කම්කරු දෙපාර්තමේන්තුව අගෝස්තු 24 වැඩවර්ජනයක !

එළඹෙන 24 වන දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා පවසයි.

ඒ අනුව දිස්ත්‍රීක් කාර්යාල 40ක, උප කාර්යාල 16ක සියලුම කම්කරු නිලධාරීන් අගෝස්තු 24 දින රාජකාරීවලින් ඉවත්වීමට කම්කරු නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කළ බව හෙතෙම වැඩබිමට සඳහන් කළේය. කම්කරු නිලධාරීන්ගේ සංගමයත්, කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමයත් එක්ව කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවලියක් බාරදුන් බවත්, එහි අදට ගැලපෙන මහජන උපයෝගිතා සේවයක් සඳහා දෙපාර්තමේන්තු ව්‍යුහය වෙනස් වන යෝජනා සහ ඊට සාපේක්ෂව කම්කරු සබඳතා සේවා ව්‍යාවස්ථාව ස්ථාපිත කිරීම ගැන කරුණු ඇතුළත්ව තිබුණු බවත් ඔහු කියා සිටියේය.

රාජ්‍ය සේවයේ මෙවන් බරපතළ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය සහිතව අනුකමිටුවක් මගින් කළ යුතුව ඇති බවත්, ඒ අනුව මහින්ද මඩිහහේවා කමිටුව පත්කරනු ලැබුවේ ඉකුත් මාර්තුවේ බවත්, එහි කටයුතු මාස 4න් නිමාවිය යුතු වුවද දිගින් දිගටම කල්ඇදුණු බවත් ගමගේ මහතා සිහිපත් කළේය. මේ ආකාරයට පුළුල් යෝජනා ඇතුළත්ව මීට පෙරාතුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මහාදේව කමිටුව පත් කිරීමේදී හා ගුරු සේවා ව්‍යවස්ථාව සඳහා මඩිහහේවා කමිටුව පත්කිරීමත් තුළින් මෙවන් බරපතළ වෙනස්කම් සිදුකෙරුණු බව ඔහු අවධාරණය කළේය. එහෙත් මෙම කම්කරු දෙපාර්තමේන්තුවේ මෙම කමිටුව පත්කිරීමෙන් අමාත්‍යවරයා විසින් සිදුකර ඇත්තේ රැවටීමක් බව තහවුරු වූයේ මෑතකදී බවත්, එය ඇමතිවරයා විසින් පත්කරන ලද නිසි බලය පැවරීමක් සිදුනොකළ කමිටුවක් පමණක් බවත්, ඔවුන්ට මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට බලයක් ‍නොමැති බවත්,ඔවුන් වගකියනු ඇත්තේ අමාත්‍යවරයාට සහ අමාත්‍යංශ ලේකම්වරයාට පමණක් බවත් ගමගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙතුවක් කාලයක් කරනු ලැබූ රැවටීමට විරෝධය දැක්වීම මෙන්ම මෙම කමිටුවට කැබිනට් අනුකමිටුවක මෙන් බලය පැවරීම හෝ වෙනත් නිසි බලය පවරන ලද කමිටුවක් පත්කොට එමගින් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435