සුදුස්සෝ නෙවෙයි නම් ලාභ කොහෙන්ද? – විජේපාල වීරකෝන්

19 අගෝස්තු 2014 – wedabima.lk

 

සුදුස්සෝ නෙවෙයි නම් ලාභ කොහෙන්ද? – සහකාර ලේකම්,විජේපාල වීරකෝන්, එක්සත් කම්කරු සම්මේලනය

 

* බැංකු ක්ෂේත්‍රයට අදාළව මෑන් පවර් සමාගම් හරහා බඳවා ගනු ලැබූ සේවකයින් කොපමණ ප්‍රමාණයක් සිටිනවාද?

 

පොදුවේ බැංකු ක්ෂේත්‍රයේ 25%ක් විතර ඉන්නවා.  මං සේවය කළ කොමර්ෂල් බැංකුවේ මේවන විට සේවක සේවිකාවන් 600ක් පමණ සිටිනවා. අනෙක් බැංකුවලත් මේ ආකාරයෙන් විශාල පිරිසක් සේවය කරනවා. මේ අය අවුරුදු 15-16 විතර කාලයක සිට සේවය කරන අය. අද වෙද්දී මේ ආකාරයට සේවයට බඳවා ගැනීම විශාල අර්බුදයක් දක්වා ගමන් කර තියෙනවා.

 

* සෘජු බැංකු සේවක/සේවිකාවන් හා මොවුන් අතර පවත්නා පිළිගැනීම පිළිබඳ වෙනස මොකක්ද?

 

සාමාන්‍යයෙන් බැංකු සේවකයෙක් මූලාරම්භයේ මූලික වැටුප විදිහට 38,000-39,000 ක් විතර ගන්නවා. ඒත් මෑන් පවර් සමාගම් හරහා බඳවාගනු ලබන සේවකයින්ට ලැබෙන්නේ රු.9000-10,000 ක් වගේ සොච්චම් වැටුපක්. බෝනස්,වෙනත් දීමනා,වරප්‍රසාද පිළිබඳ කතා කරද්දී නිවාඩු පවා මේ සේවකයින්ට ලැබෙන්නේ නෑ. ඒත් රැකියාවේ කරන සේවය, ශ්‍රමය වැය කිරීමේ කිසිම වෙනසක් නෑ. මෙතැන දැවැන්ත අසාධාරණයක් සිද්ධවෙන්නේ ඒකයි.

 

*මේ අය සම්බන්ධයෙන් ඔබේ මැදිහත්වීම මොන වගේද?

 

මං කොමර්ෂල් බැංකුවේ සේවය කරද්දී ලංකා බැංකු සේවක සංගමයේ කොමර්ෂල් බැංකු ශාඛාව, එවකට බැංකුවේ තිබුණු  ‘OutSource සේවක සංසදයේ‘  ප්‍රශ්ණ වලට කොමර්ෂල් බැංකු ශාඛාව විදිමට මැදිහත් වුණා. 2011 වෙද්දී වයස අවුරුදු 2, 21/2 වගේ සේවය කළ අය අයින් කිරීමට කළමනාකාරිත්වය කටයුතු කරමින් හිටියා. මේ අය බැංකු සේවකයින් නිසා වෘත්තීය සමිතියේ සාමාජිකත්වය දෙන්න පුළුවන්. ඒත් අනෙක් අතට ඒ අය සම්බන්ධයෙන් බැංකුවට වගකීමක් නොතිබුණු නිසාත්, පිට සමාගම් හරහා කොන්ත්‍රාත් සේවයක් කරන නිසාත් යයි කියමින් මව් සංගමය මේ අය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ‘බැංකු සේවක සංගමය‘කැමති වුණේ නෑ. ඒ හින්දා නඩු කියන්න වුණෙත් පුද්ගලික මට්ටමින්.

 

* සේවයෙන් පහකෙරුණු අය සම්බන්ධයෙන් ගනු ලැබූ එවැනි නීතිමය ක්‍රියා මාර්ග සාර්ථක වුණාද?

 

කම්කරු උසාවියේ නඩු 3ක් දැම්මා. ඒකෙන් අම්පාර නදීක බණ්ඩාර මහත්මා වෙනුවෙන් දාපු නඩුව දිනලා එයාට සාධාරණයක් ඉෂ්ඨ වුණා. අනෙක් නඩු දෙකම පරාද වුණාම පළාත් බද මහාධිකරණයට අභියාචනා කළා. එයිනුත් 1ක් මේ වෙද්දී විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කෙරුණා. ඒ කී නඩුව අපි මේ වෙද්දි  යළි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන්න කටයුතු කරලා තියෙනවා. අනික් නඩුව පළාත් බද මහාධිකරණයේ තාම විභාග වෙනවා.

 

* වෙනත් ජයග්‍රහණ තියෙනවාද?

