාත් වල අඛණ්ඩව සේවා සිදු කිරීම වැනි ක‍්‍රියා ඇතැම් විට සිදුවන්නේ විධිමත් ක‍්‍රමවේදයකට අනුව නොවෙයි. අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ දේශපාලන ඇඟිලි ගැසීම් සහ බලපෑම ද එමටය. මේ සම්බන්ධයෙන් රජයකට ගත හැකි ක‍්‍රියාමාර්ග බොහෝය. ගුරුවරයා සිය ගුරු භූමිකාව තුළ උපරිම දායකත්වය ලබා ගැනීමට නම් ගුරුවරයා එකී ක‍්‍රියාවලිය තුළ උනන්දු කරවිය යුතුය. ඒ සඳහා ගුරු කාර්ය සාධක ක‍්‍රම අනුගමනය කළ හැකිය. එමගින් ගුරුවරයාගේ කාර්යන්හි වඩාත් ගුණාත්මක සහ නිර්මාණශීලිත්වයක් ඇතිවෙයි. තවද ගුරුවෘත්තියේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය වර්ධනය වීමටද එය හේතුවක් වේ. එහිදී විෂය නිර්දේශය නියමිත කාලය රාමුව තුළ නිම කිරීම, සිසුන්ගේ කුසලතා හඳුනා ගැනීම, යෝග්‍ය ඉගැන්වීමේ ක‍්‍රම ශිෂ්‍යයාගේ සාධන මට්ටම පවත්වා ගෙන යාම, විෂය හා විෂය සමගාමී ක‍්‍රියාකාරකම් කෙරෙහි වන අවධානය වැනි කරුණු පදනම් කරගෙන මෙම ගුරු කාර්ය සාධන ඇගයීම තුළ ගුරුවරයා එහි සවිබල ගැන්විය හැකිය.

පරිවර්තනයක් උදෙසා ගුරුවරයාට කළ හැකි දේ බොහෝය. ගුරු පත්වීමක් ලද පමණින් සියල්ල සර්ව සම්පූර්ණ නොවේ. එනම් සැබෑ ගුරුවරයා ප‍්‍රඥාව සහ හදවතේ එකතුවකි. දක්ෂ ගුරුවරයෙකු වන්නේ යමක් ඉක්මනින් ග‍්‍රහණය කර ගත හැකි ළමයින්ට උගන්වා ප‍්‍රතිඵල ලබා ගැනීම නොවේ. බොහෝ විට ළමයින් සැම දෙනාම දක්ෂය. නමුදු වෙනස් වන්නේ ශිෂ්‍යාගෙන් ශිෂ්‍යයාට විෂය දැනුම ග‍්‍රහණය කරගැනීමේදී ගත වන කාලය වෙනස් විය හැකිය. තවද ඔවුන් එක් එක් විෂයන් සම්බන්ධයෙන් දක්වන දක්ෂතා ද අඩු වැඩි විය හැකිය. එනම් දරුවකු ගණිතයට දක්ෂ වන අතර තවත් දරුවකු සංගීතයට දක්ෂ විය හැකි ය. එකී දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඊට අනුගතව ඉගැන්වීමේ ක‍්‍රියාවලිය සිදු කිරීම වර්තමාන ගුරුවරයාගේ ප‍්‍රධානතම වගකීම වේ. එනම් ගුරුවරයා යනු කුලයකට, පංතියකට ප‍්‍රදේශයකට, වර්ගයකට, ආගමකට සීමා වූ අයෙක් නොවේ. ඔහු ඉගෙන්වීමේ ක‍්‍රියාවලිය තුළ තුළ සර්ව සාධාරණ විය යුතුය.

රුසියානු මහා ගත් කරු ලියෝ තෝල්ස්ටෝයිගේ ගුරු භූමිකාව පිළිබඳව දරුවන්ගේ නුවණ නමැති කෘතියෙහි දී එහි අනුවාදක සිරිල් සී පෙරේරා තබන අපූරු සටහනකි. ”තෝල්ස්තෝයිගේ ස්වකීය අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් අනුව පිහිටුවන ලද මෙම පාසල නිදහස් ස්ථානයක් විය. දරුවන් අධ්‍යාපනය ලැබුවේ නිදහස් පරිසරයක් තුළය. ඔවුන් කැමති වේලාව පැමිණිය හැකි විය. කැමති වේලාවක කිසිවකුගේ අනුදැනුමකින් තොරව පිටව යා හැකිය. ශිෂ්‍යයන්ට අවශ්‍ය පාඩම් පොත් ලියන ලද්දේ තෝල්ස්තෝයි විසින්මය. ඔහු ශිෂ්‍යයන්ට ආදරයෙන් සැලකුවේය. ශිෂ්‍යයෝද මිතුරකුට සලකන්නා මෙන් තම ගුරුවරයාට සැලකුවේය. දහවල් කාලයේදී ශිෂ්‍යන්ට පාඩම් කියාදෙන තෝල්ස්තෝයි සවස ඔවුන් සමග සෙල්ලම් කළේය. ජන ගී ගායනා කළේය. නැතිනම් කතන්දර කීවේය. ඇතැම් දිනවලදී තමන් විසින් ලියන ලද ළමා නාට්‍යක් ශිෂ්‍යයන්ට රඟ දැක්විය. අන්තිමේදී අඳුර වැටෙන විට ඔහු ශිෂ්‍යයන් ඔවුන්ගේ ගෙවල්වලට ඇල්ලූවේය . ”ලියෝ තෝල්ස්තෝයිගේ මෙම ගුරු භූමිකාව වර්තමානයේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය සඳහා මනා නිදර්ශනයකි.

වර්තමානයේ ඉගෙන ගන්නා දරුවාගේ අනාගතය දකිනුයේ ගුරුවරයාය. ඇතැම් විට ඔහු සිය මුළු ජීවිතයම කැප කරනුයේ ශිෂ්‍යයා වෙනුවෙනි. දරුවන්ගේ අභිවෘද්ධිය දැක ඔහු සතුටු වෙයි. ඔහුනට ඒ වෙනුවෙන් දරුවන්ගෙන් පෙර හෝ පසු අපේක්ෂාවන් නොමැත. එවන් උදාර චේතනාවන් පෙරදැරි කරගෙන දැයට දයාද කරන දරුවන් අනාගතය වෙනුවෙන් බොහෝ දේ කරති. ඔවුහු සමාජයේ ඉතා ඉහළ නිලතල වලට පත් වෙති. එවන් අභීත දරු පරපුරක් නිර්මාණය කළ ගුරු මව්වරු පියවරු අතීතයේදී ද වර්තමානයේදී ද මෙන් අනාගතයේ දීද සුවහසක් වූ ජාතියේ මල් කැකුළු පුබුදුවා ලන්නට පාසල වෙත පිය නගනුයේ මහත් වූ සෙනෙහසකිනි.

නීතිඥ සංජීව බෝපෙආරච්චි (දිවයින)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435