සැළසුම් නොකළ පිළිසිඳ ගැනීම් හා විසඳිය යුතු ගැටළු ගැන යමක්

ශ්‍රී ලංකාවේ වසරකට 360,000ක් පමණ කාන්තාවන් ගර්භණීභාවයට පත්වන බවත්, මින් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳගැනීම් බවත් ඇස්තමේන්තු ගතවී තිබේ. අනවශ්‍ය ගැබ්ගැනීම් අදාළ කාන්තාවටත්, බිහි වීමට සිටින දරුවාටත්, අනෙකුත් දරුවනටත්, සමස්ත පවුලටත්, සෞඛ්‍ය පද්ධිතියටත්, සමාජයටත් ගැටළුවක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.

2017 වසරේදී ගරභණී වූ කාන්තාවෝ 326,000ක් සජීවී දරුවන් බිහි කළ හ. මෙම කාන්තාවන්ගෙන් 49,000ක් (15%) ම වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන් ය. එම වසරේ මාතෘ මරණ 127ක් වාර්තා වූ අතර ඉන් කාන්තාවන් 28ක් ම අනවශ්‍ය ගැබ්ගැනීම් නිසා මරණයට පත් වූ හ. එලෙස ම දරුවන් 1770ක් කුස තුළ ම මිය ගිය හ.
මෙවැනි සැලසුම් නොකළ පිළිසිඳගැනීම්වලට හා ගැටළුවලට විසඳුමක් ලෙස විධිමත් පවුල් සැලසුම් කිරීම වෛද්‍ය ක්ෂේත්‍රයෙන් නිර්දේශ කෙරේ. කෙසේ වුව ද, පවුල් සැලසුම හා ඊට ඇතුළත් ක්‍රමවේද පිළිබඳව ප්‍රතිග්‍රාහක කාන්තාවන්, පිරිමින් මෙන් ම වෙනත් විවිධ පුද්ගලයන්ගෙන් සහ අංශවලින් විවිධ මතවාද පළ වේ. වෛද්‍ය ක්ෂේත්‍රයෙන් ඉලක්ක කෙරෙන අභිමතාර්ථ වැරැදි ලෙස අර්ථ නිරූපණය වන අවස්ථා එමට ය. මෙම පවුල් සැලසුම යන ආකෘතිය එවැනි විවිධ පාර්ශ්ව ප්‍රතිග්‍රහණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව යථාවබෝධයක් ලබාගැනීම ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඉතා වැදගත් වේ.

පවුල් සැලසුම සම්බන්ධ දුර්මත සහ මිථ්‍යා අදහස් නිසා මෑත අතීතයේදී ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටළු පවා ඇති විය. අනපේක්ෂිත ගැබ්ගැනීම් වැළැක්වීමේදී, මාතෘ මරණ අවම කිරීමේදී සහ විශ්වීය සෞඛ්‍ය ආවරණය නිර්මාණය කිරීමේදී පවුල් සැලසුම විසින් සිදුකරනු ලබන වැදගත් කාර්යභාරය පිළිබඳ පුද්ගලයන් අතර දැනුම මඳ බව මෙමගින් දක්නට ලැබේ.
දරුවන් බිහිකරනවා ද, නැද්ද, එසේ බිහිකරනවා නම් ඒ කා සමග ද, කවදා ද, කීදෙනෙකු ද යන්න තීරණය කිරීම සම්බන්ධයෙන් සෑම කාන්තාවකට ම මූලික මානව හිමිකමක් තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යයන් 179ක සහභාගිත්වයෙන් 1994දී කයිරෝහිදී පවත්වන ලද ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී මෙම හිමිකම නැවත තහවුරු කරන ලදී. ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සහ කාන්තාවන් සවිබලගැන්වීම එකිනෙක බැඳී තිබෙන කාරණා බවටත්, එය තිරසර සංවර්ධනයේදී මූලික වන බවටත් එහිදී රාජ්‍ය්‍යන් එකඟ විය.

මෙම වාර්ෂික අධ්‍යයන සම්මේලනයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA), එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සමග එක්ව ආගමික නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සෞඛ්‍ය වෘත්තිකයන්, නීති සම්පාදකයන්, සිවිල් සමාජය සහ ජනමාධ්‍ය සමග සංවාද සභාවක් මෙහෙයවන ලදී. එහි අරමුණ වූයේ පවුල් සැලසුම වටා නිර්මාණය වී තිබෙන මිථ්‍යාවන් සහ දුර්මත දුරලීම පිණිස ඉවහල් වන විවෘත සාකච්ඡාවක් සඳහා වේදිකාවක් සම්පාදනය කිරීමයි.
මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් හා ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා මෙසේ පැවසී ය: “සෑම වසරක ම කාන්තාවන් 360,000ක් පමණ ගැබ්ගන්නවා. එම ගැබ්ගැනීම් අතරින් තුනෙන් එකක් ම සැලසුම් නොකළ ගැබ්ගැනීම්. සැලසුම් නොකළ ගැබ්ගැනීම් හේතුවෙන් කාන්තාවන්ට හා පවුල්වලට මානසික ආතතියට හා අධික පිරිවැයකට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ සඳහා විසඳුම වන්නේ ඵලදායී පවුල් සැලසුම්කරණයයි.”