 

ඔව්. අපගේ මැදිහත්වීම තුල මෙම මෑන් පවර් සේවකයන් සම්බන්ධව අනෙක් බැංකුවලත් වෙනත් ආයතන සමහරකත් අලූත් සාකච්ඡාවක් ඇති වුණා. මේ අයගේ ඇත්ත තත්වය පිළිබඳව සොයා බලන්න ඒ සේවකයොත් වෘත්තීය සමිති නායකත්වයත් උනන්දු වුනා. අපගේ ස්ථාවරය වුනේ මේ අය බැංකු සේවකයන් නිසා ඔවුන්ට ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය ලබාදිය යුතුයි කියලයි, ඒ නිසා ඔවුන් වෙනත් වෘත්තිය සමිතියකට ගොනු කරන්න අපට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔවුන්ව බැංකු සේවක සංගමයට බඳවා ගත්තේ නැති නිසා උද්ඝෝෂණවලට යන්න අපි කටයුතු කළේ නැහැ.

 

* ඔබ විශ්වාස කරන අන්දමට කළ යුත්තේ කුමක්ද?

 

සුදුසුකම් තියෙන, අත්දැකීම් තියෙන මේ සේවක සේවිකාවන්ගේ සේවය ස්ථීර කළ යුතුයි.  බැංකු ක්‍ෂෙත‍්‍රයම තුල සේවය කරන අත්දැකීම් තියෙන මේ සේවක සේවිකාවන්ගේ සේවය බැංකු සේවකයන් ලෙස ස්ථීර කළ යුතුයි. ‘කොමර්ෂල් ඩිවලොප්මන්ට් කම්පැණි‘ යටතේ සුළු පිරිසකට හිටිය මට්ටමින් තරමක් වැඩි වරප්‍රසාදයක් ලැබුණත් ඒක පිළිගත හැකි සාධනීය මට්ටමක් නෙවෙයි. ඒ අයටත් තිබුණාට වඩා වැටුප් වැඩිවුණානම් ඒ රු.2000න් 3000 න් වගේ සුළු මුදලකින් විතරයි. වෛද්‍ය ආධාර, ණය පහසුකම් දෙන බව කීවත් ඒ දැඩි කොන්දේසි යටතේ සුළු වරප්‍රසාදයක් පමණයි. ඉතිං මේ අයට සාධාරණත්වය ඉෂ්ඨ විය යුතුයි. ඒකට  ලංකා බැංකු සේවක සංගමය වෘත්තීය සමිති අරගල කළ යුතුයි.

 

* බැංකු වෘත්තීය සමිති මෙම ප්‍රශ්නයේදී මගහැර යනවා යයි ඔබ චෝදනා කරනවද?

 

හැමෝම නෙවෙයි. විශේෂයෙන්ම කොමර්ෂල් බැංකු ශාඛා වෘත්තීය සමිතිය මේ ප්‍රශ්නය වෙනුවෙන් විවෘතව පෙනී හිටියා. ඒත් ‘ලංකා බැංකු සේවක සංගමයෛ්‘ සමහාර ශාඛාවන් මේ ගැන කතා කරන්න එච්චර කැමැත්තක් නෑ. දැඩි බලපෑමක් කළ නොහැක්කේ මෙම වෘත්තීය සමිති අතර එකඟතාවක් නොතිබීම හින්දයි.

 

* එහෙම වෙලා තියෙන්නේ ඇයි?

 

ඒ අය කියන්නේ මේ සේවකයින්ට නිසි සුදුසුකම් නෑ. එහෙමත් නැත්නම් එක එක පන්දම් අල්ලගෙන ආව අය කියලයි. ඒත් මං ඒ අදහසට එකඟ නෑ. මොන විදිහට ආවත් මේ අය තමන්ගේ සේවය කරනවා. ඒ අය සුදුසු නැත්නම් මුලදීම ඒ අය ඉවත් කිරීමේ හැකියාව පාලනාධිකාරියට තියෙනවා. එහෙම නැතුව කාලයක් දිගින් දිගටම ඒ අයගේ සේවය ලබාගෙන, ශ්‍රමය සූරාකාගෙන අන්තිමේදි ඒ අය රොඩු වගේ ඉවත්කරලා දාන එක කොහෙත්ම සුදුසු නෑ. අනෙක් අතට මේ අය මෙච්චරම සුදුසු නැත්නම් මේ අයගේ සේවයෙන් බිලියන ගණනින් බැංකු ලාභ උපයන්නේ කොහොමද?

 

Out-sourced

 

 

මුල් පිටුව

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (5)

  1. chamil says:

    ඇයි ලංකා බැංකු සේවක සංගමය සාමාජිකත්වය ලබා නොදී සාකච්ඡාවක් ඉල්ලන්නේ? ඒ කියන්නේ බැංකු සේවක සංගමයත් පිළිගන්නේ නැහැ මෑන්පවර් සේවකයින් සැබෑ බැංකු සේවකයින් කියලා, එහෙම නේද?

    (0)(0)



    0



    0
  2. මම 1983 වසරේ සිට ලංකා බැංකු සේවක සංගමයේ කොමර්ෂල් බැංකු ශාඛාවේ නිළධාරි මණ්ඩල සාමාජිකයෙක් ලෙස හා මව් සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් ලෙස නොකඩවා වසර 26 පමණ කාලයක් 2009 වසරේ මා විශ‍්‍රාම යන තුරුම සේවය කර තිබෙනවා. මෙම සම්මුඛ සාකච්ඡාවෙන් සඳහන් කරන Manpower ගැටළුවට මා සම්බන්ධ වූයේ මගේ බැංකු සේවා කාලය තුලම සිටයි. එම මැදිහත් වීම මා විශ‍්‍රාම ගිය පසුවත් දිගටම කරගෙන ආවා. ඒ සඳහා මට කොමර්ෂල් බැංකු ශාඛා සංගමයත් නීතිවේදීන් කිහිප දෙනෙකුත් මට සහාය ලබා දුන්නා. ඒ අයගේ සහාය දැනටත් ලැබෙනවා. මෙම සම්මුඛ සාකච්ඡාවේදී මට සඳහන් කිරීමට නොහැකිවූ වැදගත් දෙයක් නම් මව් සංගමය මෙම Manpower සහෝදරවරුන්ට සාමාජිකත්වය ලබා නොදුන්නත් එවකට සිටි මව් සංගමයේ නිළධාරි මණ්ඩලය මෙම ප‍්‍රශ්නය වෙනුවෙන් මැදිහත්වීම සඳහා බැංකු පාලකයන්ගෙන් සාකච්ඡාවක් ලිඛිතව ඉල්ලා සිටියා. නමුත් එම සාකච්ඡාව ලැබුණේ නැහැ. මෙම සාකච්ඡාවේදී අපි වශයෙන් මම සඳහන් කලේ මට සහාය වූ එම පිරිසයි.

    මම දැනට වසරක පමණ කාලයක සිට එක්සත් කම්කරු සම්මේලනයේ සහකාර ලේකම්වරයකු වශයෙන් කටයුතු කරන නිසා ඉහත සම්මුඛ සාකච්ඡවේදී ද මගෙන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දීමේදී "අපි" වශයෙන් එක්සත් කම්කරු සම්මේලනය ලෙස යමෙකුට හැඟුණා නම් මා ඒ ගැන කණගාටු වෙනවා.

    (0)(0)



    0



    0
  3. විජේපාල සහෝදරයා මෙම සංවාදයේදි එක බොරැවක්වත් කියලා නැහැ. කම්කරැවන් ඉතාමත් පහත් අයුරින් සූරාකෑමට යොදාගන්නා උපාය මාර්ගයක් තමයි මෑන්පවර් කියන්නේ. සමාජයේ බැංකු කියන්නේ අංක එකේ ආයතන. ඉතිං ඒවායේ වැඩ කරන සේවකයනුත් මේ විදියට සූරාකෑමට ලක්වෙනවා නම් අනෙක් ආයතන ගැන මොන කතාද? ඒක නිසා බැංකුවලින් මෙම වහල් සේවය නැති කරලා අනේක් ආයතනවලට ආදර්ශයක් ලබාදිය යුතුයි.

    (0)(0)



    0



    0
  4. keshara says:

    Wijepaala weerakon sahodaraya me sanwaadayedi BORU godak kiyala thiyenawa......Banku sewaka sangamaya gana asathya thorathuru pawaseema gana mama obawa pudgalikawa danuwath karannam......

    (0)(0)



    0



    0
    • ලංකා බැංකු සේවක සංගමයෙන් අපි සාමාජිකත්වය ඉල්ලා අයදුම්පත් බාරදිලා දැන් අවුරැදු 04 කටත් වැඩියි. තාම ලැබුණෙ නැහැ. ලංකා බැංකු සේවක සංගමයේ මව් සංගමය මෑන්පවර් කොම්පැනි හරහා බදවාගත් බැංකු සේවකයින්ගේ ගැටළු සම්බන්ධව දක්වන සැලකිල්ල සෑහීමකට පත්වෙන්න බැහැ. එම සංගමයේ කොමර්ෂල් බැංකු ශාඛාව, විජේපාල සහෝදරයා අපගේ ගැටළු විසදීමට දුෂ්කර වෑයමක නිරත වෙනවා. අපගේ ගැටළුවලට විසදුම් සෙවීම දුෂ්කර වෙලා තියෙන්නේ ලංකා බැංකු සේවක සංගමය මෙයට ඝෘජුව මැදිහත් නොවන නිසා.

      (0)(0)



      0



      0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435