වසර 2016 ජනවිකාස සහ සෞඛ්‍ය සමීක්ෂණය අනුව, ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් 35%ක් පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන්නේ නැත. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මෑත සංඛ්‍යාලේඛන විසින් හෙළිදරව් කරන පරිදි මාතෘ මරණ වැඩිවෙමින් තිබේ. සජීවී දරු උපත් ලක්ෂයකට මව්වරුන් 40ක් පමණ මියයති. පවුල් සැලසුම් සේවාවන් වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව නවයොවුන් වියේ ගැබ්ගැනීම් අවම කිරීමට සමත් විය. ශ්‍රී ලංකාවේ නවයොවුන් වියේ ගැබ්ගැනීම් ප්‍ර‍තිශතය 4.6%කට සීමා වේ. පළාත් වශයෙන් ගත් කල එය 5 – 8% අතර වෙනස්කම්වලින් යුක්ත ය. 2015 වසරේදී සම්පාදනය කරන ලද පශ්චාත් ගබ්සා සත්කාර පිළිබඳ ජාතික මාර්ගෝපදේශ මගින් අවධාරණය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ මාතෘ මරණවලින් 10 – 13% අතර ප්‍ර‍මාණයකට හේතු වන්නේ අනාරක්ෂිත ගබ්සා ය.

මෙම අවස්ථාවේදී සභාව අමතමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහකාර නියෝජිත මධුෂා දිසානායක මහත්මිය පහත දැක්වෙන කරුණු අවධාරණය කළා ය: “පවුල් සැලසුම ජීවිත ආරක්ෂා කරනවා. එමගින් අනවශ්‍ය ගැබ්ගැනීම් හා අනාරක්ෂිත ගබ්සා කිරීම් වළක්වන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ බොහෝ තරුණ පුද්ගලයන් ලිංගික වශයෙන් සක්‍රියයි. ඒ පිළිබඳ තිබෙන අපකීර්තිමත් හැඟීම් නිසා ඔවුන් ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය වැළැක්විය යුතු නැහැ. ශ්‍රී ලංකාවේ සෑම තරුණයකුට තරුණියකට ම තම සිරුරු පිළිබඳ ආරක්ෂාකාරී හා දැනුවත් තෝරාගැනීම් කිරීම සඳහා අවශ්‍ය දැනුම ලැබෙන බව අප තහවුරු කළ යුතුයි.”

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය විසින් පළ කරන ලද අදහස් මෙසේ ය: “පවුල් සැලසුම පිළිබඳ දුර්මත රැසක් තිබෙනවා. එය ජනගහන පාලනය පිළිබඳ නොවන බව අප තේරුම් ගත යුතුයි. පවුල් සැලසුම යනු, කාන්තාවන්ට තමන්ගේ ලිංගික සහ ප්‍ර‍ජනන සෞඛ්‍යය පාලනය කිරීමේ තෝරාගැනීම ලබා දෙන සවිබලගැන්වීමක්. තම අධ්‍යාපනය සම්පූර්ණ කරන්නටත් රැකියා අරමුණු ළඟා කරගන්නටත් පවුල් සැලසුම විසින් කාන්තාවන්ට හැකියාව ලබාදෙනවා. එමගින් ඇයට ශ්‍රී ලංකාවේ සංවර්ධනය තිරසර කරන්නට ප්‍ර‍ගතිශීලී අන්දමින් දායක වීමේ හැකියාව ලැබෙනවා.”
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යනු ජාතික වෛද්‍ය වෘත්තික සංවිධානයයි. සියලු වෛද්‍ය අංශ සහ ශ්‍රේණි එමගින් ඒකරාශි කරනු ලැබේ. වර්ෂ 1887 තරම් ඈතට විහිදෙන ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ආසියාවේ සහ කලාපයේ පැරණි ම වෛද්‍ය සංගමයයි.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්සත් ජාතීන්ගේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය නියෝජිතායතනයයි. සෑම ගැබ්ගැනීමක් ම අවශ්‍ය එකක් බවට පත් කිරීම, සෑම දරු උපතක් ම සුරක්ෂිත බවට පත් කිරීම සහ සෑම තරුණ පුද්ගලයකුගේ ම හැකියාවන් පූර්ණ කිරීම තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වසර 50කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රජයට උපකාර කර තිබේ. එය ශ්‍රී ලංකා රජය 2018 වසරේදී සම්බන්ධ වූ FP2020 ගෝලීය හවුල්කාරිත්වයේ දේශීය වගකීම් දරන්නා ය. FP2020 අරමුණ වන්නේ අයිතිවාසිකම් පාදක කරගෙන සිදුකරන පවුල් සැලසුම සඳහා වැඩිපුර ආයෝජන සිදුකිරීම ඔස්සේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබලගැන්වීමයි.
ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍යය පිළිබඳ ජාතික ක්‍රමවේද සැලැස්මට අනුව, සෑම ගර්භනීභාවයක් ම සැලසුම් කළ හා අවශ්‍ය ගැබ්ගැනීම් බවට පත්කරගැනීමත්, සෑම ප්‍රසූතියක් ම සැමරිය හැකි දරු උපතක් ලබාගැනීමත් ඉලක්ක කර තිබේ. එම ඉලක්ක සාක්ෂාත් කරගැනීමට විධිමත් පවුල් සැලසුම ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය සාධකයකි.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435